Breaking News

තිස්ස පබ්බතාරාම නිදගම් ඉඩම් වගා ව්‍යාපෘති සඳහා ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන්ගේ කැමැත්ත

සුපුන් ළහිරු ප්‍රකාශ්

වයඹ පළාතේ ගල්ගමුව, අතරගල්ල, නාකොලගනේ, නාකොලගනේ රජමහා විහාරයට සහ ගල්ගමුව, මහනාන්නේරිය, තෝරවමයිලෑව, තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරයට (තිස්ස පබ්බතාරාමය) අයත් නිදගම් ඉඩම් වල පිහිටි වනාන්තර විනාශකරමින් විවිධ පුද්ගලික ආයතන වලට වගා ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන් විසින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ. ඒ යටතේ විශේෂයෙන් පාළුකඩවල වැවට ඉහළින් පිහිටි අලි ඇතුන්ගේ සුවිශේෂ වාසභූමියක් වන වනාන්තර ප්‍රදේශයකද මේ දිනවල ඩෝසර් යන්ත්‍ර යොදා වනාන්තර විනාශ කරමින් තිබේ. මෙම ඉඩම් ඇහැටුවැව, නාකොලගනේ රජමහා විහාරයට අයත් වේ.

විශේෂයෙන් දැනට වන විනාශයට ලක්වෙමින් පවතින නාකොලගනේ රජමහා විහාරයට අයත් පාළුකඩවල වැවට ඉහළින් ඇති වනාන්තර ප්‍රදේශය ගල්ගමුව ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන්ගේ ඉතා වැදගත් වාසභූමියක් වන අතර තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරය වටා ඇති වනාන්තර ප්‍රදේශය තබ්බෝව සහ ගල්ගමුව ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන්ට ඉඟිනිමිටිය ප්‍රදේශය දක්වා සංක්‍රමණය වීමට අලි මංකඩක් වශයෙන් ක්‍රියා කරයි. එසේ තිබියදී වයඹ වනජීවී කලාපයේ සංරක්ෂණය කළයුතු මෙවැනි වන අලි වාසභූමි කොම්පැණිකරුවන්ට ලබාදීමටත්, දිනෙන් දින උත්සන්න වන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බව පවසමින් ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කිරීමටත් කටයුතු කිරීම අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක ක්‍රියාවකි. එමගින් සිදුවන්නේ දැනට වයඹ වනජීවී කලාපයේ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති සාර්ථකත්වය අහිමිවීම සහ මිනිස් සහ වන අලි ජීවිත රැසක් බිලිගනිමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් තව දුරටත් උත්සන්න වීම පමණි.

වයඹ පළාතේ අලි ඇතුන්ගෙන් සියයට හැටක් පමණ දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් පිටතය. ඔවුන් තබ්බෝව සහ කහල්ල- පල්ලෙකැලේ අභයභූමි වලට සහ විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කර විදුලි වැට මගින් ආවරණය කර ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම පාලනය කිරීමට දශක ගණනාවක් තිස්සේ උත්සාහ දැරුවද අසාර්ථක විය. එබැවින් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුල සංරක්ෂණය කරමින් අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතුය යන්න විශේෂඥ මතයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බහුපාර්ශවීය විශේෂඥ කමිටුවක් මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මගින්ද එසේ යෝජනා කර ඇත. ඒ අනුව යමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව සිටින අලි ඇතුන් සංරක්ෂණය කිරීම සඳහා ඓතිහාසික පියවරක් ලෙස මෙරට ප්‍රථම වන අලි කළමනාකරණ ප්‍රදේශයේ හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණි. වයඹ වනජීවී කලාපයේ වනජීවී රක්ෂිත වලින් පිටත ජීවත්වන අලි ඇතුන්ගේ වාසභූමිද ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයකි.

තවද මෙසේ සිදු කෙරෙන වන විනාශයන් රටේ පවත්නා නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමද කණගාටුවට කරුණකි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල නොසළකා හරිමිනි.

එබැවින් අදාළ වනාන්තර විනාශයන් වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් වයඹ කලාපයේ වන අලි වාසභූමි තිරසාර ලෙස සංරක්ෂණය කරමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම අවම කිරීමටත් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

සුපුන් ළහිරු ප්‍රරකාශ්

කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

leave a reply