Breaking News

ගොඩයන්න එකම පිදුරු ගහේ එල්ලෙන්නද යන්නේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ වන විට පක්ෂ අභ්‍යන්තර අර්බුදයන් වලට මුහුණ දෙමින් සිටින බව නොරහසකි. ආසන්න මැතිවරණ දෙකෙන් දෙපාර්ශවයටම අන්ත පරාජයන් අත්වීමත් නායකත්වයන් පිළිබඳව මතුව ඇති අසතුට සහ අකමැත්තත් මේ දේශපාලන අර්බුදය තිවුර කිරීමට ඉවහල් වී තිබෙනවා.

යම් දුරකට හෝ මේ දේශපාලන පසුබෑම සමනය කර ගැනීමට ඔවුන්ට ඇති එකම මග එළඹෙන පළාත් පාලන මැතිවරණයට එක්ව තරඟ කර යම් ජයග්‍රහණයක් ලබා ගැනීම බව දෙපාර්ශවයේම බහුතරයේ විශ්වාසයයි.

සමගි ජන බලවේගය අනාගතය පිළිබඳවත් එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බලවේගයත් එකතු වීමෙන් ලැබෙන දේශපාලන වාසිය පිළිබඳවත් මේ දිනවල දේශපාලන කරලියේ කතාබහට ලක්වෙනවා.

පහතින් පළවන්නේ එවන් අදහස් කීපයකි.

එක්සත් ජනරජ පෙරමුණ පාඨලී චම්පික

පළාත් පාලන මැතිවරණයට තම කණ්ඩායම එක්සත් ජනරජ පෙරමුණ ලෙස තරග කරන බව එහි නායක පාටලී චම්පික ප්‍රකාශ කරනවා.
ඒ අතරම පාඨලි චම්පික පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගයේ නායකත්වය වෙනස් නොවුණහොත් සජිත් ඇතුළු කණ්ඩායමට සිදුවන්නේ රාජපක්ෂ පාර්ශ්වයේ පොහොට්ටුව කණ්ඩායමට අත් වූ ඉරණම බවයි.

වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සභාපති

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ සංවිධානය වෙමින් තිබෙන බව වජිරබේවර්ධන කියා සිටියා. අලියා ලකුණ යටතේ ඒකරාශී වෙන පක්ෂයට අනෙකුත් පක්ෂ සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා වෙමින් තිබෙන බවත් එම කටයුත්ත රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සිදුවන අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන සතියේ මේ පිළිබඳව තීරණය ගනු ඇතැයි ඔහු කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදියෙකු අසා සිටියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඒ පැත්තේ සිටි සභාපතිවරයෙකු එක්සත් ජාතික පක්ෂයට එව්වේද යන්නයි. තලතා අතුකෝරාල හෙට තම තනතුරේ වැඩ භාර ගන්නා බවත් කිසිම කෙනෙක් එහාට මෙහාට යන්න අවශ්‍ය නැති අතර සියලු දෙනාම එකතු වී වැඩ වැඩ කළ යුතුයි කියා වජිර කියනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  කබීර් හෂීම්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන සන්ධානයේ ලේකම් කබීර් හෂිම් මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි. කාලක සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එකම කණ්ඩායමක් බවත් ඇති වූ චින්තනමය වෙනසක් නිසා ඔවුන් වෙනස්ව වෙනත් මාවතකට ගමන් කළ බව කියන කබීර් හෂීම් මේ දෙපාර්ශවය එක් මාවතකට ගත හැකි හැකියාවක් තිබේද යන්න පිළිබඳව සැලකිලිමත් වන බව පවසනවා.

leave a reply