Breaking News

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් සමාජයට කොරෝනා පැතිරීමේ අවධානම වැඩියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

මිනුවන්ගොඩ ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාව ඔස්සේ වාර්තා වී ඇති කොවිඩ් පොකුර මීට පෙර වැලිසර නාවික හමුදා කඳවුර සහ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවූ කොවිඩ් පොකුරු වලට වඩා ගැටළු සහගත භාවයකින් යුක්ත බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර තිබේ.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස අතුරින් මුලිකව සිදුකළ PCR පරීක්ෂණ 100 කින් 69 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සිදුකළ ප්‍රකාශය පහත දැක්වේ.

“විශාලම පොකුරු අප දුටුවේ වැලිසර නාවුක හමුදා කඳවුරේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ. එතැන අපට තිබුණු වාසිදායක තත්ත්වය තමයි, ඔවුන් සියල්ලෝම සිටියේ සංවෘත පරිසරයක වීම. එතැනදී බාහිර පරිසරය සමග තිබුණු ගනුදෙනු ඉතාම අවමයි. ඒ නිසා සමාජයට පැතිරීමට තිබුණු හැකියාව බොහොම අඩුයි. එසේ තිබියදීත් අප දුටුවා වැලිසර හමුදා කඳවුරේ පිරිස් නිවෙස් වලට ගොස් පවුල් වලත් යම් පිරිසක් ආසාදනය වී තිබුණා. එහෙත් අපට එය පාලනය කරගත හැකි වූවා.

ඒ හා සමාන තත්ත්වයක් තමයි මෙතැනදීත් සිදු වී තිබෙන්නේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව මෙතැන පොකුරක් සෑදී තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණ කළ පිරිසගෙන් සාමාන්‍යයෙන් 100 දෙනෙකු පමණ පරීක්ෂා කරන විට, 69 දෙනෙකු ආසාදිත බව තහවුරු වුණා. පළමු රෝගියාත් ඇයගේ දියණියත් ගත් විට මෙතැන රෝගීන් 71 දෙනෙකු සිටිනවා. මෙතැන ප්‍රධාන කාරණයක් තිබෙනවා රෝගියා හඳුනාගැනීම සම්බන්ධව. මේ ලෙස රෝගියා හඳුනාගන්නේ අප දියත් කර තිබුණු ක්‍රමවේදයත් සමග. අප ක්‍රමවේදයක් සකස් කර තිබුණා රටේ හඳුනාගත් ප්‍රධාන රෝහල් සියල්ලකම බාහිර රෝගී අංශයට පැමිණෙන කොවිඩ් රෝගයට සමාන ශ්වසන රෝග වලින් පෙළෙන රෝගීන්ගෙන් නියැදියක් ලබා ගෙන PCR පරීක්ෂණ කිරීමට. ඒ අයුරින් දිගින් දිගටම සිදුකරනු ලැබුවා. ඒ අයුරින් තමයි මේ කාන්තාව 28 වනදා රෝග තත්ත්වයක් ඇති වී 30 වනදා ගම්පහ රෝහලට පැමිණෙන්නේ. එහිදී ඇයට සිදු කළ PCR පරීක්ෂණ වලින් තමයි ඇය ආසාදිත බව දැනගන්නේ. ඒ අනුව අප විසින් එළා තිබුණු දැල නිසා තමයි මේ තත්ත්වය හඳුනාගන්නේ. එය සාධනීය තත්ත්වයක්.

මෙතැන බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ගත්විට එතැනත් එක් කාණ්ඩයක් තමයි සිටින්නේ. නමුත් එතැන අනිත් පොකුරු වලට වඩා තිබෙන වෙනස තමයි, මෙතැන නිවෙස්වල සිට පැමිණෙන පිරිසක් සිටිනවා. ඔවුන් තවත් නිවෙස්වලට යන එනවා. මෙය සිදුවන්නේ ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් තිබෙන දිස්ත්‍රික්කවලින් එකක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ. මෙවැනි තැනක කෙනෙකු සමාජයට යන විට ඒ තැනැත්තා හා සමාජය ගැටෙන ප්‍රමාණය ඉතාමත්ම වැඩියි. එතැන එම ගැටලුව තිබෙනවා.අනෙක් ගැටලුව තමයි, පසුගියදා දිගු නිවාඩුවක් තිබුණා. ඇඟලුම් කම්හලේ සේවය කළ ඇතැම් අය ගම් කරා ගොස් තිබෙනවා. එවිට එම නිවෙස්වල ආසාදිත වූවන් සිටිය හැකියි.

අනෙක් කරුණ තමයි අප තවම දන්නේ නැහැ මෙම කර්මාන්ත ශාලාවට කොවිඩ් 19 රෝගය ආවේ කෙසේද යන්න පිළිබඳව. අප තවමත් මේ ගැන විමර්ශනය කරන මට්ටමේ සිටින්නේ. මෙහිදී සමාජයට පැතිරීමට ඇති අවදානම වැඩියි. ඒ නිසා අපට ක්‍රියාත්මක වෙන්න ඇති ප්‍රමාණය වැඩියි. ”

 

leave a reply