Breaking News

අලුත් කැබිනට් පින්තූරය!

සමහරු අප්සෙට් ගහලා අලුත් කැබිනට් එකේ කට්ටිය ජනාධිපතිතුමාත් එක්ක දළදා මාලිගාව ඉස්සරහ මාලිගාවට පුක හරවලා බැච් ෆොටෝ එකක් ගැනීම ගැන. මේ වෙනකොට පවතින දළදා මාලිගා සම්ප්‍රදායන්ට අනුව ගත්තොත් නම් ඒක ඒ තරම් අගෞරවනීය දෙයක් විදියට පෙනෙන්නට නැහැ.දළදා මාලිගාව ඇතුළෙ මල්වතු හිමියන් සමඟ සම අසුන් ගෙන විශේෂයෙන් වෙන් කරපු ප්‍රභූ අසුන්වල ඉඳගන්නට අවසර දෙන්නේ පොලිස්පති සහ මැති ඇමතිවරු වගේ ප්‍රභූන් විදියට හඳුනගත්ත අයට විතරයි. ඇත්ගොව්වන් සහ කම්කරුවන් ආදී පහළ ස්තරවල මිනිස්සුන්ට එහෙම ඉන්න අවසර දෙන්නේ නෑ. ඊට අමතරව දළදා මාලිගාව දැඩි නිකාය බේදයකින් ගෙනියන තැනක්. පන්ති මට්ටම්,ඇදුම් පැළදුම් සහ හැසිරීමේ සිට විවිධ වරප්‍රසාද දීම දක්වා ඒ විදිහට දළදා මාලිගා සම්ප්‍රදාය විසින් උසස් පහත් මිනිසුන් හෝ ප්‍රභූ-නිර්ප්‍රභූ වෙන් කර සලකන ආකාරය බුදුන්ගේ දර්ශනය මත සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඒක විශාල ප්‍රමාණයෙන් බුදුන් යෝජනා නොකළ බුදුන් විරෝධී දෘෂ්ටිවාද සහ සම්ප්‍රදායන් මත පවතින බල ධූරාවලියක් ඇති ආයතනයක්. ඒ අර්ථයෙන් කල්පනා කරන කොට ඒක වඩාත් සමාන වෙන්නේ අපේ පාර්ලිමේන්තුවේ සිට මෙහෙයවන දේශපාලනයටම නෙමේද?

විශේෂයෙන් මෑත කාලයේ දළදා මාලිගාවේ ගෞරවයට පාත්‍රවුණ මේ ප්‍රභූ පන්තීන් විදියට මතුවුණු බහුතරය කුඩු වෙළෙන්දන්, ස්ත්‍රීන් සහ ළමා අපයෝජකයින් සහ ජනතා පරමාධිපත්‍යය පවතින පාර්ලිමේන්තුවේ පවා විනය කෙළෙසූ පාදඩයින්. දූෂිත ව්‍යාපාර හරහා ඔවුන් ප්‍රභූන් බවට පත්වූනේ දේශපාලකයින්ගේ සහයෝගය හරහා යි. දූෂිත දේශපාලකයන් ඔවුන්ට නාමයෝජනා දුන්න අතර ජනතාව වැඩි ඡන්දයෙන් බලයට පත් කෙරුවා.

කොහොමහරි දළදා මාලිගාව සිංහල බෞද්ධයින්ගේ දෘෂ්ටියෙන් උත්තරීතරභාවය පාරිශුද්ධභාවය සංකේතාත්මකව නියෝජනය කරන බැවින් මේකි දූෂිත පාදඩ ප්‍රභූන් තමන්ගේ ප්‍රතිරූප වල ඇති ඒ අජූව වහ ගැනීමට ඒ උත්තරීතර සංකේතය පසුබිම් මෙවලමක් විදිහට පාවිච්චි කරමින් ඒ සංකේත වටිනාකම තමන්ට ආරෝපණය කර ගන්නට උත්සාහ කරන ආකාරයයි මේ පින්තූරය කියවන විට අපිට ලැබෙන්න අර්ථය. දළදා මාලිගාවේ ප්‍රභූන් ලෙසට ගෞරවය ලැබුවේ මේ වගේ මිනිසුන් නම්, එවැනි ආයතනයකට හැරවිය යුතු නියම පැත්ත මාලිගාව විසින්ම උසස් කියලා සලකන කට්ටිය විසින් තීරණය කරලා තියෙනවා.

ධනංජය කරුණාරත්න

leave a reply