ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
2025 මුල් මාස 6 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රතියෝජනාව සහ ඒවා සම්බන්ධ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව කොළඹදී අද (ජන. 17) පැවති මාධ්‍ය හමුවකදී එම කොමිෂන් සභාව පැවසීය.
මේ අනුව මෙම නිර්දේශය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ද පවසා තිබේ.
නමුත් මීට දින කිහිපයකට පෙර ඇමැතිවරයා පැවසුවේ දැන්ම විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකල නොහැකි බවයි.
මේ වන විට බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ය.
නව ගාස්තු සංශෝධනය අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0-30 දක්වා 29%, ඒකක 31-60 දක්වා 28%කින්, ඒකක 61-90 දක්වා 19%කින්, ඒකක 91-180 දක්වා 18%කින් සහ ඒකක 180ට වැඩි පාරිභෝගිකයින් සඳහා 19%කින් විදුලි ගාස්තු පහළ දමන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
ඒ අනුව, එම කාණ්ඩයේ සමස්තයක් වශයෙන් විදුලි ගාස්තු අඩුවීමේ ප්‍රතිශතය 20%කි.