මිනිසා මානවීයත්වය අත් කරගත්තේ පරිණාමයේ කවර මොහොතකදීදැයි හරියටම නොදනිතත් ඒ ක‍්‍රියාවලියෙහි ලා ප්‍රේමය නම් සාධකය විසින් වෙසෙස් භූමිකාවක් රඟ දක්වන්නට ඇති වග නිසැකය. පේ‍්‍රමය වනාහී සකල විධ මානුෂික බැඳීම්හි භාවමය පදනම වූවා පමණක් නොව එය ශිෂ්ඨාචාරය පෙරට තල්ලු කරන අධ්‍යාත්මික දැති රෝදය ද වූවේය. ගැහැණිය සහ පිරිමියා අතර වන අතිශයින් සොබාවික ඛණ්ඩනය ඇතැම් දාර්ශනිකයන් විෂයේ තවමත් නොවිසඳුණු අබිරහසක් වුවද ප්‍රේමය වනාහී ඇස් පනා පිට ඔප්පු වන ප‍්‍රත්‍යක්ෂයක්ම විය. ඒ සා සජීවී සමලංකෘත භාවයකින් සමන්විත පේ‍්‍රමය නම් අධ්‍යාත්මික බලසම්පන්න භාවයටද ශිෂ්ඨාචාරයේ එක් දුර්දාන්ත සමයකදී අභියෝගකාරි දෛවයකට පපුව දෙන්නට සිදුවිය. ඒ වනාහී ආදිතම ආදරවන්තයන් අවසිහියකින්වත් කල්පනා කළ තත්ත්වයක් නොවීය.
ඒ භාග්‍යවත් ආදරවන්තයන්ගේ යුගයට තවත් බොහෝ යුග ගණනකට ඉක්බිති ධනවාදය නම් රුදුරු නියතයක් ශිෂ්ඨාචාරය අබියසට ප‍්‍රාදුර්භූත විය. කොතෙක් අනුත්තර වුව ද ලාභ ඉපැයිය නොහැකි කිසිදු ප‍්‍රපංචයක පැවැත්ම ධනවාදය විසින් සහතික නොකළේය. එක්කෝ පැවැත්මේ අනුත්තර රූපකාය වෙනුවට විකාරරූපී දෛවයක් ඊට ආදේශ කළේය. දෙහදක අකලංක ගනුදෙනුව වැලන්ටයින් රෝස මලකට ඌණනය කළාක් මෙනි. අකාරුණික ව්‍යසනයෙන් පේ‍්‍රමය මුදා ගනු වස් සමාජයට කවියන් අවශ්‍ය වූවේය. කසුන් සමරතුංග නම් තරුණයා සිය දෙවන කාව්‍ය සංග‍්‍රහය වන ‘අංගුලිමාල සුළඟ’ ජනගත කරන්නේ පේ‍්‍රමය වනාහී කාලය නාස්ති කිරීමකැයි සිතන සමාජයකට ය. එසේත් නොවේ නම් අධ්‍යාත්මික නිර්මලභාවය අවඥාවට ලක් කොට කායික සූරාකෑම උත්කර්ෂයට නංවන ලද අවකාශයකටය. එහිලා සහෘදයාට පසක් වන්නේ ‘අංගුලිමාල සුළඟ’ කෘතියේ හමුවන පෙම්වතා වනාහී නොම්මර එකේ නාස්තිකාරයෙකු බවකි. නොඑසේ නම් යුගයට අනුචිත තරමේ අවිහිංසකත්වයක් මූර්තිමත් කෙරෙන පේ‍්‍රමවන්තයෙක් බවකි. යුවතියකගේ ඝණ නීල ඇහිබැමට, සමුගන්නා තත්පරේ සසැලෙන ශෝකී මඳහසට, වෛවර්ණ රටාවක් වන් පියොවුරට, ඇගේ දෙතොල් මත නොසන්සුන් බැක්ටීරියාවකට පෙම් බඳින්නටත්, ඉනික්බිති නියත වශයෙන්ම පැන නගින සන්තාපයට ගොදුරු වන්නටත් මේ පේ‍්‍රමවන්තයාට ඕනෑ තරම් කාලය තිබේ.
“වෙන්ව යා යුතු මොහොත එළැඹුණු
නමුත් සසැලුණු හිතක පටැලුණු
මඳහසක් හොරැහින් එබෙයි
නොනිමි පසු විපරම් තිබෙයි
බින්ඳ අඳුරක පාට කැබිලිති
අනාගතය ම වග හැඟී
අන්ධකාරෙක පහන් දැල්ලක
සියුම් ආලෝකය නැඟී
විඩාපත් හිස් සෙමින් පීරා
නටු අගින් සිහිලස වැටේ
දිරා ගිය මතකයක සළකුණු
යළිත් දලුලයි ගස වටේ
පියාසැරියට නැවුම් තටු මොට
ලිහිණියෙකු හඬ දී අසයි
මළානික බස හොටින් ගිලිහී
විරාමය සැණෙකින් වසයි
වෙන්ව යා යුතු මොහොත එළැඹුණු
මඳහසක් හොරැහින් එබෙයි
නමුත් සසැලුණු හිතක පටැලුණු
නොනිමි පසු විපරම් තිබෙයි”
( සසැලෙන හිතක මඳහස – පි. 13/14 )
මේ වූ කලී අවමානුෂිකත්වයට මෑතින් පාෂාණිභූත වූ සමාජයකි. එය කෙබඳු පාෂාණිභූත වීමක් ද? කසුන් වරෙක මෙසේ ලියයි.
“ඇවිදින – දුවන – ඇඹරෙන
සේපියන් අඟ පසඟ
මොහොතකට ගල්වේ
බංකුවේ කෙළවර
කකුල පිට කකුලක් දමාගත්
අලස වැහි බිංදුවක
මඳහසක් දැල්වේ
වැවේ දියවර ඇල්වේ”
( තීන්දුව ඔබටමයි ගතහැකි – පි. 53 )
ප්‍රේමය සතු යම් යාතුකර්මයක් වෙත් නම් මේ එහි ආනුභාව සනාථ කළ යුතු සමයයි. එහිලා කවියා යනු තේජෝ බල පරාක‍්‍රමයෙන් අනූන ඇදුරා ය. පේ‍්‍රමය එය විලංගු ලා ඇති සියලූ කල්පිතයන්ගෙන් සහ මිථ්‍යාවන්ගෙන් මුදා ගැනීම ඇදුරාගේ පළමු වතාවත විය යුතු බවට සැකයක් නොවේ. කසුන්ගේ කවි තුළ අපට හමුවන්නේ යථාර්තයෙන් ඈත් නොවූ පේ‍්‍රමයයි. එහි ඇත්තේ අවන්හලකදී, බසයකදී, මග තොටකදී හමු විය හැකි පේ‍්‍රමයයි. ශාන්තියේ සුදසුනට සේන්දු විය හැක්කේ සන්තාප ශිඛර තරණය කළ පසු බව කවියා දනී.
“ඉතිං අවසන, හුඟක් දේ මඟ හැරී නිවන මට හිමි විණ
නළල මත ඈ තැබූ කිළිපොලන හාදුවට දහක් රැළි එහි මැවිණ!”
( නිවන නම් අවසන – පි. 49 )
මේ කසුන් පසක් කරගන්නා ප්‍රේමයේ සෞන්දර්ය යි. ඒ සෞන්දර්ය ඵලාප්තිය අත්කර ගනු වස් පේ‍්‍රමයේ විවිධ ඉසව් හි ගැවසෙන්නට කෙනෙකුට සිදු වේ. ඒ අර්ථයෙන් කවියා වනාහී වන්දනාකාරයෙකි. රස්තියාදුකාරයෙකි.
‘අංගුලිමාල සුළඟ’ හමායන්නේ ප්‍රේමයේ රික්තකයට පමණක් නොවේ. කසුන් විශ්වය අරභයා වූ අනවරත කුතුහලයකින් ද පෙලෙන කවියෙකි. තමන් අවට ඇති අබිරහස කිනම් අබිරහසක් දැයි කල්පනා කරන ඔහු එය අනාවරණය කර ගැනීම ද සිය කාර්යයෙහිම අත්‍යවශ්‍ය කොටසක් යැයි සිතන සෙයකි. ඔහුගේ ඇතැම් කවියක් කිසියම් අදෘෂ්‍යමාන මැවුම්කරුවෙකු සිටී නම් ඔහු හමුවට පමුණුවන ප‍්‍රශ්න පත‍්‍රයක් පරිදි ය.
“විල – නිදි වරන පෙති යටින්
සඟවගත් රහසක් ද?
මල – පිනි සැලෙන විට තදින්
සිනාසෙන අහසක් ද?
ගල – මතක අත් පහරකට
නැඟුණ රැළි දහසක් ද?
නල – හෙමින් හිස අත ගගා
හෙව්වෙ මුදු පහසක් ද?”
( ද? – පි. 09 )
මේ කුතුහලය යෞවනයට අනන්‍ය කෙටිකාලින ලාලසාවක් නොවේ. එය නිශ්චිත වශයෙන්ම දාර්ශනික කියවීමක් කරා නැඹුරු වූවකි. මිනිසාට දර්ශනය අවශ්‍ය වූයේ විශ්වය පිළිබදව වූ නොහිම් අර්බුදයෙන් පිටමං වෙන්නටය. ඒ සා දුරක් දැන්ම යා යුතු යැයි කසුන් නොසිතයි. ඊට පෙර කියවාගත යුතු අවදානම් කලාපයක් ඔහු හමුවේ තිබේ. ඒ තමන් මේ දෙන ලද මොහොතේ පය ගසා ගෙන සිටින සමාජයයි. එහි ජීවිතයයි.
“විසල් තුරු හිස්
පොළොව දෙස බලාගෙන
මොනව හිතනව ඇද්ද?
හිස් නොයෙක් පාට වුව
මුල් එකයි
සිතනවද?
කඳ දිගේ මෙතෙක් ආ
ගමන දෙස
බලනවද?
වැටෙන පත් එකින් එක
නොබල
මඟ හරිනවද?
මුල අසල දිරන දුක
හදවතින්
විඳිනවද?
සැහැල්ලුව පිණිස යළි
අහස වෙත
හැරෙනවද?”
( ගසක පැන – පි. 35/36 )
හැම විටෙකම කසුන් ගේ කවිය මේ උපුටා දක්වන ලද කවි තරම් සරල නැත. සැහැල්ලු නැත. ඇතැම් අවස්ථාවක දී ඔහුගේ කවිය කිසියම් ව්‍යාකූල ස්වභාවයක් උසුලා හිදී. යම් සැලකිය යුතු කාලයක් කවිය සමගින් මිඩංගු කරන්නට සහෘදයාට සිදුවේ. මේ ව්‍යාකූල භාවය පැන නගින්නේ ලෝකය පිළිබඳව කවියාගේ වන දාර්ශනික විපිළිසරභාවය නිසාද? නොඑසේනම් කාව්‍යමය තාක්ෂණයේ යම් ඌනතාවයක් නිසාද? මෙය සිය කාව්‍ය ව්‍යාපාරයේ ලා කසුන් විසින්ම පිළිතුරු සොයා ගත යුතුව ඇති ගැටළුවකි.
කසුන්ගේ කවි තුලින් සෘජු දේශපාලනික ප‍්‍රතිචාරයක් හමුවන්නේම නැත. මෙය එක අතකින් පුදුම වන්නට හේතුවකි. අප දන්නා කසුන් සමරතුංග වූ කලී අගනුවර ආශ‍්‍රිත ක‍්‍රියාකාරී සංස්කෘතික දේශපාලනයේ කැපී පෙනෙන තරුණයෙකි. ඔහු වැඩිපුරම ගැවසෙන්නේ රැඩිකල් ලිබරල් මිත‍්‍රයන් ඇසුරේ ය. ඔවුන් වනාහී ප‍්‍රතිවාදී දේශපාලන කඳවුරේ පසුගාමී දේශපාලනය විසින් නිරන්තරයෙන්ම කුපිත කරවන ලද පිරිසකි. එවන් සමාජමය ආශ‍්‍රයක් සහිතව සිටියදීත් දෛනික දේශපාලන සංසිද්ධීන් ආශ‍්‍රිත කවියක් කසුන් තුළින් පැන නොනගී. ඒ වනාහී සිතා මතා ප‍්‍රවේශම් වීමේ තක්කඩි ආස්ථානයක් හෝ කසුන් දැන් පරිපූර්ණ වශයෙන්ම පරිණත අදියරකට ළගා වී ඇතැයි යන්න පිළිබද ඉඟියක් හෝ නොවේ. කසුන්ටම ආවේණික වූ කිසියම් සංයත ස්වභාවයකි. ඒ සංයතභාවය කසුන් මෙහෙයවන්නේ වෙනත් ආකාරයක විමුක්තිකාමයක් ගැන ලියන්නටය.
“නොහික්මුණු හොටක තුඩ සීරුවෙන් අතුල්ලන
හරව හරවා මුහුණ හාත්පස පිරික්සන
තටු ලැබුණු ජීවිතේ කොටු නොවන අරුම ගැන
කියාදෙන කුරුල්ලෙකි යකඩ වැට උඩ ලගින”
( යකඩ වැට උඩ කුරුල්ලා – පි. 07 )
පෙම්වතියක ගේ නිල්වන් දෑස ගැන, රත්වන් ලවනත ගැන ලියන තරමේ ප‍්‍රසාදයකින් ඔහු විමුක්තිය පිළිබඳව ලියයි. අවශ්‍ය නම් කෙනෙකුට කවියේ අන්තර්ගත දේශපාලන සංඥා නොතකා නිරූපිත රූපකය අසල වුවත් නතර වන්නට බැරිකමක් නැත. බලන්න මේ කෙටි කවිය!
“එකා වාගෙම එකට සිනාසී ළඟ උන්න
දුෂ්කරම මොහොතකත් ආදරය සෑහෙන්න
බෙදාගත් මතක මැද දැන් විතැන් වී ඔන්න
පාට හත විරසකය තමයි ඔය දේදුන්න”
( දේදුන්න – පි. 27 )
විවිධ මතවාදී බෙදීම් නිසා නිකායගත වූ විප්ලවවාදී මිත‍්‍රයන් හා දේදුන්න අතර සාම්‍යයක් මේ කුඩා කවිය අපට සිහිපත් කර නොදෙන්නේද?
කවිය යනු මටසිලිටි වාග් සංදර්ශනයක් නොවේ. කවිය යනු සුගායනීය විරිත් ප‍්‍රසංගයක් නොවේ. කවිය යනු උපමා රූපකාදී කාව්‍යාලංකාරයන්හි විශිෂ්ට නිපුණත්වයක් නොවේ. පෙර නොවූ විරූ කාව්‍යාත්මක යෙදුම්හි ගවේෂණාත්මක කෙළිමඬල ද නොවේ. කවිය යනු ප‍්‍රස්තුත කර ගන්නා නිමිත්තෙහි ප‍්‍රඥාසම්පන්න භාවය හෝ හෘදයාසන්නභාවයද නොවේ. එසේ නම් කවිය යැයි කියන්නේ කුමකටද? මේ සියලු අඩුවැඩිය නිසි මාත‍්‍රාවට එන්නත් කළ පසුය නිරෝගී කවියක උපත සිදුවන්නේ. මේ අඩුවැඩිය නිසි මාත‍්‍රාවට එන්නත් කිරීම වූ කලී ඉවසිලිවන්ත අභ්‍යාසයකි. බොහෝ තරුණ කවීන්ගේ පොදු දුබලතාවය ප‍්‍රතිභාව හෝ ප‍්‍රඥාව නොවේ. ඉවසීමට තරම් හික්මීමක් නැතිකම ය.
කසුන් ද යම් තරමකට හෝ ඒ දුබලතාවයේ ගොදුරක් බවට පත් වී ඇති වග නොකියා බැරි ය. කාව්‍ය රස නිෂ්පත්තියෙහි ලා අවශ්‍ය අනේකාකාර අමුද්‍රව්‍ය අතින් ඔහු සාරවත් ය. එහෙත් සෞන්දර්යේ අවසාන නිෂ්ඨාවට පෙර ඔහු සිය අමුද්‍රව්‍ය නාස්ති කරගෙන ඇත්දෝ හෝ යන සැකයක් ඇතැම් විට සහෘදයාට උපදී. එහෙත් නිසැකව කිව හැකි කරුණක් තිබේ. ඉතාම ඉවසිලිවන්තව සිය කාව්‍ය ව්‍යාපාරයේ ව්‍යාවෘත වන්නේ නම් ඊළඟ කවි පොත සහෘදයා විෂයේ වඩා පරිපූර්ණ ආශ්වාදයක් ප‍්‍රදානය කරන්නට තිබෙන ඉඩ බොහෝ වැඩි වග ය.
රළ | 2020 මැයි කලාපය | 2 පිටුව