මාවක් ඔය අසළ ඉර බහිනා යාමේ
නමගිය පෙරන්නා ‘ඩිස්පැන්සරි සෝමේ’
හවසට බේත දෙන හින්දා ලැබු නාමේ
කවදාවත් හොරක් නැත කළ වෙළඳාමේ
පින්කම්වලට ඉහළ ම ලන්සුව ලැබුණි
හන්දියෙ ගෙවල් හත අටකට සෙත සැදුණි
පොලිසියෙ මහත්තුරු හිත හොඳ බව පෙනුණි
තොරණෙත් කූඩුවෙත් නිතර ම නම ඇහුණි
ගැහුවත් උගුරට ම එනතුරු ‘වෙලේ සුදා’
ඔහු නෑ විකිණුවේ අනිකට කචල් දදා
ඉරිදා ඉස්කෝලෙ ගියහ ම දරුවො එදා
ලද නින්දාව රිදුණ ලු හදවතට සදා
පන්සල් ගොසින් ලොකු හාමුදුරුවො ළඟට
පින් දී කියපු දේ තව රැව් දෙයි කනට
“හාමුදුරුවනි මං යන්නං යම ලොවට
පොඩි උන් එවන්න ද ඉරිදට පන්සලට?”
තිබුණත් නැතත් කෙනෙකුගෙ හදවතේ තෙත
ලෝ දම ඉදිරියේ පියැවිය යුතු ය නෙත
මිනිසුන් ඥාති වෙන්නේ ඇති නිසයි රත
කළ හොඳ මිසක කිසිවක් පැවතුණේ නැත