Breaking News

මසකින් කල් දාපු මන්නාරම සුළං බලාගාරය වෙනුවෙන් නැවත ටෙන්ඩර් කැඳවනවලු

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා තිබේ.

ඊයේ (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මන්නාරමේ විදුලි ජනනය සම්බන්ධව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. නමුත් පසුගියදා ජනාධිපතිවරයා විසින් පවසා තිබුනේ ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කරන ලද බවයි. එසේම ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ ඇගයීම් වාර්තා අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව අවධාරණය කළ බවද පවසා ඇත. මසක කාලය තුළ ගැටලු සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කියා තිබේ

නමුත් බලශක්ති ඇමතිවරයාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ මේ මසක කාලය ලබාගෙන ඇත්තේ නැවත ටෙන්ඩර් කැඳවීමට බවයි. එහිදී ඇමතිවරයා පවසන්නේ අදානි සමාගමට වුවද නැවත ටෙන්ඩර් සඳහා අයදුම් කළ හැකි බවයි.

මෙහිදී අදානි සමාගම විසින් ඉදිකිරීම් සඳහා වැය වූ මූලික මුදල රජයෙන් ඉල්ලා ඇති බව පළවන වාර්තා සම්බන්ධවද අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ආපසු ගෙවන සහ නොගෙවන තැන්පත් ඇති බවත් ඒ අනුව දිය යුතු දේ සහ නොදිය යුතු දේ කුමක්ද යන්න හඳුනාගනිමින් අවශ්‍ය දේ ලබා දීමට පියවර ගන්නා බවයි.

මේ අනුව බොහෝ පිරිසක් සැක පහළ කරන්නේ මෙම මුදල් නැවත ගෙවීමට සිදුවන බව පවසමින් අදානි සමාගමටම මේ ව්‍යාපෘතිය ලබාදීමේ සූදානමක් ඇති බවයි.

leave a reply