Breaking News

කොරෝනා හමුවේ යුරෝපයේ ජන මාධ්‍ය භාවිතාව ගැන ලංකාවට සිතා බැලීමක්

උදය ආර් තෙන්නකොන් සහ ටෙරල් අබේසිංහ

covid-19 වසංගත තත්වය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිර ගියා. වසංගතය ස්වභාවය අනුව සාමූහිකවත් තනි පුද්ගලයින් ලෙසත් හැමෝටම නිරායාසයෙන් වගකීම් පැවරුණා, මේ වසංගතය පැතිරීම වළක්වා ගැනීම සදහා කටයුතු කරන්න. මිනිසුන් හුදකලා කිරීම, දැනුවත් කිරීම මේ අතර ප්‍රමුඛ කාර්යයක් බවට පත්වුණා, විවිධ මට්ටමින් මේ සඳහා මිනිස්සු උර දුන්නා , දායකත්වය සැපයූවා, දැනුවත් කිරීම සිද්ධ කළා.

වසංගතය හමුවේ මුද්‍රිත මාධ්‍යයේ සීමාවන් අවම වුණා. විද්‍යුත් මාධ්‍යයේ කාර්ය පුළුල් වුණා, ඔවුන්ට ජනතාව දැනුවත් කිරීමේ හැකියාව ලැබුණා. ලෝක ජනමාධ්‍ය හැසිරීමට සාපේක්ෂව ලංකාවේ මාධ්‍යයේ හැසිරීම විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය හැසිරීම විවාද සම්පන්න සහ පක්ෂග්‍රාහී භාවයක් වුසුලනු ලැබුවා . බොහෝ මාධ්‍ය දේශපාලනික වශයෙන් අන්තවාදී ස්වභාවයක් ගත්තා. අපි දුටුවා නීතියේ ආධිපත්‍ය පවා මාධ්‍යයට හිමිවුනු ස්වභාවයෙන් ඔවුන් කටයුතු කරනවා. පිළිකුල් සහගත ලෙස මිනිසුන්ව අපහසුතාවයට පත්වන ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කරනවා. කොරෝනා වෛරසය ආසාදනය වෙච්ච පුද්ගලයන්ව සමාජ විරෝධීන් ලෙස හුවා දක්වන්න උත්සාහ කළා. ඔවුන් ආගිය තැන් හැසිරුණු ආකාරය කිසිදු සදාචාර මිනුම් දණ්ඩක් අනුගමනය නොකළ රූප රාමු තුළට පුහුණු හසුකරගෙන ඒ පුද්ගලයන්ව මාජය තුළ ප්‍රසිද්ධියට පත් කරනවා.

ඉතින් මේ මොහොතේ මාධ්‍ය හැසිරීම පිළිබඳව විවර අපි කල්පනා කරා කතාබහක් නිර්මාණය කරන්න. ඒ සඳහා සමාජයේ විවිධ ස්තරයන් නියෝජනය කරන පුද්ගලයින් කීප දෙනෙක්ට මේ සඳහා අදහස් දක්වන්න අපි අවස්ථාවක් ලබා දුන්නා. එහි දෙවන අදහස් දැක්වීම මාධ්‍ය වේදි, යුරෝපයේ සිට උදය ආර් තෙන්නකොන් සහ ටෙරල් අබේසිංහ ඕපියුම ලෙෆ්ට් වෙනුවෙන්.

 

කෝවිඩ්- 19 හෙවත් කොරෝනා ව්‍යවසනය විසින් ලොකය පුරාවටම විශේෂිත තත්ත්වයක් නිර්මාණය කෙරී තියෙනවා. ඒ තමයි සෑම රටකම එක සමාන තත්වයක්ල එහෙමත් නැත්නම් ව්‍යවසනාත්මක අර්බුදයක් නිර්මාණය වී තිබීම. සුලු හෝ වෙනස්කමක් පවතිනුයේ මේ තත්ත්වයට මුහුණ දීමේ දී ඒ ඒ රටවල් තෝරන උපාය උපක්‍රමයන්ගේයි. මෙහි දී ජනමාධ්‍යයේ කාර්යත් ඒ වගේම යි. යුරෝපයේ ජන මාධ්‍ය ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කිරීමේ දී, ලංකාවේ ජන මාධ්‍ය ක්‍රියා කරන ආකාරය අතර සැසඳිය නො හැකි විශේෂත්වයක් දකින්න පුළුවන්. ඒ තමයි කැපී පෙනෙන විශේෂත්වයක් නැතිකම දක්නට ලැබීම. විශේෂත්වයක් නැත යැයි අදහස් වෙන්නේ, කොරෝනා ව්‍යාප්තිය හා රාජ්‍යයල රාජ්‍යය හා ජනතාව කියන සන්දර්භයේ දීල ජන මාධ්‍යයට දැනුවත් කිරීමට සිදුව තිබෙන්නේ රාජ්‍යය හා ජනතාව අතර ඇති සහ සම්බන්ධයට අයත් කාර්ය කොටස මිස විශේෂිත දෙයක් නො වීමය. මෙහි දී ද කැපි පෙනෙන වෙනස ඇත්තේ, මේ අතර මැදි කාර්ය කරන ආකාරයෙයි. ඒ වෙනස්කම නිර්මාණය වන්නේ ඔවුනොවුන් කොයිතරම් දුරට ජනමාධ්‍ය මූලධර්මයන් මත පිහිටා ක්‍රියා කරන්නේ ද යන්න මත ය.

මේකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි යුරෝපය සමස්ථයක් ලෙසත්, යුරෝපයට අයත් රාජ්‍යයන් වෙන වෙනමත් “රාජ්‍ය ” (State) කියන පුළුල් ව්‍යුහය ගොඩ නගා තිබීම. ලිබරල්වාදී අගයන් හා ආචාර ධර්ම මත බටහිර දාර්ශනික අදහස්වලින් යුතු සංස්කෘතියකින් යුක්ත වීම යුරෝපා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය මේකට ඉතා තදින් බලපා තියෙනවා කිව්වොත් නිවැරදි විය හැකියි. පුළුල් සන්දර්භයේ දී මේ ගැන විවේචනයක් අපට ඇතැත්, මෙකී තත්ත්වය හමුවේ ජාතියක් හෝ රටක් ලෙස කටයුතු කිරීමේ දී යම්කිසි සම්මුතියක් මතයි කටයුතු කරන්නේ. එම සම්මුතිය සංස්කෘතියක් ලෙස ඇති වී තිබෙන දෙයක්.

බටහිර යුරෝපය කලාපයක් ලෙස එකීයත්වයක් තියෙනවා. එය භෞමිකව වෙනස්කම් පැවතියත්, චින්තනයේ පදනම එකක් වීම වැදගත් කාරණයක්. නමුත් මේ එ්කකත්වය තුළ කැපිපෙනෙන ආකාරයේ විවිධත්වයන් ද තියෙනවා. ඒ විවිධත්වය වෙනස් වෙනස් වු ජාතික රාජ්‍යයන් ලෙස සන්විධානය වී තිබෙන්නේ. අපිට එ්ක මේ විදිහට නම් කරන්න පුළුවන්. ඒකත්වය තුළ විවිධත්වය කියලා (Unity in diversity).තව දුරටත් එය විස්තර කලහෝත් බටහිර දර්ශන්යන් මත පිහිටි ලිබරල්වාදී අගයයන් හා ආචාර ධර්ම වලින් යුතු යුරෝපා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය.

නව ලිබරල්වාදී බල පෑම්වලින් රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති කෙරෙහි කෙතරම් බල පෑමක් ඇති වූවා වුවත් රාජ්‍යය හා ජනතාව අතර ඇති ඓන්ද්‍රීය සම්බන්ධය ඉහත කී පදනම මත කොතරම් තදින් පිහිටා තිබේද යන්න මෙ ව්‍යවසනය වෙලාවේ හොඳින් දකින්නට ලැබෙනවා.

මෙහි දී ජන මාධ්‍ය විදිහට ඇති වගකීම වී ඇත්තේ “කරුණු “(Facts) නිවැරදිව සමාජය වෙත ලබා දීමයි. මාධ්‍යයන්ගේ ඇති විවිධත්වය අනුව ඉදිරිපත් කරන ආකෘතිය වෙනස් වුණත්, කරුණු විකෘති කිරීම කියන කාරණයේ දී, වගකීමක් ලෙසත්, ආචාර ධර්මයක් ලෙසත් භාවිත කිරීම දකින්නට පුළුවන්. දේශපාලනය යන මාතෘකාවේ දී මෙම කාරණය සම්බන්ධයෙන් පක්ෂ හෝ මතවාදී යන බෙදීම් පොදු කරගෙන මෙම ව්‍යවසනයේ දී දේශපාලනික ගැටලු කතා කරනු ලැබුවත්, කිසිදු මාධ්‍යයකින් ලංකාවේ මෙන් පක්ෂයකට හෝ ආණ්ඩුවකට පක්ෂපාතිත්වය කියන මැදිහත් වීම සෘජුව දක්නට ලැබෙන්නේ නැහැ. නිදසුනක් වශයෙන් ජර්මනිය, ස්විස්ටර්ලන්තය (සුවිස්ටර්ලන්තයේ ජාතික භාශා හතරක් තියනවා. ඉන් එකක් වන්නේ ජර්මන් භාශාව) ඔස්ට්‍රියාව වැනි ජර්මන් භාෂාව කතා කරන රටවල කොරෝනා වසංගතයක් එක්ක දේශපාලනය කේන්ද්‍ර වී තිබෙන්නේ “ගෙසුන්ඩ්හයිට් පොලිටික්ස් ” (Gesundheit Pilitiks) කියන සන්දර්භීය සංකල්පය යටතේ. මේ යටතේ ජන මාධ්‍යයේ කාර්ය වී ඇත්තේ කොරෝනාවට මුහුණ දෙන්නේ කෙසේද යන්නත්, සමාජය නැවත ගොඩ නැගීමේ දී ඇති විය හැකි ගැටලු ඒ ඒ අංශ කෙරෙහි මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡාවට ලක් කිරීම යි.

ඒ වගේම නිවැරදි තොරතුරු වෙනුවට වැරදි තොරතුරු හා සමාජය නො මග යැවීමේ මාධ්‍ය භාවිතය ගැන නිසි අවධානයක් යොමු වීමත්, විශේෂයෙන් සමාජ මාධ්‍යයන් හරහා සිදු වන මෙම ප්‍රවනතාව පාලනය කිරීම සඳහා යුරෝපයට අදාල නීති රෙගුලාසි ද ඔවුන් සතුව පවතිනවා. නමුත් සමාජ මාධ්‍ය සමාගම් (Social Media companies) යුරෝපා සන්දරභයෙන් පිටත ඇති නිසා එය පාලනය කිරීම ගැටලුවක් ලෙසත් පවතිනේනේ ෆේස් බුක් (Facebook) ට්විටර්ල (Twitter) යූටියුබ් (Youtube) හා ඉන්ස්ටම් (Instargram)වැනි මාධ්‍ය අධිකාරය යුරෝපයෙන් පිටත පැවතීම නිසාය. ඒ වගේම මුලින් විස්තර කළ දේශපාලන සංස්කෘතියක් තුළ හික්මවන ලැබූ සමාජයක සාමාජිකයන් අති බහුතරයක් තම මූළධර්ම මත පිහිටා පුරවැසියන් ලෙස වගකීම් සහගතව ක්‍රියා කිරීම ද කැපීපෙනේ කාරනයකි. එම තත්ත්වය තුල දී පවා මෙම ප්‍රවණතාව තුල කරුණු විකෘති කිරීම් සිදුවන බව දැකිය හැකි අතර ඒ පිළිබඳ ඒ ඒ රාජ්‍යයන්ගේ අවධානය යොමු වෙනවා. මෙහි දී මතු වන වැදගත් කාරණය වන්නේ “නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” යන්න ගැන අදහස් ප්‍රකාශ කරන්නාට ඇති නිදහස ගැන සැලකිලිමත් විය යුත්තේ ” නැවැරදි කරුණු” යන මූල ධර්මය මතය මෙම තත්ත්වය ලංකාවේ රාජ්‍ය පැත්තෙන් මෙන්ම ජනතාව පැත්තෙන් පවා වගකීම හා ආචාර ධාර්මිකත්වය යන්න ගැන සංස්කෘතියක් ලෙස නො සිතන කාරණයක් බවයි පෙනෙන්නේ.

මෙම කාරණය සම්බන්ධයෙන් යුරෝපය තුල දැඩි අවධානයක් කරුණු විකෘති කිරීම සම්බන්ධව පවතිනවා. මෙහි දී වැරදි තොරතුරු පැතිර වීමේ වාහකයන් ලෙස සමාජ මාධ්‍ය ජාලයන් ප්‍රධාන වන නිසා ඒ පිළිබඳ යුරෝපය තුල දැනුවත් කිරීම් හා සාකච්ඡාවන් ඇති වී තිබෙනවා. නිදසුනක් ලෙස විශේෂයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සුකර්බර්ග් (Mark Zuckerberg) බ්‍රසල්ස් වෙත පැමිණීමට සිදු වේග එසේ පැමිණෙන්නේ ඔහුගේ ආයතනයේ ක්‍රියාකාරීත්වයේ ඇති සීමාකම් ගැන යුරෝපා සංගමයට ඇති ගැටලුව නිසාය. මේ සම්බන්ධයෙන් එම සමාගමේ පාලනයෙන් තොර භාවිතාවන් දර්ශනය සම්බ්නධව ඇති මූල ධර්මයන් යුරෝපය ප්‍රතික්ෂේප කර තියෙනවා. ඒ අනුව එවැනි සමාගම්වලට යුරෝපයේ නීති රීති සම්බන්ධයෙන් සලකා බැලීමට සිදුව තිබෙනවා.
කරුණු විකෘති කිරීම හා වැරදි තොරතුරු සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් තුල සිදු වන මාධ්‍ය භාවිතාව හා පුද්ගලික සංවාද කණ්ඩායම් (Private chat Groups) විසින් සිදු කරන කරුණු අව භාවිතය පාලනය කළ නො හැකි මට්ටමක පැවැතියත්, ඒ පිළිබඳව පවා අවධානය යොමු වී තිබෙනවා.

තවත් වැදගත් කාරණයක් වන්නේ, පශ්චාත් සත්‍යය (post truth) නැතිනම් පශ්චාත් කරුණු කියන කාරණය ද ජන මාධ්‍යයේ ඇති සංකීර්ණත්වයත්, වෙළෙඳ පොල අරමුණුත් නිසා එලියට පැමිණීමෙන් ජනතාවට නියම කරුණු වෙනුවට වෙනත් අර්ථ ගෙන දීමේ අවස්ථාවන් පිළිබඳව රාජ්‍යය මෙන්ම ජන මාධ්‍යය ද යම් දැනුවත් කමකින් කටයුතු කිරීමයි. ඇත්තටම මේ තත්ත්වය ලංකාව තුල නම් ජන මාධ්‍ය මෙන්ම රාජ්‍ය තුල ද හරි හරියට සිදු වීම කිසිවකුගේ අවධානයට යොමු වී නැති කාරණයක්.

හැබැයි යුරෝපය තුල මේ සියල්ල සිද්ධ වෙන්නේ “ධනවාදී ” මෙන්ම ලිබරල්වාදී අර්ථයෙන් මිසක වෙනත් වාම අදහස් හෝ රැඩිකල් ඉල්ලීම්වලට අනුව නොව බව මතක තියා ගන්න ඕනෑ. සමාජ ක්‍රමයට හාත්පසින් වෙනස් බලපෑම් සහිත අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රධාන මාධ්‍යය ඉඩක් මෙන්ම අවශ්‍යතාවක් ද නැහැ. වාමාංශික අර්ථයෙන් ලංකාවේ සන්දර්භයත් එක්ක ගත්තම කැපී පෙනෙන වෙනසක් තියෙනවා.

අනික ධනවාදයේ නව ලිබරල්වාදී ඇතැම් ප්‍රතිපත්තිවලට විරෝධතා සිවිල් සමාජය විසින්ම පැන නැගීම නිසා අදහස් දැක්වීමේ නිදහස කියන එක ලංකාවේ තරමට ගැටලුවක් වී නැහැ. මෙහි දී ලාංකීය සිවිල් සමාජයේ ඇති ගැටලුව හොඳින් පේනවා. මොකද ලාංකීය ඊනියා සිවිල් සමාජය යනු පක්ෂ දේශපාලනයෙන් වෙන් වූවක් නො වන නිසා. අනික ලංකාවේ වැනි තරමට ජනතාව අන්දවන්න පුළුවන් කමක් නෑ. සමස්තයක් විදිහට සමාජයේ බහු විධ ක්‍රියාකාරකම් නිසා දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත්. එම දැනුවත්කම ලැබෙන්නේ සම්ප්‍රධායික ජන මාධ්‍යයෙන් ම කියලා කියන්න බැහැ.

කොරෝනා වැනි අත්දැකීමක් ප්‍රථම වරට අත් දකින්නට වීම නිසා සමාජය අලුත් කම්පනයක වෙලී ඉන්න නිසා එයින් වාසි ගැනීමට ජනමාධ්‍යට අවකාශයක් නැති වී තිබෙන්නෙත් යුරෝපය යම් කිසි දේශපාලනික ස්ථාවරයක රාජ්‍යයන් ලෙස පැවැතීම නිසයි.

උදය අර තෙන්නකොන් සහ ටෙරල් අබේසිංහ                                                                                                                                                 ඕපියුම ලෙෆ්ට් වෙනුවෙන් යුරෝපයේ සිට


  ‘වසංගත මාධ්‍ය හැසිරීම’ පළමු ලිපිය – මේ රටේ මුද්‍රිත,විද්‍යුත් මාධ්‍ය මොනතරම් ජුගුප්සාජනකද? මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත

leave a reply