Breaking News

කොරෝනා වසංගත නීති උල්ලංඝනය නොකර ඊශ්‍රායෙල් ජනතාව ආණ්ඩුවට විරෝධය දක්වයි

සුභාෂිනී චතුරිකා

ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා හෙලා දකිමින් පසුගිය දහනම වැනි ඉරිදා, ඊශ්‍රායෙල් හි ටෙල් අවිව් නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි. ඉරිදා දින සවස් වරුවේ පැවැත්වුනු එම විරෝධතාව ‘කළු කොඩි’ උද්ඝෝෂණය ලෙස හඳුන්වා දී තිබුණු අතර ටෙල් අවිව් නගරයේ රබින් චතුරස්‍රයට එක් රැස් වුණ විරෝධතාකරුවන් කොරෝනා වසංගතයෙන් වැළකීමේ ක්‍රියාමාර්ග නියමාකාරයෙන් පිළිපදිමින් එකිනෙකා අතර මීටර දෙකක පරතරයක් පවත්වාගැනීමට තරම් සංයමකින් සහ විනය ගරුක බවකින් යුක්ත වීම එම විරෝධතාවයේ විශේෂ ලක්ෂණයක් විය.

අන්තරජාලය හරහා ‘යෙෂ් අතීඩ්’ පක්ෂයේ නායක යායිර් ලැපීඩ් සහ ‘ටෙලෙම්’ පක්ෂයේ නායක, ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ඇමති මෝෂේ යාලන් විසින් එම විරෝධතාකරුවන් ඇමතූහ.(2019 වසරේ ඊශ්‍රායලයේ පැවැත්වුණු මැතිවරණයට මුහුණ දීම සඳහා නෙතන්යාහු ගේ ආණ්ඩු පක්ෂයට විරුද්ධව, පක්ෂ තුනක් එකතුවී ‘නිල් සුදු’පක්ෂය නමින් සංධානයක් ගොඩ ගත්‍තේය. එම පක්ෂ ත්‍රිත්වය නම් යෙෂ් අතීඩ් පක්ෂය, ටෙලෙම් පක්ෂය සහ ඊශ්‍රායෙල් ආරක්ෂක අංශයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු වන බෙනී ගැන්ට්ස් විසින් නායකත්වය දෙන Israel Resilience පක්ෂයයි. එම සාංධානයේ නායකත්ව දැරුවේ ද බෙනී ගැන්ට්ස් විසිනි. 2020 මාර්තු මාසයේ ඊශ්‍රායලයේ පැවැති මැතිවරණයෙන් පසුව බෙනී ගැන්ට්ස්, නෙතන්යාහුගේ පාලනය සහ එක් වීමට තීරණය කළ අතර එම ක්‍රියාව හේතුවෙන් නිල් සුදු පක්ෂ සංධානය බිඳ වැටුණේය.)

සංවිධාකයින්ට අනුව රබින් චතුරශ්‍රයට විරෝධතාකරුවන් පන්දහසක් පමණ පැමිණ සිටි අතර ඔවුන්ගේ මුලික අරමුණ වී තිබුනේ රට තුළ ක්‍රියාත්මක වන නෙතන්යාහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා පිළිවෙතට විරෝධය දැක්වීමය. කොරෝනා වසංගයත හේතුවෙන් පැනවී ඇති නීති රෙගුලාසි හේතුවෙන් තවත් දහස් ගණනක පිරිසක් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එම වි‍රෝධයට සහය පළ කර තිබුණි.
යෙෂ් අතීඩ්-ටෙලෙම් පක්ෂ නායකයින් එම උද්‍ඝෝෂණය අමතමින් කියා සිටියේ නෙතන්යාහු අගමැතිවරයා ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළවමින් සිටින අතර නිල් සුදු සංධානයේ නායක බෙනී ගැන්ට්ස් ආණ්ඩුවට එක් වීමට දරන උත්සාහය එයට තවදුරටත් පිටුබලයක් සපයන බවකි.

“ඔවුන් අපි ඇතුළෙ ඉඳිමින් සටන් කරනවා වැනි එක එක කතන්දර කියමින් ආණ්ඩුට රිංගා ගැනීමට උත්සාහ කරනවා.” ලැපිඩ් පැවසීය. “එහෙත් ඔබලා ඇතුළෙ ඉඳිමින් සටන් කරන්නේ නැහැ. ඔබලා ඇතුළේ ඉඳිමින් දූෂණ වලට විරුද්ධව සටන් කරන්නේ නැහැ. ඔබ ආණ්ඩුවේ ඇතුළෙ ඉන්නවා කියන්නෙ ඔබත් ඔවුන්ගේ කෙනෙක් කියන එක තමයි.”

එම ඉරිදා දින ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නෙතන්යාහු සහ ගැන්ට්ස් අතර පැවැත්වුනු සාකච්ඡා ලැපිඩ් විසින් සමච්චලයට ලක් කළේය. “මේ අටවා ගන්නා ආණ්ඩුව හදිසි තත්ව යටතේ පිහිටුවන ආණ්ඩුවක්වත් ජාතික ආණ්ඩුවක් වත් නොවෙයි. මෙය නෙතන්යාහුගේ පස්වෙනි ආණ්ඩුව. ඒකයි ගනුදෙනුව. ඔවුන් කොරෝනා වෛරසය ගැනවත් රටේ ආර්ථිකය ගැනවත් කතා කළේ නැහැ. ඔවුන් කතා කළේ ඔවුන් ගැන. ඔවුන්ගේ රැකියා ගැන. අපිට වංචා කරලා නිල් සුදු සංධානයත් කඩා බිඳ දමලා ගිය අය දැන් වංචාවලට චෝදනා ලබලා සිටින කෙනෙක් එක්ක එකට ඉඳගන්න හදනවා. රැකියාවලින් සහ වෙනත් වරප්‍රසාද ලෙස අල්ලස් ලබපු අය අල්ලස් දීම සම්බ්න්දයෙන් චෝදනා ලබලා තියෙන අය එක්ක එකට ඉඳ ගන්න හදනවා.”

නෙතන්යාහු අල්ලස් සහ වංචා දූෂණ සිද්ධින් තුනකට චෝදනා ලබා ඇති අතර ඊට අදාළ නඩු විමසීම් මාර්තු 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය නිසා එම නඩු මැයි මාසය දක්වා කල් තබා ඇත. නෙතන්යාහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ ඒවා සියල්ල විරුද්ධ පක්ෂය, මාධ්‍ය සහ පොලිසිය එක්ව සිදුකරන කුමණ්ත්‍රණ ලෙස පෙන්වා දෙමිනි.

ලැපිඩ් ප්‍රකාශ කළේ ඉදිරියේදි සිදුවීමට නියමිත දේශපාලන ගනුදෙනුව නිසා නෙතන්යාහුට බොහෝ විට එම සාපරාධි චෝදනා වලින් නිදහස් වීමට හැකි වනු ඇති බවයි.
“සාපරාධි චෝදනා ලැබ සිටින පුද්ගලයෙකුට ඔහු‍‍ගේ නඩු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පොලිස්පති, රජයේ අභිචෝදක, නීතිපති වැනි තනතුරුවලට පුද්ගලයින් පත්කළ නොහැකිය. නෙතන්යාහු උත්සාහ ගන්නේ එවැනි ඉල්ලීම් සපුරා ගැනීමටය. එම ඉල්ලිම් වලට යටත් වීම යනු විපක්ෂයේ හඬ නොවෙයි. එය හුදු සීනී තැවරීමක් පමණි.”

“විසිවැනි ශතවර්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් මියැදෙන්නේ මේ ආකාරයෙනි. ඒවා මිහි මතින් අතුගෑවි යන්නේ පාර්ලිමේන්තුව උඩින් යුධටැංකි දුවවා නොවෙයි. එම රාජ්‍යයන් තුළින්ම ඒවා මියයයි. අවුරුදු පහකට කළින් තුර්කිය ප්‍රජාතන්ත්‍රවාදී රටකි. අවුරුදු හතරකට ප්‍රථම හංගේරියාවත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. එම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් මියැදුණේ ඒවා ම තුළිනි. ඒ යහපත් මිනිසුන්‍‍ගේ නිහැඬියාව හේතුවෙන් දුර්වල මිනිස්සු ලේසියෙන්ම යටත් වෙන නිසාය”

ලැපිඩ් ඔහුගේ කතාවෙදී ශපත කොට කියා සිටියේ ඔවුන් ‘කිසිදිනෙක යටත් නොවන’ බවය.
නෙතන්යාහු ප්‍රමඛ ආණ්ඩුව කොරෝනා වසංගතය තම දේශපාලන උවමනාකම් ඉෂ්ඨ කරගැනීමට යොදා ගන්නා බවත් එම ක්‍රියාපටිපාටිය නිසා සියල්ලන්ටම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත්, මොෂේ යාලන් විරෝධතාකරුවන් අමතමින් කියා සිටියේය.
“ඊශ්‍රායලය සුවපත් විය යුත්තේ කොරෝනා වසංගතයෙන් පමණක් නොවෙයි. ඊශ්‍රායාලය යනු තමන් ගැන නොව ජනතාව ගැන සිතන නායකත්වයක් තුළින් සුවපත් වීමක් අවශ්‍ය කරන රාජ්‍යයකි. වෛරයේ ගිනි දැල් නිවා, සියළු ජනකොටස් ඒකාරාශි කරන නායකත්වයක් අප රටට දැන් අවශ්‍යය” යාලන් පැවසීය.

යාලන් විසින් නෙතන්යාහු වෙත එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු ගැන්ට්ස් සමඟ සංධානගතවී ව්‍යවස්තා විරෝධි ලෙස තම බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරන බවයි. මෙවැනිම ආකාරයේ විරෝධතා රැළියක් පසුගිය බ්‍රහස්පතින්දා (16) ටෙල් අවිව් නගරයේ හබීමා චතුරශ්‍රයේ විරෝධතාකරුවන් දෙදහසක සහභාගීත්වයෙන් පැවැත්විණ.

කොරෝනා වසංගතය පැතිරීම වළක්වා ගැනීම සඳහා පනවා ඇති නීති නිසා මුල් අවස්ථාවේ දී විරෝධතාකරුවෝ තම රථ වාහන තුළට සීමා වී විරෝධතාව දියත් කළහ. පසුගිය සඳුදා දින විරෝධතාකරුවන් නිල් සුදු පක්ෂයේ සාමාජිකයෙකු වූ සහ ගැන්ට්ස් සමඟ එක්වී නෙතන්යාහු සමඟ සංධානගත විමට උත්සාහ දරමින් සිටින ගැබී අස්කෙන්සායි ගේ නිවස ආසන්නයේ උද්‍ඝෝෂණය කළ අතර නීති විරෝධි එක්රැස් වීම් හේතුවෙන් විරෝධතාකරුවන් අතරින් පස් දෙනෙකුට ඇමරිකානු ඩොලර් 133 – 1,400 අතර මුදලක් දඩ නියම කළ බව එම උද්ඝෝෂ‍ණයේ සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

එහෙත් පසුව අස්කෙන්සායි විසින්ම එම දඩ නියම කිරීම ඉවත් කරගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබුණි. “විරෝධතාකරුවන් සෞඛ්‍ය සේවා වල උපදෙස් හරියාකාරව අනුගනමය කර ඇති නිසා මේ දිනවල පවා අප ජනතාවගේ භාෂණයේ නිදහසත් උද්‍ඝෝෂණයේ කිරීමේ අයිතියත් තහවුරු කළ යුතුව ඇත’ ඔහු පසුව ටිවිටර් පණිවුඩයකින් එසේ දක්වා තිබුණි.

සුභාෂිනී චතුරිකා

leave a reply