Breaking News

” My Womb , A Barren Land”

චමිලා මැණික්ගමගේ

ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුන කවි පොතක් ගැන තොරතුරු සිංහල භාෂාවෙන් සටහන් කිරීම වෙනස් අත්දැකීමක් වුවද එය එසේ කිරීමට සිත්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ලිපි හා විචාර එක්තරා පාඨක පිරිසක් පමණක් වැළඳගැනීම සිදුවීම හේතුවෙනි.ඒ ඉංග්‍රීසි බාෂාව නොදැනීම ම පමණක් නොව අප බොහෝ විට පුරුදුව සිටින්නේ ලයට දැනෙන ලෙස මව්බසින් කියවීම හුරු කරගැනීමය.එය සුලබ කාරණාවක් බව අත්දැකීමෙන්ම දනිමි.

නිසංසලා ධර්මසේන බර්තෝලමියුස් යනු ඉංග්‍රීසි බසින් කවි ලියන කිවිඳියක් මෙන්ම විචාරිකාවක්ද වේ.ඇගේ දෙවන කවි පොත වන ” My Womb , A Barren Land” අතැතිව හිඳින මේ මොහොත සුවිශේෂී වන්නේ පොත් මුද්‍රණය සීමා වූ කාලවකවානුවක ඉතාම ආකර්ෂණීය ලෙස බාහිර පිටවැස්මක් සහිතව ,ඔප දැමූ මනරම් සිතුවම් සහිතව සෞම්‍ය කඩදාසි මත සීරුවෙන් තබා ඇති අපූර්ව කවි ,වෙනස් මානයකට අපව කැඳවාගෙන යන නිසාවෙනි.ඇය පළමුව ලියූ ” Colour Of My Dream ” (එක්සත් රාජධානියේ )විදේශ සඟරා දෙකක පලවීමද සතුටට කරුණකි.ඇගේ පළමු කවි පොත වූ ” Fleeting Moments ” (2019) කිරීමෙන් වසර තුනකින් පසුව “My Womb ,A Barren Land ” පාඨකයාට පිරිනැමේ.මෑත කාලීනව මා දන්නා, සාහිත්‍යය ක්ෂේත්‍රයේ වැඩිම පොත් පරිශීලනයක් සහිත යුවතියක ලෙසත් විවිධ ශානරයන් ඇසුරින් දැනුම සොයනා සේම, දැනුම දින දින වඩවා ඉදිරියට යන සවිමත් කාන්තාවක ලෙසත් මා ඇයව හැඳින්වීමට ප්‍රිය කරමි.ඇය කවි,කෙටිකතා නවකතා සේම විදෙස් සාහිත්‍ය ග්‍රන්ථ පරිශීලනය අතින් ඉහල ස්ථානයක සිටීම නොරහසකි .ඇය දන්නා හඳුනන කාලයේ පටන් ඇගේ මුහුණු පොත පිරී ඇත්තේ යමක් අහුලා ගන්නට ඇති තැනක් ලෙසිනි.එක්කෝ කියවූ පොතක් ගැන තොරතුරකි ,නොඑසේනම් පොත් කියවන්නට උසිගැන්වීමකි ,එසේත් නොවන තැන්හි සිත් නිවන චායාරූපයකි.මේ සියල්ලන්ටම වඩා මට හමු වූ වැදගත් ම අවස්ථාව වන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සහ සජීවී ලෙස අවස්ථා කිහිපයකදී ඇගේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ගෙන් සිදුකල සාහිත්‍යය දේශන වලට සවන්දීමට අවස්ථාව ලැබීමය.ඇගේ පැහැදිලි ප්‍රසන්න හඬ එම දේශණ වඩාත් උද්‍යෝගිමත් අවස්ථා අපවෙත ගෙන ආ අයුරු අදද සිහිවේ.

නිසංසලා ,නොපසුබස්නා උත්සාහවන්ත කාන්තාවක් බව මොනවට පැහැදිලි වන්නේ ඈ සතු අධ්‍යාපන වත්කම් ඉහල තලයක පැවතීමයි.ඇය විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ කථිකාචාර්ය වරියක් ලෙස කටයුතු කරන අතර සන්නිවේදන තාක්ෂණ ගෞරව උපාධිධාරිනියකි. එසේම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි .එසේම විවිධ ක්ෂේත්‍රයන්හි ඩිප්ලෝමා කිහිපයකට හිමිකම් කියන්නීය.ඈ ගැන මේ කෙටි හැඳින්වීම අතිශයෝක්තියක් නොවන්නා සේම සියලු හැදින්වීම් මේ සටහනේ නොවන වගද කිව යුතුමය.ඇය දක්ෂ චිත්‍ර ශිල්පිණියක ද බව සිහිගන්වන්නේ ඇයටද එය විටෙක අමතක වන නිසාවෙනි.

ඇගේ ” My Womb A Barren Land ” කවි පොතේ නම් දරන කවිය එහි මා සිත් ගත්ම කවිය ලෙස සටහන් කරමි.

My womb a barren land
Where no child ever played
No smile ever heard
No laughter ever sprinkled love .
My womb a barren land
Where no footsteps ever heard
No lullaby ever sung
No kisses ever held.
My womb a barren land
Where love never flowed
No memories ever made
No child ever born.
Yes, My womb is a barren land
Yet,
My heart,
My heart is where everything was,
Eveything is.

ඉහත කවිය කියවූ විට කාන්තාවකගේ හදවත තුළ යම් කම්පනයක් සිදුනොවූ වේ නම් ඒ කිසිදු සහකම්පනයක් රහිත හදවතක් ඇති කාන්තාවකගේ පමණී.සරල බස් වහරක දැනෙන අපමණ ගැඹුරු සහ ලෝක ස්වභාවය කියවෙන එහි කාන්තාවකගේ ගර්භාෂය මුඩු බිමකට සමාන කරයි.

කිසිදිනෙක බිළිඳෙකු කෙළිකම් නොකල, කිසිදා සිනා හඬක් නොනැගි, ආදරයේ පහසක් නොලද ඒ ගර්භය මුඩු බිමකි,එසේම කිසිදා නැළවිලි ගී හඬක් නොඇසුණු,සිප ගැන්මක් නොලද ,ආදරය ගලා නොගිය ….කිසිම දිනයක දරුවෙකු ඉපදීමක් නැති මේ ගර්භය මුඩුබිමකි..නිසරු දේශයකි… කෙතරම් ශෝකී රසයක් ඉපැදුන කවියක්ද ? ගර්භය නිසරු දේශයකට සමාන කිරීමෙන් ඇය අදහස් කල හිස්කම ,පාළුව ,තනිකම කාන්තාවකට දැරිය හැකිද?…

පහත කවියද ඒ හා සමාන ජීවන දෘෂ්ටියක් පෙන්නුම්කරන අපූර්ව නිර්මාණයකි.

An Island Of Misfit Journeys
On an island os misfit journeys
There lies a casket made of memories
Like a monk meditating
With a bowed head
You traveled .
Arrived
At an island made of misfit journeys
Gently keeping pace with your footsteps
Memories traveled too
Shoulder crouching
With a darkness unnamed
Sometimes you would look at the sky
As if looking for the seagulls
In a land without the sea .

අහඹු ජීවන චාරිකාව නොනිම් ගමනක් බවත්, මතක භාවනාවන් ඇසුරේ ආ මඟ අඳුරු තැන් මගැ’ර සොයා යෑම මුහුදක් නොමැති බිම්කඩක දියකාවුන් සොයනාක් බඳු යැයි පවසමින් නිසංසලා ,අප ජීවිතය සතුට සහ තැවුල් වලින් පිරුණු තැනක් බව කවියෙන් පෙන්වා දෙයි.
එසේම ඇගේ තවත් එවැනිම රසවත් ඉංග්‍රීසි කවි 49 කින් අනූන “My Womb A Barren Land ” කියවා රස විඳීම කවි කියවන ඔබ ට නවමු අත්දැකීම කි.වෙනත් ඉංග්‍රීසි කවි පොත් කිහිපයක් පමණක් ඇසුරු කර ඇති මට නිසංසලා ගේ කියවීම් සමග ඉංග්‍රීසි බාෂාවෙන් ලියවූ කවි පොත් ඇසුර වඩාත් උත්තේජනය වූ බව කිව යුතුමය.නිසංසලා ධර්මසේන බර්තෝලමියුස් යනු “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත ” කියමන වටිනාකමක් නැති තැනට ඇද දැමූ කාන්තාවක් ලෙස හැඳින්වීමට මම රිසි වෙමි.

චමිලා මැණික්ගමගේ

leave a reply