Breaking News

“They come from North ” සාර්ථකව නිමාවට පත්කරන්න හැකියාව ලැබුණා –  ප්‍රසාත් හෙට්ටිආරච්චි

“They come from North ” නමින් ප්‍රසාත් හෙට්ටිආරච්චිගේ දෘෂ්‍ය කලා නිර්මාණ එකතුවක්  ඉතාලියේ නගර කීපයක ප්‍රදර්ශනය කරනු ලැබුවා . Milano, Roma සහ අවසාන වශයෙන්  ජුනි 29 සිට ජූලි 05  දක්වා Brescia නගරයේ ප්‍රදර්ශනය පැවතියා .  සති හයක කාලයක් ඉතාලියේ රැඳී සිටිමින් තමන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කරමින් ලද අත්දැකීම පිළිබඳව ඔහු සිටියේ සාර්ථකත්වයේ සතුට සමඟය. මේ  ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ ඉතාලි සංචාරය සම්බන්ධයෙන් ඔහු සමඟ කරන විමසා බැලීමකි මේ .

  • ඔබ දෘශ්‍ය කලා නිර්මාණකරුවෙක් ලෙස හඳුන්වනවා .  නමුත් අපි ඔබගේ ප්‍රදර්ශනය තුළ විවිධ දේ දැක්කා . ඉතින් අපි කැමතියි ඔබෙන් දැනගන්න දෘෂ්‍ය කලාකරුවෙක් ලෙස වර්ගීකරණයට ලක් කරන එක සම්බන්ධයෙන් සහ දෘශ්‍ය කලාව කියලා හඳුන්වන්නේ කුමක්ද කියලා .

ලෝකයේ කලාකරුවෝ විවිධ ආකාරයේ වැඩ කරනවා. ද්‍රව්‍ය ආකාරයේ වැඩ කරන ශිල්පීන් ඉන්නවා. දෘෂ්‍ය ආකාරයේ වැඩ කරන ශිල්පීන් ඉන්නවා. විවිධ පරාසයන් අතර වැඩ කරන ශිල්පීන් අතර මම දෘෂ්‍ය කලාකරුවෙක්.  විශුවල් art ලෙස හඳුන්වන චිත්‍ර මූලික කොටගත් කලාව හරහා තමයි මගේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ. මම සහ පාඨකයා අතර සම්බන්ධය ගොඩනැගෙන පුෂ්ටය බවට පත්වන්නේ කැන්වසය හෝ කඩදාසියයි. මම භාෂාව විදිහට වර්ණ පාවිච්චි කරනවා. මාධ්‍ය විදිහට කැන්වසය හෝ කඩදාසිය පාවිච්චි කරනවා. මම සහ ප්‍රේක්ෂකයා හමුවන්නේ මේ මතුපිට සම්බන්ධය තුළ.

  • ඔබ ඔබේ නිර්මාණ සඳහා තෝරාගන්නා පසුබිම සුදු පසුබිමක් බව ඔබ ප්‍රකාශ කරනවා . ඔබගේ නිර්මාණ දෙස බලද්දිත් අපට ඒක පේන්න තියෙනවා . මෙසේ සුදු පසුබිමක් තෝරාගැනීම සඳහා විශේෂ වූ හේතුවක් තියෙනවද? ඒක හරහා ඔබ අර්ථ ගන්වන්න උත්සාහ කරන්නේ කුමක්ද?

ලෝකයේ කලා ඉතිහාසය හදාරද්දී අපිට වැටහෙනවා කලා නිර්මාණ වර්ණවත් කියලා. දිගින් දිගටම මමත් කැන්වසය හෝ කඩදාසිය පුරා වර්ණ ගන්වලා ,ක්‍රමානුකූලව යම්කිසි අවස්ථාවක අවබෝධයක් සහිතව සුදු පාට ඉතිරි කරගෙන සීමිත ඉඩ ප්‍රමාණයක වැඩිපුර දත්ත ඇතුල් කරලා මගේ නිර්මාණය කරන්න හුරු වෙනවා.

ලංකාව සහ ලෝකය තුළ ප්‍රචණ්ඩත්වය බලහත්කාරීත්වය තියෙනවා. කොළඹ නාගරිකව ජීවත් වෙනකොට ඒක මට බලපාන්නේ කොහොමද? චිත්‍රයක් හරහා ප්‍රකාශ කරන්නේ කොහොමද? එතනදි තමයි මම සුදු වර්ණය තෝරගන්නේ. සුදු වර්ණයේ ප්‍රකාශනය තුළ පිවිතුරුකම කියන අදහස කියනවා . මතුපිටින් ඉතාම සුපිරිසිදු නිර්මල ගතියක් තිබුණත් ඊට යටින් තියෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධ අදහස ඉස්මතු කරන්න තමයි මම සුදු පසුබිම කරගෙන වැඩ කරන්නේ .

  • චිත්‍ර ප්‍රදර්ශනයකදී ප්‍රේක්ෂකයා විවිධ වර්ණවත් දේවල් අපේක්ෂා කරනවා. නමුත් මෙහිදී අප දුටුවේ ඊට වඩා වෙනස් තත්ත්වයක් ඔබ සහ අනිත් නිර්මාණකරුවන් අතර වෙනස් තත්ත්වයක් තියෙනවද? ඒ මොකක්ද?

ලංකාවේදි නම් මම වැඩ කළේ කොළඹ කේන්ද්‍ර කරගෙන. ඊට ආවේණික මාතෘකාවක් යටතේ . නමුත් ඉතාලියේ ප්‍රදර්ශනයක් සඳහා ආරාධනා ලැබෙද්දී මම ඒකට මාතෘකාව විදිහට ගත්තේ “They come from North ” කියලා. සමකය ආසන්න රටක් විදියට අපි ඉන්නේ දකුණේ අපිට බලපෑම් කරන සියලු දෙනා එන්නේ උතුරු පැත්තෙන් කියලා මම හඳුනා ගන්නවා .උදාහරණ විදිහට කියනවා නම් ඉන්දියාව, චීනය, යුරෝපය ,ඇමරිකාව මේ ආදී අපට බලපෑම් කරන රටවල් තියෙන්නේ ලංකාවට උතුරෙන්. උතුරු පැත්තෙ ඉන්න මේ අය අපට බලපෑම් කරන්නේ විශාල ප්‍රාග්ධනයක් හරහා. ඒ ප්‍රාග්ධනය ප්‍රචණ්ඩ විදිහට සහ වසඟකාරී විදිහට ලංකාවේ ජනතාව එක්ක වැඩ කරනවා. මම මෙන්න මේ දේශපාලනික කාරණය මගේ චිත්‍රය මතුපිටට ගේනවා. චිත්‍රයක් නිර්මාණය කරද්දී මතු වෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දේ සෞන්දර්යාත්මකව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක. හැමෝටම තියෙනවා කලා නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ප්‍රිය උපදවන ආකාරයට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය.

උපක්‍රමයක් ලෙසත් මම හදාරපු දේවල් වලට අනුවත් අවමවාදී විදිහට මගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පෙලඹෙනවා. කලින් මම කිව්ව සුදු පසුබිම යොදාගන්නේ ඒ සඳහායි. ඊට අමතරව නගරයේදී මට හමුවන වස්තූන් හරහා මම මගේ දේශපාලන ප්‍රකාශනය කියන්න උත්සාහ දරනවා.

මේ මොහොතේ ලංකාව සහ ලෝකය මුහුණ දීලා තියෙන ගැටලු මගේ නිර්මාණ හරහා කතා කරන්න පෙලඹිලා ඉන්නවා. එනිසා මම මගේ නිර්මාණ තුළින්  ප්‍රාග්ධන හරහා එන බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වය ඉස්මතු කරලා පෙන්වන්න වගබලා ගන්නවා.

  • ඔබගේ නිර්මාණ නරඹද්දි නිරීක්ෂණය වෙච්ච දෙයක් තමයි එක් පසෙක පෝට් සිටිය තියෙනවා ,තවත් පසෙක නෙළුම් කුළුණ තියෙනවා, මෙගා ප්‍රොජෙක් සාමාන්‍ය ජනතාව සමඟ  බද්ධ නොවුණු බව කියන්න ඔබ උත්සාහ කරනවා කියන එක. ඇයි ඔබ මේවා සාමාන්‍ය ජනතාව සමග බද්ධ නොවන බව ප්‍රකාශ කරන්නට උත්සාහ දරන්නේ.

මහා ප්‍රාග්ධනය එද්දී ඒකෙ බලපෑම සෘජුවම එල්ල වෙන පිරිස තමයි ඒ ප්‍රදේශවල ජීවත් වෙන දුප්පත් ජන කොට්ඨාශය. මහා පරිමාණ ව්‍යාපෘති එනකොටම ඔවුන්ගේ භූමිය අත්පත් කරගන්න ප්‍රාග්ධනයත් රාජ්‍යයක් කටයුතු කරන බව. ලංකාවේ කොළඹ නගරය නිරීක්‍ෂණය කරන කොට පේනවා පීඩිතයන් කොළඹින් පලවා හරිමින් හෝ එහෙමත් නැත්නම් මහල් නිවාස වලට කොටු කරමින් ඔවුන් සතු භූමිය අත්පත් කරගන්නවා. උදාහරණයක් විදිහට අව වරප්‍රසාදිත ජනතාවට සමහර ප්‍රදේශවලට යන්න තහනම් කරනවා වෙනුවට කරන්නේ ඒ ප්‍රදේශවලට යෑම වළක්වාලීම වෙනුවෙන් භීතියක් ඇති කිරීමයි. පෝර්ට් සිටිය ගත්තොත් එතන සිදුවී ඇති පරිසර හානිය අපි දන්නේ නැහැ ඉතින් මේ මහා ව්‍යාපෘති එද්දි පරිසරය සහ පීඩිත ජනතාව දුරස්ථ කිරීම සිද්ධ වෙනවා. දැන් අපට පේනවා කොළඹ නගරය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින හැටි.

අවුරුද්දකට කලින් තිබ්බ කොළඹ නගරය නෙමෙයි අද තියෙන්නේ. ඒ අනුව කොළඹ නගරය ඉක්මනින් වෙනස් වෙමින් පවතිනවා. ප්‍රාග්ධනය කොළඹ භූමිය ගිලගනිමින් පවතිද්දී පීඩිත ජනතාවට භූමිය අහිමි වෙමින් යනවා. මේ ප්‍රශ්නය දේශපාලනිකව තියෙද්දි අපි ඊට මැදිහත් වෙන්නේ කලාකරුවෝ විදිහට.

මේ ව්‍යාපෘති හරිද වැරදිද කියලා තීරණය වෙන්නේ අනාගතයේදී . මේ මොහොතේ තියෙන ප්‍රශ්නය අපිට කම්පනයක් ඇතිකරවනවා. කලාකරුවන් හැටියට අපට ඇතිවන මේ කම්පනය සෞන්දර්යාත්මකව ගෙන ඒම තමයි මම කරන්නේ. මගේ නිර්මාණ මේ වපසරිය ඇතුලේ දෝලනය වෙමින් නව නිර්මාණ සහ නව අදහස් හැටියට ඉදිරිපත් වෙනවා.

  • ඔබගේ ප්‍රදර්ශන නිර්මාණ අතර අප දුටුවා සාරවිට පෙට්ටියක් තියෙනවා. මේක ටිකක් වෙනස් නිර්මාණයක්. මේ සාරවිට පෙට්ටිය හරහා ඔබ කතා කරන්න උත්සාහ කරන්නේ කුමක්ද?

මට උවමනාව වුනේ කොළඹ තියෙන සාරවිට පෙට්ටිය කලාගාරයක් ඇතුලේ ප්‍රතිනිර්මාණය කිරීම නෙමෙයි. මම මේක කලාගාරයට ගෙන එන්නේ දේශපාලන අදහසක් එක්ක. කොළඹ නගරයේ සැරිසරණ වස්තුවක් විදිහට මම සාරවිට පෙට්ටිය දකිනවා. අන් අය සේම මාත් මේ සාරවිට පෙට්ටියට ආකර්ෂණය වෙනවා . සාරවිට වෙළෙන්දාගේ චල් එක සංගීතය නිපදවනවා. ඔහුගේ ලාම්පුව ආලෝකය සපයනවා. විවිධ පාට සහිත සාරවිට අලංකාරයක් සහ විචිත්‍ර බවක් පෙන්වනවා. මේ සියල්ල නිසා අවශ්‍යතාවයක් නැතත් සාරවිටක් කන්න ඕන කියලා අදහසක් එනවා . සාරවිට වෙළෙන්දෙක් තමන්ගේ භාණ්ඩය විකුණා ගැනීමට ජනතාව ආකර්ෂණය කරන්නා සේ මහා පරිමාණ ප්‍රාග්ධනය සහ රාජ්‍යයන් එකතු වෙලා ජනතාවට ආකර්ෂණයක් පෙන්වා මහා පරිමාණ ව්‍යාපෘති කරගෙන යනවා. මෙන්න මේ කතාව තමයි මම මේ සාරවිට පෙට්ටියෙන් නිරූපණය කරන්න උත්සාහ කළේ. ඒ හරහා වසඟයට ගැනීම නිරූපණය වෙනවා. වසඟයට  ගැනීම පැත්තෙන් සලකලා තමයි මම සාරවිට පෙට්ටිය ප්‍රතිනිර්මාණය කරන්නේ. අද සිද්ධ වෙන බොහෝ ව්‍යාපෘති සිද්ධ වෙන්නෙත් මෙන්න මේ වසඟයට ගැනීම තුළින්.

  • ඔබගේ නිර්මාණ නිශ්චිතවම දේශපාලන පෙළගැස්මක් සමග පවතින බව අපට වැටහෙනවා. ඔබ මේ කලා නිර්මාණ හරහා කරන්නේ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කිරීමක්ද? එසේත් නොමැති නම් ඔබ මේ විවේචනය තෝරගන්නේ ඔබගේ නිර්මාණ වෙත වැඩි අවධානයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද? එසේත් නොමැති නම් සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් විදිහටද?

මහා පරිමාණ ව්‍යාපෘති හරිද වැරදිද කියලා තීරණය කිරීමේ කාර්යය අපට සිද්ධ වෙනවා අනාගතයට තියන්න . නමුත් මට තියෙන කම්පනය මේවා මිනිස්සුන්ට කොච්චර සම්බන්ධද කියන එකයි. මේවායේ ප්‍රතිලාභ අවවරප්‍රසාදිත ජනතාවට ලැබෙනවාද කියන එකයි. මේ ව්‍යාපෘති හරහා පීඩාවට පත්වන ජනතාවගේ මනෝභාවයන් මම මගේ කැන්වසය මතට ගන්න උත්සාහ කරනවා. ඒවා බලන්නා තුළ යම් තැතිගැන්මක් ඇති කරන්න මට ඕන වුණා. කොළඹ නගරයේ නව තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයාට හිතන්න අලුත් මාවතක් නිර්මාණය කරන්න උත්සාහයක් මට තියෙනවා මේක බිය කිරීමට වැඩිය සහකම්පනයක් ඇති කරන්න ගත් උත්සාහයක් හැටියටයි මම දකින්නේ.

  • ඔබේ ප්‍රදර්ශනය නම් කරන්නේ “They come from North ” කියලා. ඔබ අපේ මේ සාකච්ඡාවේදීත් වැඩි අවධානයක් යොමු කරනවා ප්‍රාග්ධනය හරහා විශාල රටවල් අපට එල්ල කරන බලපෑම ගැන කතා කරන්න . මේ නිර්මාණ හරහාත් ඔබ සමාජයට කියන්න උත්සාහ කරන්නේ මේවා ජනතාව හා බද්ධ වෙච්ච ව්‍යාපෘති නොවන බවයි. මේ දැනුවත් කිරීම හරියටම අපිට කරන්න පුළුවන් වෙන්නේ ජනතාව සක්‍රීයව දේශපාලනයට සම්බන්ධ වුනොත් පමණයි. මේ මොහොතේ මිනිස්සු හිතනවා යම් පුද්ගලයෙක් ,දේශපාලන පක්ෂයක් ඇත්ත අවබෝධ කරගත්තහම ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා. නමුත් ඒක එහෙම නොවෙන බව අපි දන්නවා. අපි දැනගන්න කැමතියි දැනුවත් කිරීමේ ව්‍යාපෘතියට කලාකරුවාට ලබා දිය හැකි දායකත්වය සහ ඔහු සතු වගකීම මොකක්ද කියන එක ගැන.

චිත්‍ර ශිල්පියෙක් විදිහට මම දකිනවා අපේ මිනිස්සුන්ගේ දේශපාලන අධ්‍යාපනයේ දුබලකම. මිනිස්සු දේශපාලනය දේශපාලකයාගේ රැකියාව බවට පත්කරල පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා කලාකරුවෝ විදිහට අපිත් උත්සාහ දරනවා කලා කෘති හරහා ජනතාව දැනුවත් කරන්න. ප්‍රශ්නයක් දෙස ගැඹුරින් බලලා ඒක වටහාගන්න අපි ජනතාවට කලාකෘති හරහා මග පෙන්වන්න උත්සාහයක ඉන්නවා .එවගේම කලා කෘති හරහා ප්‍රේක්ෂකයාව තිගැස්මකට ලක් කරන්න පුළුවන්.  අපට පුළුවන් මේ මොහොතේ ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් මිනිස්සුන්ව අවදි කරන්න. කලාකරුවෙක් හැටියට මං මේ මොහොතේ ඒ වෙනුවෙන් වැඩ කරනවා.

  • මේ ඔබ ඉතාලියට පැමිණි පළමු වතාව නෙවෙයි. ඔබ මීට කලිනුත් ඉතාලියට ඇවිත් තියෙනවා. ඉතාලිය හා සම්බන්ධය කොහොමද ඔබට හැදෙන්නේ. ඉතාලිය කලා විශ්වයක්. මේ සංචාරය තුළ  ඔබ ලබාගත්තේ මොනවාද?

මම පළමු වතාවට ඉතාලියට එන්නේ 2022  සුරංග කටුගම්පල අධ්‍යක්ෂණය කළ Still Here  චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයා විදිහට. ඒ චිත්‍රපටය ලංකාව සහ ඉතාලිය යන රටවල් දෙකේ පටිගත කළ චිත්‍රපටියක්. මේ වැඩේ නිමවුණයින් පසු සුරංග කටුකම්පල ප්‍රමුඛ කණ්ඩායම 2024 දී මට ආරාධනා කරනවා චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න. මේ ආරාධනය මට ඔවුන් කරන්නේ මගේ කලා නිර්මාණ කෙරෙහි ඔවුන් පැහැදීමකට ලක්වෙලා. ඒ අනුව නගර තුනක ප්‍රදර්ශන තුනක් ඔවුන් සංවිධානය කරනවා . Milano,Roma, සහ Brescia. සති හයක පමණ කාලයක් රැඳී සිටිමින් කළ මේ ප්‍රදර්ශන හරහා මට යම් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් උනා. මේ සංචාරය තුළින් මට අවබෝධයක් ලබාගන්න හැකි වුණා ලංකාවේ සිට යුරෝපයට කලාවෙන් වැඩ කරන්නේ කොහොමද කියලා . ඒවගේම ඉතාලියේ  කලා කෘති ප්‍රමාණයක් දැකබලා ගන්නත්, කලාවට සම්බන්ධ පිරිස් ඇසුරු කරන්නත් අවස්ථාව උදා වුණා. මේ සංචාරය තුළින් මගේ ඉදිරි ගමනට අවශෝෂණය කරගන්නට අවශ්‍ය දැනුමක් ලබාගන්නත් හැකියාව ලැබුණා.

ඉතින් ඉදිරියේදී මේ අත්දැකීම් සමග කරන නිර්මාණ තුළින් ඔබ වහමුවට එන්න  බලාපොරොත්තු වෙනවා.

සටහන හිල්ම් සුපුන්
විවර ගුවන් විදුලිය වෙනුවෙන් සාකච්ඡාව මෙහෙයවීම තීමස් විජිත්

 

leave a reply