Breaking News

මේ වසරේ මුල් මාස 02ක තුළ පමණක් බිලියන 11ක සහල් ආනයනය කරලා

විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින වාතාවරණයක මෙම වසරේ මුල් මාස දෙක තුළ සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11කට අධික මුදලක් වැය කර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එලෙස ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 122,217ක්.

පසුගිය වසරේදී රුපියල් බිලියන7.5ක් සහල් ආනයනය සඳහා වැය කර තිබු අතර ඒ අනුව එම වසරටම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වසරේ මුල් මාස 2 තුළදී පමණක් මෙරටට ගෙන්වා ඇති බව වෙළෙඳපොළ දත්ත පිරික්සීමේදී තහවුරු වන බව විශේෂඥයන් පවසයි.

රජයට මෙලෙස සහල් ආනයනය කිරීමට සිදුවූවේ කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තියත් සමඟ මහ කන්නයේ වී අස්වනු අඩු වීම හේතුවෙන්.

ඒ අනුව මෙම වසරේ මුල් මාස දෙක තුළ දී වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙනි.

එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 117,471ක්.

එමෙන්ම පකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490ක් , මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1125 ක්ද ආනයනය කර තිබෙනවා.

ඊට අමතරව චීනය,ඉතාලිය, වියට්නාමය, තායිවානය, ජපානය සහ සිංගප්පූරුවෙන් ද මුල් මාස දෙක තුළදී සහල් ආනයනය කර ඇති බව රේගු දත්ත පරික්ෂා කිරීමේදී තහවුරු වන කරුණක්.

සහල් ආනයනය කළ ද මේ වනවිට වෙළෙඳ පොළේ දේශීය සහල් වලට අමතරව ආනයනික සහල් මිල පවතින්නේ ඉහළ අගයකයි.

විවිධ බොරු කතා කියමින් ආණ්ඩුව රසායනික පොහොර තහනමක් ක්‍රියාත්මක කරනු ලැබුවේ පොහොර ගෙන්වීමට මුදල් නොමැති වීම නිසයි. අවසානයේ එම මෝඩ තීරණය නිසා පොහොර ගෙන්වීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් වැයකිරීමට සිදුව තිබේ. ඊට අමතරව ගොවියාගේ ආදායම් අඩුවී ඇති අතරම පාරිභෝගිකයන්ට සහල් අධික මිලකට මිලදී ගැනීමට සිදුව තිබේ.

leave a reply