Breaking News

එට්කා අත්සන් කරේ නැහැ, ඉදිරියට සාකච්ඡා කරන්න එකඟ වුණා – විජිත හේරත්

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද(20) ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

සමස්ථයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගත්තේ අවබෝධතා ගිවිසුම් දෙකක් පමණක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඉන් එක් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ මෙරට රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවය පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා බවත් ඒ යටතේ අවුරුදු පහක කාලයක් තුළ එක් රාජ්‍ය සේවයකුට සති දෙකක පුහුණු කාලයක් ලැබෙන පරිදි රාජ්‍ය සේවකයන් 1500 කට ඉන්දියානු රාජ්‍ය සේවයේ පුහුණු කිරීමේ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබුණු බවත් අමාත්‍යවරයා පවසයි.

අනෙක් අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ දෙරට අතර පවතින බදු ක්‍රමයන් යටතේ ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට බවද අපේ රටේ යම් ව්‍යාපාරයක් ඉන්දියාවේ කටයුතු කරනවා නම් හෝ ඉන්දියාවේ යම් ව්‍යාපාරයක් මෙරට කටයුතු කරනවා නම් එම ව්‍යාපාරයට එකම කරුණට දෙරටේම බදු ගෙවීමේ ක්‍රමය වළක්වා ගැනීම එහි හරය වූ බවද අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුම දෙරටටම වාසිදායක වූ බවද අමාත්‍යවරයා පවසා ඇත.

මෙම කරුණු දෙක හැර වෙනත් කිසිම කරුණක් සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයන්ට නොපැමිණි බවද ඔහු අවධාරණය කර තිබේ.

තවත් යෝජනා පිළිබඳව, තාක්ෂණික කටයුතු පිළිබඳව සහ ඇතැම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙරට අතර දීර්ඝකාලීන සාකච්ඡා පැවැත්වුණු බවද ඔහු පැවැසුවේය. සාකච්ඡා කළා යනු ගිවිසුම්වලට එළැඹීමක් නොවන බවද ඔහු සඳහන් කර ඇත.

leave a reply