Breaking News

රඹුක්කනදී පොලීසිය වෙඩි තබා මරා දැමූ චමින්ද ලක්ෂාන්ගේ බිරිද කියන කතාව

කෑගල්ල, රඹුක්කන දී පොලිස් වෙඩි තැබීමෙන් කේ.බී චමින්ද ලක්ෂාන් මියගොස් වසරකට වැඩි කාලයක් ගත වුව ද පවුලේ සාමාජිකයන්ට මේ දක්වා රජයෙන් කිසිඳු සහනයක් ලැබී නැතැයි ඔහුගේ බිරිඳ පවසයි.

ඉන්ධන ඉල්ලා කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන නගරයේ පැවති විරෝධතාවයකදී 2021 අප්‍රේල් 19 වැනි දින සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් ඔහු ජීවතක්ෂයට පත්විය.

BBC සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චමින්ද ලක්ෂන්ගේ බිරිද පවසා ඇත්තේ,
”ළමයින්ගේ ජීවිතයම කඩා වැටුණා. පුතා බොහෝ දවස්වලට ඉස්කෝලේ යන්නේ නැහැ. දුවත් ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්නවා. දවසට කිහිපසරයක්ම සොහොන ළඟට යනවා. මටත් ස්ථිර රස්සාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මන්ත්‍රී කාලේ සාධාරණයක් කරනවා කියලා කිවුවට දැන් ඔහු ජනාධිපති වෙලත් පිහිටක් නැහැ. ඒ කාලේ උදව් කරනවා කියපු අය දැන් නැහැ ” යනුවෙනි.

එම අවස්ථාවේදී පොලීසියේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ ජාත්‍යන්තරයේ විවේචනයට ලක් විය.

එහෙත් එවකට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ ජීවිතවල ආරක්ෂාවට හා ඉන්ධන බවුසරය ගිනි ගැනීමෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීම සඳහා පොලිසිය උචිත පරිදි අවම බලය භාවිත කළ බවයි.

ඊට අදාළ නඩුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී. වසරකට වැඩි කාලයක් ගත වුව ද පැහැදිලි සාක්ෂි තිබියදීත් වෙඩි තැබූ පොලිස් නිලධාරියා කවුරුන් ද යන්න මේ දක්වා අධිකරණයට දැනුම් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසයි.

leave a reply