Breaking News

මේ වසන්තය ගෙවී යන්නට ලඟයි

Russell CP Bandarawatta

මේ වසන්තය ගෙවී යන්නට ලඟයි
නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි
ප්‍රේමයක් හදවතක දළුලා වැඩෙන්නේ භද්‍ර යෞවනය තුල පමණක් නොවන බව මේ අපුර්වතම පද රචනය තුල විහිදී ඇත. බොහෝ අයගේ ජීවිතයේ සැදෑසමය යනු ආදරය ගිලිහෙන, කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය නොවන විශේෂිත වූ කාල පරිච්චේධයකි. තම යොවුන් වියේදී මතුවන බාහිර ප්‍රශ්න සමග තම තමන්ගේ පෙම් කතා පරාජයෙන් කෙලවර වන අවස්තාවන් එමටය. එහෙත් සිතක ජනිත වන සෙනෙහසක් පරාජය කිරීමට හෝ මරා දැමීමට වැට කඩොලු බැඳීමෙන් පලක් නොවන බව අපට මෙහි පදරචකයා වන බණ්ඩාර බෙලිකැටිමුල්ල සෞන්දර්යාත්මක විවරණයක නිරත වේ.

ජීවිතයේ වසන්තය අග හමුවන දෙහදකට සිහින නැතුවාම නොවේ. අඳුරුවූ දෑසින් වුවද ඔහු දකින්නට උත්සහ ගන්නේ ඇයගේ රුවයි. වාරු නැති දෑතින් උවද අත්වැල් පටලා ගෙන අනන්තය තෙක් ඇවිද යන්නට තරම් ඔහු හිතින් තරුණය. ඉදුණු හිසකේ ඔච්චමට සිනා සෙන විට සසර මතකය වියපත් දෑස් කඳුලින් තෙත් කරයි. එහෙත් කාලය විසින් සියල්ලම උඩු යටිකුරු කර ඇත. වසන්තයේ අග පිපුණු කුසුමක සුවඳ විඳින අපුර්වතම පෙම් පුවතක් රැගෙන එන මේ ගීතය ලයාන්විතව හිත කිරී ගැසෙන්නට ගයන්නේ කරුණාරත්න දිවුල්ගනේය ..සංගීතයෙන් ඉතා මනරම් නාද රටා මවමින් ගීතයට උපරිම සාධාරණයක් ගෙනවිත් ඇත්තේ දර්ශන වික්‍රමතුංගයි…..

මේ වසන්තය ගෙවී යන්නට ලඟයි
නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි
හිඳුනු ජීවිත පතුල හාරා
නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක්
සොයමි මම තවමත්……

පෙමට සරි වුන බැලුම් ඇතිමුත්
බලනු කෙලෙසද අඳුරුවූ දෑසින්
යනෙනු බැ නුඹෙ දෑත අරගෙන
නොවේ කාලය නුඹ සිතන මනරම්..

කියූවද නුඹ ජීවිතේ ගැන
මිහිරි සැමරුම්හුරු සසර මතකෙන්
නොවී ඉනුමැන මගේ සොඳුරිය
ඉදුනු හිසකේ සිනාසේ රහසින්….
මේ වසන්තය ගෙවී යන්නට ලඟයි
නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි
හිඳුනු ජීවිත පතුල හාරා
නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක් සොයමි මම තවමත්…..

ගායනය……කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය……දර්ශන වික්‍රමතුංග
පදරචනය….බණ්ඩාර බෙලිකැටිමුල්ල

leave a reply