Breaking News

පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න – විපක්ෂයේ පක්ෂ එකඟතාවක

පළාත් සභා ජන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ එකී ඡන්ද විමසීම පැවැත්වීමේ ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් අද (26) කොළඹදී පැවැත්වින.

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින් මෙන්ම නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්ද සම්බන්ධවී සිටි එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, පළාත් සභා මැතිවරණය කල්යාමට හේතුවූ කරුණු මෙන්ම කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගතයුතු පියවරයන් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්විය.

එම සාකච්ඡාවට සම්බන්ධවී සිටි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන 42 අතුරින් එක් දේශපාලන පක්ෂයක් හැර අනෙකුත් සියලුම පක්ෂ පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූ අතර එම ඒකාබද්ධ ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත් ආණ්ඩු පක්ෂය වෙත යොමුකිරීමටද තීරණය විය.

“2026 මැයි මස 26 වන දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේදී පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ අනෙකුත් නියෝජිතයින් වන අප, 2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමයට අනුව දැනට කල් තබා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ යෝජනාවට එකඟ වූ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් ප්‍රතිඵලය ලැබෙන තෙක් එය ක්‍රියාත්මක කිරීමටද එකඟ විය. එමෙන්ම ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය 25% ක් ලෙස සහතික කිරීමටද එකඟ විය.”

විපක්ෂය නියෝජනය කරමින්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පා.ම සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි ලේකම් හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න, දෙවන පරපුර නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් උවිඳු විජේවීර, එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් පා.ම ෂානක්කියන් රාසමාණික්කම්, ශ්‍රී ලංකා මහජන පක්ෂ නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සමීර සේනානායක, ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික එම්.අයි මුරුගන්, එක්සත් ජනරජ පෙරමුණු ලේකම් බන්දුල චන්ද්‍රසේකර, අඛිල ඉලඞ්කෛ ද්‍රවිඩ මහාසභා පක්ෂය නියෝජනය කරමින් එහි නායක ආචාර්ය කේ.විග්නේෂ්වරන්, දමිල ප්‍රගතශීලි සන්ධානය නියෝජනය කරමින් එහි නායක පා.ම මනෝ ගනේෂන්, එක්සත් වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලෛයග අරසියල් අරංගම් නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් හිටපු පා.ම එම්. තිලකරාජ්, ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් එහි සභික ඩබ්.ඩී.එස් වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් හිටපු පා.ම වීරසුමන වීරසිංහ, සමාජවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් එහි සාමාජික විල්ෆ්‍රඩ් ජයසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් එහි ජී. තිලකසිරි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එහි මහලේකම් නිසාම් කාරියප්පර්, පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, VIEV මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ අනුශාසක මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මීට සහභාගීව සිටියහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහභාගී වූ අතර පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනාම මීට සහභාගීව සිටියහ.

leave a reply