වසන්ත ප්‍රියංකර නිවුන් හෑල්ල , ඔහුගේ නවතම ග්‍රන්ථය එළඹෙන ජුනි 7 වනදා ජනගත කිරීමට නියමිතයි . එය නම් කර තිබෙන්නේ “සිත්තරා සහ සම්බුදු පිරිනිවන” නමින් . වසන්ත ප්‍රියංකර නිවුන් හෑල්ල සාහිත්‍යදරයාගේ සාහිත්‍ය දිවියට වසර විසිපහක් සපිරීම නිමිත්තෙන් “සිත්තරා සහ සම්බුදු පිරිනිවන” ග්‍රන්ථය ජනගත කිරීම සිදුවන අතර ජුනි 7 වනදා උදෑසන දහයට නාරම්මල නගර ශාලාවේ පැවැත්වෙන උත්සව සභාවේදී ඔහුගේ සාහිත්‍යය ජීවිතය පිළිබඳව යළි විමසා බැලීමට නියමිතයි .
වසන්ත ප්‍රියංකර නිවුන් හෑල්ල සාහිත්‍යදරයාගේ දශක දෙක හමාරක සාහිත්‍යය අත්දැකීම් පිළිබඳව ඔහු සමග විවර කළ සමුඛ සාකච්ඡාව පහත පළවේ .
- දශක දෙකහමාරක් පමණ දිග සාහිත්‍ය ගමනක් ඔබ සතුව තියනවා. යළි මෙනෙහි කරද්දි මේ දීර්ඝ සාහිත්‍ය ගමන පිළිබඳව මොනවද හිතෙන්නෙ.
► ඇත්තටම ඒ අවුරුදු විසිපහ ගැන තෘප්තියක් තියෙනවා. ඒ කාලය මගේ ජීවිතය අර්ථවත් කළා කියලා මං හිතනවා.
- ස්වතන්ත්‍ර කාව්‍ය නිර්මාණ ,විචාර ග්‍රන්ථ සහ පරිවර්තන ඔබ විසින් රචනා කර තියෙනවා. මේ සෑම නිර්මාණයක්ම කාව්‍ය කේන්ද්‍ර කරගත් ග්‍රන්ථ . කවිය පිළිබඳව ඔබ දක්වන සුවිශේෂත්වය තුළ තියෙන්නෙ කුමක්ද?
►ඇත්තට කවිය තමා මගේ ප්‍රියතම සාහිත්‍ය අංගය . ඒ ඇයි කියන එක පැහැදිලි කරන්න අමාරුයි. ඒත් කවිය මගේ ජීවිතයට ගැඹුරු අර්ථයක් ලබා දෙනවා කියලා මං කවදත් විශ්වාස කරනවා.
- අවසන් දශක දෙකහමාර තුළ ලංකාවෙ කාව්‍ය ව්‍යාපෘතිය ගමන් කළ දිශාව ඔබ හඳුනාගන්නෙ කොහොමද? එය සතුටු දායක ගමන් මගක් නියෝජනය කළාද?
►ඔව්, පසුගිය දශක දෙකහමාර තුළ සිංහල කවිය විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියනවා.ඒ විතරක් නෙවෙයි කාව්‍ය විචාරයත් සෑහෙන ඉදිරියට ඇවිත් තියෙනවා. ලියනගේ අමරකීර්ති, ආරියවංශ රණවීර සහ සුනිල් විජේසිරිවර්ධන වාගේ අය එහි දී කැපී පෙනෙනවා.
- කවිය, කෙටිකතාව, නවකතාව ආදී නොයෙක් සාහිත්‍ය අංග තියනවා. මේ සාහිත්‍ය අංගවලට අදාළව වාර්ෂිකව සෑහෙන සාහිත්‍ය කෘති ප්‍රමාණයක් පළවෙනවා.මේ සාහිත්‍ය අංගවල ප්‍රගනයට විචාර කලාවක් අවශ්‍යයි. අපට විචාර කලාවක් තියනවද? ඒ වගෙ මොනවාගේ සීමා ද තියෙන්නෙ.
►අපට හොඳ විචාර කලාවක් තියෙනවා. ඒ වාගෙම ඒ වාගේ සීමාසහිතකම් නැතුවා නෙවෙයි. ඒ විචාරකයා අනුව විචාරයේ සීමා සලකුණු වෙන්න පුළුවන්. ඒ ගැන දීර්ඝ සංවාදයක් අවශ්‍යයි.
- එදා සහ අද ලෙස ගත්කල පාඨක සමාජය වෙනසකට ලක්වී තියෙන බව පේනවද?
►ඔව්, පාඨක සමාජය තුළ සාධනීය වෙනස්කම් වාගෙම නිශේධනීය වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. සාහිත්‍ය යෙන් හුදෙක් සරල රස වින්දනයක් පමණක් ප්‍රාර්ථනා කරන රසික පිරිස සෑහෙන වැඩි වී තිබීම නිශේධනීය දෙයක් ලෙසයි මට හැඟෙන්නෙ.
- ජූනි හත්වෙනිදා ඔබේ කාව්‍ය සංග්‍රහය ජනගත වීම ගැන යමක් කීවොත්.
►ඒක සුහද හමුවක්. කීප දෙනෙක් කෙටි අදහස් දැක්වීම් කරයි. කෙනෙක් දෙන්නෙක් තමන්ගෙ කවි කියවයි.
හිල්මි සුපුන්







