•සාමාන්‍යයෙන් පරිකල්පනය යනුවෙන් අදහස් කෙරෙනුයේ නිර්මාණයට අවශ්‍ය දේ සිතින් මවා ගැනීම ය. ප්‍රාථමික පරිකල්පනයේ දී බාහිර වස්තු මනස තුළ මැවෙන අතර, ද්විතීය පරිකල්පනයේදී එම වස්තු පිළිබඳ ලේඛකයාගේ අර්ථමය මවා ගැනීම සිදුවේ.
•වර්තමාන නිමේෂය තුළ නිර්මාණකරුවෙකුට තෘතීය පරිකල්පනයක් අවශ්‍ය වන්නේ ඔහු විඳින වාස්තවික තතු මෙන්ම ආත්මීය තතු ද අතිශය සංකීර්ණ වන බැවිනි.
•නොමැති නම් ඉහත ද්විතීය පරිකල්පනයෙන් විනිවිදිය නොහැකි බැවිනි. මෙහිලා රුවන් බන්දුජීව මගේ පරපුරේ ඉදිරියෙන්ම සිටින කවියා ය.
•ඔහුගේ ‘මීළඟ මීවිත’ නම් වූ ප්‍රථම කාව්‍ය සංග්‍රහයට වඩා ධූමලාවණ්‍යාගාරයේදී පරිකල්පනයට බඳුන් වනුයේ විවිධ සංකේත වටිනාකම් වලින් හෙබි පුද්ගල චරිත,සිදුවීම් හා ස්වාභාවික වස්තූන් ය.
•එහි උපරිමය ලෙස මට හැඟෙනුයේ ‘කුඩා කුඩා බැකෝ යන්ත්‍ර’ නමින් ඔහු ලියන කවිය ය. මෙතුවක් මනුෂ්‍යයාට යාන්ත්‍රිකත්වයක් කැවූ පරිකල්පනයට වඩා, යන්ත්‍ර සූත්‍ර වලට මනුෂ්‍යත්වයක් කැවීම අතිශය නූතන පරිකල්පනයකි. පශ්චාත් නූතන ධනවාදී ශ්‍රමිකයා, නොමැතිනම් කම්කරුවන් පිළිබඳ වමට ද පය ගැසීමට නොහැකි වූ අර්ථ කලාපයකි.
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවා
දෙපා රෝද හරව හරව – පොලවේ පස් ගලව ගලව
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවා
දහය හමාරට වාගේ – තේ ජෝගුව වටේ ඉඳන්
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට හති අරිනවා
දවල්ට එන බත් මුල් ටික- උඩින් උඩින් අනලා ගිලලා
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට විට හපනවා
ඇණ මුරිච්චි කකියනකොට
පපුවේ ඔයිල් හිර වෙනකොට
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර ග්‍රීස් ගාලා නානවා
නාන ගමන් ගල් පොතු උඩ මළකඩ පිට උලනවා
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර
බූරු ඇඳන් උඩ නැගගෙන
රෑට ඕමි බලනවා
එහෙම ඕමි බලන ගමන්
පුංචි රේඩියෝ එකකින් සින්දු අරන් අහනවා
බැකෝ යන්ත්‍රයක අතරැඳි
ඉස්කෝප්ප කොලරැජින ට
නැවිකට් දුම වදිනවා
රැජින විජිනි පත වන අතින් නහය වහනවා