Breaking News

“ස්ලෝමෝෂන් පැයකින් සන්තරණ මාත්‍රාවක් ලිට් රූම් සංවාද‍යට

මැයි 31 ඉරිදා ලිට් රූම් සූම් සංවාදය දිග හැරෙන්නේ කෞශල්‍යා ජයලත් කිවිඳියගේ “සන්තරණ මාත්‍රා” සහ කාන්චනා අමිලානි කිවිඳියගේ “ස්ලොමෝෂන් පැය” කාව්‍ය සංග්‍රහයන් දෙක වෙනුවෙනි.

පුවත්පත් කලාවේදිනියක ලෙස සාහිත්‍යත් සමඟ නිරන්තර බැඳීමකින් කටයුතු කළ කාන්චනා අමිලානි, දිණමිණ පුවත්පතේ “වසත් සුළඟ” කවි පිටුව සංස්කරණය කළ කාලයේදි සහෝදර කවියන් හා කිවිඳියන්ගේ නිර්මාණ සඳහා පුවත්පතේ සීමිත ඉඩ කඩ උපරිමයෙන් යොදා ගනිමින් අගනා මෙහෙයක් සිදු කළාය. නිරන්තරයෙන් නැවුම් වන ඇයගේ භාෂා භාවිතය හා ඇයටම ආවේනික රචනා ශෛලිය පුවත් පත් මහ ගෙදරින් ලද දායාදයන් ය. ඒ දායාදයන්ගේ වටිනාකම් පෙනෙන්නට වූයේ ඇය ප්‍රබන්ධ රචනා හරහා රසිකයන් හමුවට ආ කලය. 2015 වසරේදි ගම්මිරිස් කුරුල්ලා කෙටි කතා සංග්‍රහයත් 2020 වසරේදි ප්‍රකාශයට පත් කළ, ගුහා සටන නවකතාවත් එකී කාරණයට සාක්ෂි සපයනු ඇත.

  • 2025 වසරේදි ප්‍රකාශයට පත් කළ “ස්ලෝමෝෂන් පැය” කාව්‍ය සංග්‍රහයට පෙර “ප්‍රේමයේ කාර්තු”, “බූමරංගය ඔබේ ඇස් දෙක” හා “කාල රේඛාව” නමින් ද කාව්‍ය කෘති තුනක් පළ කරන්නට යෙදුනාය. කාන්චනාගේ භාෂා භාවිතයේ නැවුම් බව, ඈ තුළ සෙසු කවීන්ගෙන් වෙනස් වූ මානයකින් කවියට සෙනෙහෙ වඩන කිවිඳියක වසනා බව අපට ස්ථීර කර පෙන්වයි. ඇය. කවියට ගන්නා ආනුභූතින් විවිධය – සරලය. සමහර විටෙක ඇයගේ කවියට අත්දැකීම වන්නේ ඉතා කුඩා කුඩා දේ ය. එ තුළින් ඈ ගොතනා කවිය පුළුල් අරුත් සපයමින් රසිකයා සමඟ දිගු දුරක් ගමන් කරයි. ඇය සමාජ සම්මත ප්‍රශ්න කරනා ආකාරයෙන් ම කවියේ සාම්ප්‍රදායික මිණුම් දඬු නොසළකා නැවුම් කෝණයකින් කවිය රසිකයා වෙතට ගෙන එන්නට දරන උත්සහය ප්‍රශෂ්තය. ඇය කවි ලියනා විට වචන සොයමින්, ඇහිඳිමින් යන්නියක නොව, වන ලැහැබකට වැඩ කවි සඳහා සුදුසු වචන පිරුණු අතු ඉති අතින් ඇද පහත් කර විලිකුන් වදන් පළ නෙලා ගන්නියකි.

බදාදා පොළ හිස්තැනකි
කළුතර උතුර දුම්‍ රිය පොළ ශෝකයෙනි
වසා ඇත ගේට්ටුව

දැන් පොළ කියන්නේ
සංකල්ප රූපෙකට (පි. 15)

කාර්යාලය ඔබ අමතයි
සුදු ලේන්සු වනමින් ඔබට එනු කියයි

—–

හවසට සුදු ලේන්සුව වැනිය යුතුය
“ඩෝං”
පිපිරීම තාමත් ඔබ සතුයි
(පි. 25, 26)

අන්තිමට
ටැංකි මාලු අපි,
වසංගතයකින් හිස නරක් වුණ (පි.32

ඒත් ආදරය පාර පනින්නට
කහ ඉරක් මත අනාරක්ෂිතව
බලා හිඳියි පි. (64)

  • කාංචනා අමිලානි විසින් රචිත, ස්ලෝමෝෂන් පැය කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද්‍ර අදහස් දැක්වීම, ‘කල්පාවසාන සාදය’ සහ ‘ඉයුලෝසියාව’ නවකතා ද්විත්වයේ කතුවර, තාරක කල්දේරා විසිනි.

2018 වසරේදී “කහට ගවුමක අයිතිකාරිය” කාව්‍ය සංග්‍රහය පළ කරමින් කාව්‍ය ලොවට අවතීර්ණ වූ කෞශල්‍යා ජයලත් කිවිඳිය, සමාජ අසාධාරණයට ලක්වූවන්, පීඩාවට පත් ස්ත්‍රීන් හා දරුවන්, ආගමික සමාජික විකෘතීන්, ගේහසිත ප්‍රේමයේ හැරවුම්, යුද්ධයේ පීඩාව හා පීඩිතයන්ගේ වේදනාව පමණකුදු නොව, තත්‍ය ලෝකයෙ නෙක අයුරින් වඩවන ජීව්ත ලාලසාව කෙරෙහිද කවි ඇස යොමු කරමින් කවි ලියන්නියකි. කහට ගවුමක අයිතිකාරිය තුළින් ඈ ඇරඹූ ඒ ගමන සිය දෙවන කාව්‍ය සංග්‍රහයේදීම මල් පල දැරූ බව සිංහල කවි සමාජය පිළිබඳ විමසිල්ලෙන් සිටී පිරිස් නිරීක්ෂණය කළේ සතුටිනි. 2022 වසරේ ඇය ප්‍රකාශයට පත් කළ “සහස් කඳු තරණ මංපෙත්” කාව්‍ය සංග්‍රහය එම වසරේ ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශ්ස්ත කාව්‍ය සංග්‍රහය ලෙස තේරුණ අතර, එම වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා ද නිර්දේශ විය. එකී වසරේ විද්‍යෝදය සම්මානය සඳහා ද නිර්දේශ වූ එම කාව්‍ය කෘතිය කෞශල්‍යාගේ කවියේ විශිෂ්ඨත්වය ලොවට කියා පාන්නට සමත් විය.

ඇයගේ බොහො කවි නිර්මාණ දෙමළ, ඉංග්‍රීසි, නේපාල සහ රුසියානු භාෂාවට ද බසට පරිවර්තනය වී ඇත. මෙසේ ඇයගෙ නිර්මාන වෙත ජාත්‍යන්තර අවධානයට ලක් වීම ඇයගේ කවියේ විශිෂඨත්වය කියාපාන විශේෂි කරුණකි.

ආසියානු සාහිත්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද වරම් ලැබූ කිවිඳිය සිය තුන්වන කාව්‍ය සංග්‍රහය, 2024 වසරේදි සන් තරණ මාත්‍රා නමින් ප්‍රකාශයට පත් කළාය. මෙවර ලිට් රූම් සුම් සංවාදය සඳහා පාදක කර ගන්නේ එම කෘතිය යි. එය කාව්‍ය පංති 52 ක එකතුවකි.

මිතුර
ඔබත් මතුරන්නේ
පුදුමාකාර ප්‍රශ්න පත්තර
සතු වුව සහේතුක උත්තර
පැන තිබේ සමහර
විය යුතු නිරුත්තර” (පි. 04)

මහරු තුරු
නොහළයි
පරවෙන්න පෙර
රුසිරු කුසුමන් පොකුරු (පි.08)

දල්වා සහස් එළි පෙළහර
තොරණ පසුපස නිහඬව
පොල් පුවක් ලී මුනිවර
දුගී ලිප් දල්වන කුසගිනි නිවනයුරු සිහිකර
තාත්තා තොරණ කවි ගයා එනතුරු
නිදිවරන දූ මුව මෙනෙහි කර
සල් වනේ පිරිනිවුණි බුදුවර (පි. 11)

ඩියර් ශේක්ස්පියර්
කිම් ද? කවියක් නො ලියූ කාරණ
මාළුකායෙකු ගැන
ඉංග්‍රීසි සාහිත්‍යට උපාධියක් තියෙන (පි. 12)

කෞශල්‍යා ජයලත් කිවිඳියගේ, සන්තරණ මාත්‍රා කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද්‍ර අදහස් දැක්වීම ප්‍රවීණ දේශක, ලේඛක සාහිත්‍යධර මහින්ද නාමල් විසින් සිදු කෙරෙනු ඇත.

මෙම වැඩ සටහනේදි, තරංගා රණසිංහ, සධ්‍යා කොඩිතුවක්කු සහ වත්සලා කන්නන්ගර විසින් කෙටි අදහස් දැක්වීමට ද, රුවන්මලී කොඩිකාර විසින් කවි ගායනා ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

සිරිත් පරිදි, ලිට් රූම් සූම් සංවාදය සාහිත සංවාද යු ටියුබ් චැනලය හා ලිට් රූම් ෆේස් බුක් පිටුව හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත.

මැයි මස 31 වන ඉරු දින, පස්වරු හතට සූම් අවකාශයේ දි දිග හැරෙන ලිට් රූම් සංවාද මාලාවේ 20 වන සංවාද වාරය සඳහා, ඔබ සැමට ලිට් රූම් සාමුහිකය ගෞරවයෙන් ආරාධනා කර සිටියි. (Meeting ID: 845 8577 1133 Passcode: 805451)

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply