Breaking News

ව්‍යාපාරිකයන්ගේ, දේශපාලනඥයන්ගේ අයවිය යුතු විදුලි ගාස්තු කෝටි 200ක් බොල් ණයට කපලා

ආණ්ඩුව පසුගියදා විදුලි බිල සියයට 200 ගණනකින් වැඩි කරමින් පැවසුවේ විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් සිටින නිසා විදුලි බිල වැඩි කිරීමට සිදුවන බවයි. ඒ අනුව විදුලි ඒකක අඩුවෙන් පාවිච්චි කරන ජනතාවට වැඩියෙන් බර පටවා තිබේ. විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් සිටින්නේ සාමාන්‍ය ජනතාව විදුලි බිල් ගෙවීම පැහැර හැර ඇති නිසා හෝ ආණ්ඩුව කියන ආකාරයට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය සේවකයන්ට වැඩි පඩි දීම නිසා නොවන බව අනාවරණය වෙමින් තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය නොගවූ විදුලි බිල්පත්වල රුපියල් කෝටි 200 ක් බොල්ණය ලෙස කපාහැර ඇති බවත් මණ්ඩලය අයකරගත යුතු බිල්පත් ගාස්තු රුපියල් කෝටි 400 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති එකමුතුවේ ලේකම්, ඒ. ජී. යූ. නිශාන්ත පසුගියදා පැවසුවා.

විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්වයක් තිබියදී පසුගිය 4 වැනිදා පැවැති 75 වැනි නිදහස් සමරු උත්සවය සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 21 ක් හෙවත් රුපියල් කෝටි 2 කට අධික මුදලක් වෙන්කර ඇති බවත් බොල්ණය ලෙස කපාහැරි ගාස්තුවලින් වැඩි ප්‍රමාණයක් දේශපාලඥායන්ගේ සහ කූට ව්‍යාපාරිකයන්ගේ හිඟ විදුලිගාස්තු බව ද ඔහු සඳහන් කළා.

2021 සහ 2022 වසරවල විදුලි ගාස්තු හිඟ මුදල් මාස 6 ක් තුළ නොගෙවූයේ නම් මනු තලවාගෙන ආයුතු වුවද එය දේශපාලඥායන් සහ කූට ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බව කී ඒ. ජී. යූ. නිශාන්ත දුප්පත් ජනතාව විදුලි බිල නොගෙවුවහොත් විදුලි සැපයුම විසන්ධි කරන බවත් සඳහන් කළා.

විදුලි ගාස්තු නොගෙවන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන් සතුව තිබුණ ද ඔවුන් නීතියට අනුව කටයුතු නොකිරීම ගැටලුවට හේතුව බව කී හෙතෙම සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වයස මත උසස්වීම් දීම පරිපාලන ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.

රට වර්තමානයේ මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්වයෙන් ගොඩගැනීමට නම් විවිධ පුද්ගලයන්ගේ අදහස් අනුව කටයුතු කිරීම වෙනුවට ගැටලුවලට විසඳුම් දියයුතුව ඇති බව කී ඒ. ජී. යූ. නිශාන්ත පැවසුවේ විදුලි ඒකක 300 ට වැඩියෙන් පාවිච්චි කරන පුද්ගලයන්ගේ ගාස්තු ඉහළ දමා අඩු පරිභෝජනය ඇති පුද්ගලයන්ට සහන දීමේ විදුලි ගාස්තු ක්‍රමයක් ඇති කළ යුතු බවත්ය.

මෙම මාධ්‍ය හමුවේදීම ලංකා විදුලිබල මණ්ඩල කාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ ලේකම් නලීන් පටබැදි පැවසුවේ දේශපාලඥායන්ගෙන් සහ කූට ව්‍යාපාරිකයන්ගෙන් හිඟ ගාස්තු අයකරගැනීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එසේ කළ හොත් ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය ආදි සමගාමී ආයතනවල සේවකයන්ට ගෙවා ඇති ප්‍රසාද දීමනා සහ වෛද්‍ය දීමනා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ලබාගැනීමේ හැකියාව ලැබෙන බවත්ය.

leave a reply