Breaking News

අදහස් ප්‍රකාශනයේ මර්දනීය දේශපාලන සංස්කෘතියට එරෙහිව..

2026 මාර්තු මස දීපචෙල්වන්ගේ පොත් තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් රදවා තබා ගැනීමේ ගැටලුව නිරාකරණය කිරීම පිළිබද සංස්කෘතික අමාත්‍යවරයා ඍජුව මැදිහත්ව සිටින බවද එය සාමාන්‍ය රේගු ක්‍රියාවලියක් බවටද පසු ගියදා සමාජ මාධ්‍යය හරහා අදහස් සංසරණය විය. එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටියේ රේගුව අනුගමනය කරන මේ සාමාන්‍ය ක්‍රියාවලිය පිළිබද දීපචෙල්වන්ට නිසි ලෙස ඔහුගේ නියෝජිතයා සංනිවේදනය කර නොමැති නිසා සංනිවේදන දුබලතාවක් මත ඇතිවූ මේ ගැටලුව ඇතමුන් වාර්ගික හා දේශපාලන මුහුණු වරක් ආරෝපණය කිරීමට වෑයම් කිරීමට උත්සාහ දරණ බවයි.

මේ සාවද්‍ය අදහස් පළ කිරීම් වලින් ඔබ්බේ දීපචෙල්වන්ගේ පොත් රදවා ගැනීමේ ඇති සිංහල අධිපතිවාදී පටු වාර්ගික සංස්කෘතික දේශපාලන දෘෂ්ටිය හා දේශපාලන ක්‍රියාවලිය අප මුල සිට වටහා ගත් නිසාම ඔහුගේ සිතීමේ හා අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් දකුණේ දේශපාලනිකව සබුද්ධික හා මානවහිතවාදී අතලොස්සක් මෙයට එරෙහිව හඩ නැංවූහ.

උතුරේ අයිතිවාසිකම් ගොඩ නැංවීමට හා වාර්ගික සුහදත්වය ගොඩ නැංවීමට ක්‍රියා කරන බවට දේශපාලනිකව ප්‍රතිඥා දුන් ජාතික ජන බලවේග රජයේ ඉහළ දේශපාලන අධිකාරිය අමතමින් මා දීපචෙල්වන්ගේ සිතීමේ හා අදහස් ප්‍රකාශනයේ ඇති අයිතිය වහාම තහවුරු කරමින් උතුරේ ජනයාගේ පීඩනයේ හඩ නියෝජනය කරන දීපචෙල්වන්ගේ කෘතීන් කඩිනමින් නිදහස් කරන ලෙස ද එසේ නොවන්නේ නම් විරෝධය පෑමේ හා යුක්තිය ඉල්ලා ඉදිරි පියවර ගැනීමට යොමුවන බව ද දන්වා සිටියෙමි.

එහිදී මා වෙත දැනුම් දුන්නේ රජයේ පාර්ශ්වයෙන් මෙහි ගැටලුවක් නොමැති බවත් ජනාධිපති අනුර සහෝදරයා පවා මේ කෘති නිදහස් කරන ලෙස දන්වා ඇති බවත් නිලධර තන්ත්‍රයේ යම් ගැටලු සහගත තත්වයක් මත මෙය නිදහස් කිරීම පමාව ඇති නමුත් ඉදිරි දින කිහිපය තුළ මේ පොත් තොගය නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්‍ ය.

එහිදී මා පිළිතුරු ලෙස ඉදිරියේදී නැවත කිසිදු ලාංකිකයෙකුට මෙවන් අපහසුතාවකට පත් නොවන සේ ආංඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද අදහස් ප්‍රකාශනයේ අයිතිය සුරක්ෂා වෙන අයුරින් සියලු ආයතන හා බල අධිකාරින්හි දැනට පවතින යල් පැන ගිය නීති රීති හා ක්‍රියාපටිපාටීන් සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා මෙන්ද දීපචෙල්වන්ගේ කෘති පරිශීලනය කරමින් එහි අරුත් වටහා ගන්නා මෙන්ද ඉල්ලා සිටියෙමි.

එහෙත් 2026 අප්‍රේල් මස 10 වන දින දීපචෙල්වන් වෙත සංස්කෘතික අමාත්‍යංශයෙන් යොමු කළ ලිපියක් මගින් ඔහුගේ නිර්මාණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ජා කිරීමට 26 අප්‍රේල් 17වන දින දවල් 2ට කිලිනොච්චියෙ පදිංචිව සිටින මෙම ලේඛකයා සංස්කෘතික අමාත්‍යංශය වෙත කැදවනු ලැබීම පිළිබද දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කර සිටිමි.

රජය පිළිගෙන ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතෙහි 19වන වගන්තිය යටතේ මත දැරීමේ,අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතොරු ලබා ගැනීමේ නිදහසට ඇති අයිතිය නීර්ණය කරයි. බාධා කිරීම්,ඇගිලි ගැසීම් යනාදියෙන් තොරව ඕනෑම මතයක් දැරීමට පුද්ගලයකුට ඇති පරම අයිතිය එහි 1වන ජේදයෙන් දැඩිව ප්‍රකාශ කරයි.”මෙම අයිතිය මොනම තත්වයක් යටතේ හෝ සීමාවකට බදුන් කළ නොහැකිය” යනුවෙන් එහි දැක්වේ.

නිර්මාණකරුවෙකුගේ සිතීමේ හා අදහස් ප්‍රකාශනයේ අයිතිය,එය සමාජය සමග බෙදා ගැනීමේ අයිතිය කිසිවකුට හෝ කිසිදු අධිකාරියකට බාධා කළ නොහැකි, විනිශ්චය කළ නොහැකි නෛසර්ගික ස්වභාවික අයිතියකි. ඒ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් පැවති මර්දිත රජයන් සමග අප දශක ගණනාවක් අඛණ්ඩව ලාංකික දේශපාලන සංදර්භය තුළ අරගල කර ඇත්තෙමු. ඇතැම් මාධ්‍යවේදීන් ජීවිත පරිත්‍යාගයෙන් සිරගත වීමෙන් විවිධාකාර හිංසා පීඩාවන්ට මුහුණ දීමෙන් පවා මේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි බවද ඔවුනට ප්‍රණාමය පුදමින් සිහිපත් කරමි.

ශිෂ්ට සම්පන්න මානවීය දේශපාලන සංස්කෘතියක් ගොඩ නැංවීම අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා දෘෂ්ටිමය වශයෙන් අගතීන්ගෙන් හා ආධිපත්‍යය මතධාරාවන්ගෙන් බැහැර වීම, ප්‍රායෝගිකව අභ්‍යාස කිරීම සදහා මැදිහත්වීම,අවදානම් හා අභියෝගයන්ට මුහුණ දෙමින් ඒ අභියෝග කළමනාකරණයටද නව ක්‍රමවේද උපාය මාර්ග හදුනා ගත යුතුය.

නොඑසේව වත්මන් රජයද පසුගිය වාර්ගික මර්දනයේම දේශපාලන සංස්කෘතික දිගුවක් පවත්වා ගෙන යාම අපි තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.


වාර්ගික සුහදත්වය ගොඩ නැංවීම යනු උතුරට ගොස් දෙමළ වැසියන් බදා සිප ගෙන සෙල්ෆි ඡායාරූප ගනිමින් මාධ්‍යය සංදර්ශන දැක්වීම නොව අතිශයින් මර්දිත පීඩිත ජනතාවකගේ හඩට ඇහුම්කන් දීම, සංවේදී වීම හා ඔවුනගේ බිද දැමූ, යටපත් කරනු ලැබූ,අහිමි කරනු ලැබූ දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික අයිතීන් යලි ගොඩ නංවා සුරක්ෂිත කිරීම බව ජාතික ජන බලවේගයේ පාලකයන්ට අවධාරණය කරනු කැමැත්තෙමි.

ජනාධිපති අනුර දිසානායක “අප යුධ ගර්භාෂයක හැදී වැඩී පීඩනයට පත්වූවන් ,නැවත එවන් පීඩනයක් මේ භූමිය තුළ ඇති වීමට කිසිසේත් ඉඩ නොදෙන බව” මැතිවරණ වේදිකාවන්හි කළ ආකර්ශනීය වදන් සදහා සැබෑ දේශපාලන අරුතක් එක් කර එය අපගේ ලාංකික භූමිය තුළ යථාර්ථයක් බවට පත් කළ හැක්කේ ඔවුන්ද ඇතුලු බතරක් ලාංකිකයන් පාර්ශ්වකරුවන් වූ වාර්ගික අධිපතිවාදී සැහැසි ජාතිවාදී දේශපාලන මනෝභාවයන්ගෙන් පූර්ණ ලෙස අත් මිදී දේශපාලනික මානවීය දෘෂ්ටියකින් උතුරේ වැසියන්ගේ අයිතීන් පිළි ගැනීම හා ඒ අයිතීන් තහවුරු කිරීමට සැබෑ ලෙසම මැදිහත් වීම තුළින් පමණි.

දශක දෙකකට ආසන්න කාලයක් උතුරේ වැසියන්ගේ පීඩනයට එරෙහිව ඔවුනගේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අයිතීන් ගොඩ නැංවීම වෙනුවෙන් ඉතාමත් පුලුල් දේශපාලන දෘෂ්ටියක සිට උතුරේ මානවීය හඩ නියෝජනය කරමින් නිර්මාණකරණයේ යෙදෙන දීපචෙල්වන්ගේ අදහස් ප්‍රකාශනය බෙහෙවින් විශිෂ්ටය.එය ලාංකිකත්වය ඉක්මවමින් විශ්වීය සිතා බැලීමක් දක්වා දිගුවන දේශපාලන සංවාදයකි.

දීපචෙල්වන් යනු දමිළ වාර්ගිකත්වයෙහි.. දේශපාලන සංස්කෘතියෙහි.. ප්‍රකාශනයෙහි වත්මන් ප්‍රභල හඩක් හා සංකේතයකි.

එහෙයින් දීපචෙල්වන්ගේ හඩ යටපත් කිරීමට ඔහුගේ අදහස් වාරණය කිරීමට තැත් දැරීම සමස්ත දෙමළ ප්‍රජාවක හඩ යටපත් කිරීමට හා වාරණයේ සංකේතයක් බව රජය හා සිංහල ජන සමාජය දේශපාලනිකව අවබෝධ කර ගත යුතුය. උතුරේ ප්‍රජාවගේ හඩ යටපත් කිරීම හරහා පසුගිය අතීත දේශපාලනය තුළ අත් විදි ඛේදනීය සමාජ දේශපාලන පුපුරා යෑම පිළිබද මතකය අප කිසිවෙකුත් අමතක නොකළ යුතුය.එසේ එක් ජනවර්ගයක හඩ යටපත් කිරීමට තවත් ජනවර්ගයකට දේශපාලන හා මානවීය සදාචාරාත්මක අයිතියක් නැති බව ද මර්දිතයන් හෝ වාරණකරුවන් හා එබදු මර්දනයන් වාරණයන් ඉල්ලා සිටින ජාතිවාදී මනෝභාවයන් ගෙන් යුතු සියලු දෙනා 21වන සියවසේ දෙවන කාර්තුවේදී හෝ ගැඹුරු ලෙස අවබෝධ කර ගත යුතුය.
වාර්ගික ප්‍රචණ්ඩත්වයේ කෲරත්වය විදහාලමින් දීපචෙල්වන් වෑයම් කරනුයේ නැවත එවන් ප්‍රචණ්ඩත්වක් හට නොගන්නා මානවීය ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ලාංකික දේශපාලනය තුළ ගොඩ නැංවීමයි.

ඒ සදහා ඔහු දකුණේ දේශපාලනයේ සැබෑ සහයෝගය අපේක්ෂා කරයි.

එය 1971 හා 1987-90 කාලපරිච්ඡේදයන් පසුබිම් කරගෙන රාජ්‍ය හා හමුදා මර්දනයට එරෙහිව සිය අද්දැකීම් ප්‍රති නිර්මාණය කරන දකුණේ සිංහල ජනවර්ගයට සේම තමා මුහුණ දුන් රාජ්‍ය හා හමුදා ප්‍රචණ්ඩත්වය නිර්මාණාත්මකව සංවාදයට ගැනීමට දෙමළ පුරවැසියෙකුට ඇති සමාන අයිතියකි.එසේම එය ලොව කවර දේශයක හෝ කාලයක යුධමය ප්‍රචණ්ඩත්වට එරෙහිව සිය අනුභූතීන් හරහා අදහස් ප්‍රකාශනයේ ඕනෑම් මානවයකුට ඇති නිදහස් අයිතිය හා සම වේ.එය ශ්‍රී ලංකා ආංඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සම්මුතිය මගින් තහවුරු කර ඇත්තා වූ කිසිවෙකු විසින් බාධා කළ නොහැකි සිතීමේ හා මානවීය ප්‍රකාශනයේ පුරවැසි අයිතියකි.

අනුෂා සිවලිංගම් විසින් විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තනය කළ “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” ,ජී .ජී.සරත් ආනන්ද පරිවර්තනය කළ “ස්මාරක ශිලාවත” හා “භයංකරවාදියා” යන දීපචෙල්වන්ගේ කෘතීන් සමස්ත ලාංකිකයන් විසින් කියවා ගනිමින් එහි අරුත් වටහා ගනිමින් මනුෂ්‍යත්වයට එරෙහි සිය ම්ලේච්ජ වාර්ගික මනෝභාවයන් පිළිබද ගැඹුරු සිතා බැලීමකට දෘෂ්ටිමය යා කිරීමක් කරනු ලබන, යුධමය කාලයක් අවකාශයක් මානුෂිකත්වයෙන් ග්‍රහණය කර ගන්නා විශිෂ්ට ප්‍රකාශනයන්‍ ය.

ජාතීවාදී පටු උමතු මනෝභාවයන්ගෙන් මිදී සැබෑ සහෝදරත්වයක් කරා ලාංකිකයන් පෙළ ගස්සන්නා වූ මේ ප්‍රකාශයන් රදවා තබා ගැනීම,වාරණය කිරීම මර්දනය කිරීම හා නිර්මාණකරුවා මානසික හිංසනයට ලක් කිරීම හෝ ඔහුට හිරිහැර කිරීම නොව මේ නිර්මාණ සමාජගත කරමින් නිදහස් සංවාදයකට ලක් කිරීම සබුද්ධික දේශපාලන සංදර්භයක සිදු විය යුත්තකි.

ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ කිසියම් පාර්ශවකට එකගතාවක් නැති නම් හෝ ගැටලුවක් ඇත්නම් ඒ සමග මතවාදීව සංවාද කරනු විනා දමිළ ජනයාගේ හඩ යටපත් කළ අතීත මුග්ධ හා සැහැසි හා විනාශකාරී ප්‍රතිපත්තීන් ඉදිරියට රැගෙන නොයන මෙන් අදාල දේශපාලන පාර්ශ්වයන්ට හා නිලධාරීන්ට දැඩිව අවධාරණය කරන්නෙමු.

දීපචෙල්වන්ගේ අදහස් ප්‍රකාශනයේ නිදහස රාජ්‍යය තුළ දේශපාලනික ඉල්ලීම් හරහා දිනාගත නොහැකි නම් ඔහුගේ හා සමස්ත ලාංකිකයන්ගේ අදහස් , වාරණයෙන් හා මර්දනයෙන් තොරව ප්‍රකාශනයේ අයිතිය සදහා නෛතික වශයෙන් යුක්තිය උරගා බැලීම සඳහා අප ඉදිරිපත් වන බවද අවධාරණය කරන්නෙමු.

ඒ සදහා අප සමග අත්වැල් බැද ගන්නා මෙන්ද උතුරේ හා දකුණේ නිර්මාණකරුවන්ගෙන් මාධ්‍යවේදීන්ගෙන්,මානවහිමිකම්වේදීන් හා සිවිල් ක්‍රියාධරයන්ගෙන් හා දීපචෙල්වන්ගේ පාඨකයන්ගෙන් හා සමස්ත ලාංකික සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

තිලිනා වීරසිංහ
තිලිනා වීරසිංහ

leave a reply