Breaking News

මේක අලි මරන ආණ්ඩුවක්

සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාව ආසියානු අලි ඇතුන් ජීවත්වන සීමිත රටවල් සංඛ්‍යාවෙන් එකක් වන අතර මෙරට ජීවත්වන අලි විශේෂය ආසියානු අලින්ගේ මෙරටට ආවේණික උප විශේෂයක් ලෙස පරිණාමයවී තිබේ. අලි ඇතුන් ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජාර්ථික හා සංස්කෘතික පද්ධතීන් සමග තදින් බැඳී සිටින සත්ත්ව විශේෂයකි. මෙරට වනාන්තර සහ ඒවායේ ජීවත්වෙන සතාසිව්පාවාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අලි ඇතුන් ඉටුකරන පරිසර විද්‍යාත්මක කාර්යභාරය ඉතා සංකීර්ණ සහ විශාල එකකි. මෙම සතුන් මූලස්ථාන ජීවී විශේෂයක් ලෙස හැඳින්වෙන්නේ එබැවිනි. එසේම මෙරට ප්‍රධාන ආගමික විශ්වාස දෙක ලෙස හැඳින්විය හැකි බෞද්ධාගමේ සහ හින්දු ආගමේ ආගමික සහ සංස්කෘතික පද්ධතීන් සමග අලි ඇතුන් තදින් බැඳී සිටිති. අලි ඇතුන් ධජයධාරී ජීවී විශේෂයක් ලෙස හැඳින්වීමට එය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. එසේම ආර්ථික අතින් ගත්තද සංචාරක කර්මාන්තය වැනි මාර්ග ඔස්සේ අලි ඇතුන් මෙරටට හිමිකරදෙන ප්‍රතිලාභ අපරිමිතය. නමුත් මෙරට දේශපාලකයින් සහ ඇතැම් උසස් නිලධාරීන් අලි ඇතුන් දෙස බැලීමට පුරුදුවී සිටින්නේ ‘කරදරකාරයින්’ කොටසක් දෙස බලන ආකාරයට වීම කණගාටුවට කරුණකි. ඔවුන්ගේ පටු අවස්ථාවාදී තීන්දු තීරණ හේතුවෙන් උත්සන්න වී ඇති අලි-මිනිස් ගැටුම පාදක කරගනිමින් මේ වෛරය හටගෙන තිබේ. ඒ වෛරය මේ වන විට කොතරම් ඔඩුදුවා ඇතිද යත් මෙරටට හිමි වටිනා සම්පතක් වන අලි ඇතුන් නොනිල ආකාරයට ඝාතනය කිරීමට අවශ්‍ය ඉඩකඩ සකසා දීමට එකී දේශපාලකයින් සහ උසස් නිලධාරීන් කටයුතුකර තිබේ.

මිනිස් ජීවිත සහ දේපොළවලට හානි කරන බවට චෝදනා එල්ලවන වන අලින්‌ අල්ලා ඉවත්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබන්ඩාරගේ අනුමැතිය යටතේ සකස් කර ඇති නව කාර්ය පටිපාටිය මගින් මෙම හස්ති ඝාතන වියරුවේ ඉඟි ඉතා ප්‍රකටව පෙනෙන්නට තිබේ. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, එම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ (සෞඛ්‍ය) පශු වෛද්‍ය තාරක ප්‍රසාද් යන අය විසින් සාකච්ඡා මාර්ගයෙන් මෙම කාර්ය පටිපාටිය සකස්කර තිබේ. අත්දැකීම් අඩු නිලධාරීන් අලි ඇල්ලීම සඳහා යෙදවීම, අල්ලාගනු ලබන අලින්ගේ ජීවිත වලට එල්ලවිය හැකි තර්ජන නොසළකා එම සතුන් ඇල්ලීමට අවසර ලබාදීම සහ මෙවැනි අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රම හේතුවෙන් සිදුවියහැකි අලි ඝාතන සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරීම සඳහා මෙම නව කාර්ය පටිපාටියෙන් ඉඩ සලසා තිබේ.

පසුබිම

මෙම හස්ති ඝාතන වියරුවේ ආරම්භය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොතාන, කටුකැලියාව ප්‍රදේශයේ ජීවත්වූ වන අලියෙකු අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය නමින් පවත්වාගෙන යන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුරාධපුර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කිරීමය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට සිටින හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු අලි ඇල්ලීමේ නිලධාරීන් කණ්ඩායම් දෙක මේ ආකාරයට වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීම ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිමේ හේතුවෙන් උසස් නිලධාරීන්ට මෙම අලියා ඇල්ලීම සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ ගැටළුවක් මතුවිය. මෙසේ හොරොව්පතාන හස්ති වධකාගාරයට අලි ඇතුල් අල්ලා ගෙනගොස් දැමීම වනජීවී නිලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කිරීමට හේතුව එය සම්පූර්ණයෙන්ම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේදයක් බව ප්‍රත්‍යක්ෂවී තිබීමය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත්කළ අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පෙන්වා දී තිබේ. හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. පහළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර (එම මරණ වලින් 10ක්ම මන්දපෝෂණය හේතුවෙන් සිදුවී ඇත) ඉතිරි අලින්ට සිදුවූ දෙයක් නැත. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති. ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි – මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවත් නොකිවමනාය. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිණි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි – මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව අප සිහිතබාගත යුතුය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යෑම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය. ඒ බව දැන දැනත් තවදුරටත් අලි ඇතුන්ට එම ඉරණමම අත්කර දීමට වනජීවී නිලධාරීන් අකමැතිවීම සාධාරණය. නමුත් එම යථාර්ථයට ඇහුම්කන් නොදෙන විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා දැන් සිදුකිරීමට යන්නේ අලි ඇතුනුත් වනජීවී නිලධාරීනුත් ජීවිත අවධානමකට ඇද දැමමින් තම වියරුව ඉටුකර ගැනීමටය.

වනජීවී නිලධාරීන්ගේ ජීවිත අනතුරේ

මෙතෙක් වන අලින්‌ ඇල්ලීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත්‌ කණ්ඩායමක විශේෂ රාජකාරියක්‌ ලෙස පැවතුනද එය සියලුම නිලධාරීන්ගේ‌ සාමාන්‍ය රාජකාරියක්‌ බවට මෙම කාර්ය පටිපාටිය මගින් පත්කර ඇත. එය හිතා මතාම වනජීවී නිලධාරීන්ගේ ජීවිත බිල්ලට දීමකි. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසය තුල රාජකාරියේ යෙදී සිටියදී වනජීවී නිලධාරීන් ඝාතනයවූ අවස්ථා 81 ක් වාර්තාවී තිබේ. ඉන් 36 දෙනෙකු මරණයට පත්වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙනි. දෙවැනි වැඩිම නිලධාරීන් සංඛ්‍යාව වන 20ක් මරණයට පත්ව ඇත්තේ රාජකාරි අතරතුර සිදුවූ වන අලි පහරදීම් වලිනි. ඉදිරියේදී මෙම මරණ සංඛ්‍යාව තවත් සීග්‍රයෙන් ඉහළ යාමට ඇමතිවරයාගේ සහ ලේකම්වරයාගේ මෙම අත්තනෝමතික නියෝග හේතුවිය හැකිය. එම තත්වය තුල නිලධාරීන්ගේ උනන්දුව වැඩි කිරීම සඳහා අලි ඇල්ලීමට සහභාගීවන වනජීවී නිලධාරීන්ට ලබාදෙන අනතුරැ දීමනාව රුපියල්‌ 10,000 දක්වා ඉහළ දැමීමට ඔවුන් යෝජනා කර තිබේ. තම ජීවිත පරදුවට තබා හෝ වනජීවී නිලධාරීන් කටයුතු කරන්නේ අලි-මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් සාක්ෂාත් කරගැනීමට නම් අපට හිත හදා ගැනීමට ඉඩ තිබුණි. නමුත් මේ සිදුකරන්නට යන්නේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණට කිසිඳු සහයක් ලබා නොදෙන, වන අලි සංරක්ෂණය අතින් ඉතා අයහපත් නමුත් උසස් නිලධාරීන්ගේ උන්මාදයක් සුවකර ගැනීම සඳහා නිලධාරීන්ගේ ජීවිත බිල්ලට දීමය. නොඑසේනම් බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමකි.

අලි ඇතුන්ගේ ජීවිත අනතුරේ

මිනිසුන් හෝ අලි ඇතුන් වැනි වන සතුන් හෝ නිර්වින්දනය කිරීම ඉතා අවධානම් කටයුත්තක් බව නොකිවමනාය. නමුත් ශල්‍යාගාර තුල පූර්ව පරීක්ෂණ රැසකින් පසු ආරක්‍ෂිත තත්වය යටතේ මිනිසුන් නිර්වින්දනය කිරීම මගින් එම අවධානම අවම වේ. නමුත් වනාන්තරයේ ජීවත්වෙන අලියෙකු සම්බන්ධයෙන් එම තත්වය වෙනස්ය. අල්ලා ගැනීමට බලාපොරොත්තුවන අලියා හඳුනාගැනීමද අභියෝගයක් වන පසුබිමක අලි ඇතුන් තුල ඇති ශාරීරික සහ සෞඛ්‍ය ගැටළු පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ප්‍රායෝගික නැත. එසේම පශු වෛද්‍ය නිලධාරයා විසින්‌ ඔහුගේ අභිමතය පරිදි අලියාගේ ස්කන්ධය තීරණ කරමින්‌ අවශ්‍ය ඹෟෂධ මාත්‍රාව එන්නත්කරණය සඳහා කණ්ඩායම වෙත ලබාදීම සිදුකරයි. එය එම වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත තීරණය වේ. මාත්‍රාව වැඩි වීම අලියාගේ මරණයෙන් කෙළවරවේ. නිර්වින්ද ඖෂධ භාවිතයේ ඇති තවත් අවධානම් තත්වයක් වන්නේ නිරිවින්දනය වූ වන අලියා බිම ඇදවැටීමේදී පපුව හිරවීමෙන්‌, හොඬය යට වීමෙන් සහ ජලය සහිත ස්ථානය වැටීමෙන් අකාලයේ මියයාමයි.

මෙම අවධානම අවමකිරීමේ සහ අල්ලාගනු ලබන සත්වයාගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙතෙක් සිදු කෙරුණුණේ අලි ඇතුන් නිදිගන්වා රැහැන් දැමීමය (Standing Sedation). නමුත් ඒ ආරක්‍ෂිත ක්‍රමය නව පටිපාටිය මගින් බලධාරීන් ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට බරපතල සංකූලතා සහ මරණය පවා අත්කරදිය හැකි ආරක්‍ෂිත නොවන නිර්වින්දන ඖෂධයක් වන ඉටොර්පීන් යොදාගෙන අලි ඇතුන් නිර්වින්දනය කිරීමට ඔවුන් අවසර ලබාදී ඇත. අප්‍රිකානු අලි සහ රයිනෝසිරස් සතුන් සඳහා නිර්මාණය කර ඇති මෙම නිර්වින්දන ඖෂධය ආසියානු අලින් සඳහා නිර්දේශ කර නැත. එම ඖෂධය යොදා නිර්වින්දනය කරන සතුන් දිගුකාලීනව වකුගඩු සහ අක්මා වැනි අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ගේ සංකූලතා වලට ලක්වීමට සහ/හෝ මරණයට පවා පත්වීමට පවා හැකියාව පවතී. එවැනි අන්තරායකර ඖෂධයක් යොදාගෙන අලින් ඇල්ලීම මගින් වනජීවී නිලධාරීන්ට යම්කිසි ආරක්ෂාවක් සැළසෙන නමුත් කිසිඳු ප්‍රයෝජනවත් යමක් ඉටු නොවෙන කටයුත්තක් සඳහා බලධාරීන් මෙසේ අලි ඇතුන්ගේ ජීවිත අවධානමේ හෙළීම මගින් පැහැදිළි වන්නේ ඔවුන්ගේ මතය අලියා මියගියත් ගැටළුවක් නොවන බවය.

නීතියේ පිහිට පැතීමට අවසර ලබා නොදීම

මෙසේ අලි ඇතුන්ට මෙන්ම වනජීවී නිලධාරීන්ට ජීවිත අවධානමක් ගෙන එමින් අලි ඇතුන් ඇලීමට නියෝග කරන උන්මන්තක වනජීවී බලධාරීන් ඒ සම්බන්දයෙන් අධිකරණයේ හෝ පිහිට පැතීමට මෙරට සිවිල් පුරවැසියන්ට ඇති අයිතියද අවහිර කරයි. ඒ මෙසේ අවධානම් ආකාරයෙන් අලි අල්ලන අවස්ථා වල අලින් මරණයට පතුවුව හොත් ඒවා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද රාජකාරියකදී ඇතිවූ සිද්ධියක් ලෙස සලකා, තුන්වන පාර්ශවයකට ඊට මැදිහත්විය නොහැකි ආකාරයෙන් අධිකරණයේ කරුණු වාර්තා කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙමිනි.

බලධාරීන් මෙසේ ඉතා අත්තනෝමතික, අසාධාරණ සහ අනුවණ ආකාරයෙන් මෙරට වනජීවී සම්පත් විනාශ කිරීමට කටයුතු කරන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න උභතෝකෝටිකයකි. ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථා වලදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම් අපට මතක. එසේම වර්තමාන තත්ත්ව යටතේ මිනිස් ජීවිත සහ දේපොළවලට හානි කරන බවට චෝදනා එල්ලවන වන අලි ඇතුන්ටද එකී ඉරණමම අත්වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. එසේම මෙරට ඉතා පහසු සහ අවධානම් රහිත වනජීවී ජාවාරමක් වන අලි පැටවුන් ජාවාරම සඳහාද මේ හරහා දොරටු ප්‍රවේශ වීමට ඇති ඉඩ ප්‍රස්ථාවද සුළු පටු නැත. වනජීවී වැනි සංරක්ෂණ හා ආරක්ෂණ ප්‍රමුඛතා සහිත දෙපාර්තමේන්තුවකට ඊට කිසිඳු සුදුසුකමක් නැති ඇමතිවරයෙක්, හමුදා ආකල්ප සහිත විශ්‍රාමික නිලධාරියෙක් සහ කශේරුකාව පිළිබඳව ගැටළු පවතින අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කරගෙන ආණ්ඩුව මේ සූදානම් වන්නේ මෙරට ජීවත්වෙන සීමිත අලි ඇතුන් සම්පත සමූලඝාතනය කිරීමටද යන්න විමසිය යුතුය.

 

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු – ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

 

Summery in English

The new protocol prepared by the Department of Wildlife Conservation (DWC) to capture problems causing wild elephants, will lead to an increase in the mortality rate of both DWC officers and elephants during such capture operations.

This protocol,

  1. Allow to use new and apprentice officers for capturing elephants
  2. Allow to use harmful tranquilizing drugs for capture elephants
  3. Avoid interested groups to go before the courts for the victims

The new protocol was prepared through a discussion with the State Minister of Wildlife Protection, Adoption of Safety Measures including the Construction of Electrical Fences and Trenches and Reforestation and Forest Resource Development, Secretary to the ministry, and Director (Health) at DWC and was approved by the Wildlife Director General.

The Director General of DWC ordered to the Assistant Director if the Anuradhapura Wildlife Administration region to capture a bull elephant from Pothana, Katukeliyawa area in Anuradhapura saying causing problems to the general public and confined him to the Horowpathana Elephant Holding Ground. The two well-trained and experienced elephant capturing teams of DWC refused to capture this elephant and they are in a trade union action not to capture wild elephants and confined to Horowpathana Holding Ground, which is a completely failed approach in Human-Elephant Conflict mitigation. Therefore, DWC assigned a team with new and apprentice officers in this regard. Therefore, it is a risk to both elephants and the DWC officers. About 20 wildlife officers get killed by elephant attacks on duty and this mortality rate will dramatically increase with the new decision.

Furthermore, attempting to capture elephants using untrained officers is also a risk to the animal and this new protocol allows the officers to use a more harmful tranquilizer instead of drug use for Standing Sedation. This can cause harmful short and long term complications and even death to the captured animal. This drug is used for African elephants and Rhinos and not recommended for Asian elephants, too.

In addition, this protocol instructs the officers to report the mortality of elephants before courts as an issue with regard to their usual duty and restrict the other interested parties to intervene.

The audit report number IEN/F/DWC/19/PR/11 dated October 2020 entitled ‘Performance of the Horowpothana Elephant Holding Ground’ published by Mr. W.P.C.Wickramaratne, Auditor General revealed that the Horowpathana holding ground is completely failed and there are some financial irregularities took place. According to the audit report, a census conducted in June 2019 at Horowpathana found only 09 elephants were remaining and 15 elephants had died for various reasons. 10 of them had died of malnutrition and lack of sufficient food. Further, another two elephants had died due to unattended translocation to the holding ground. During the period from 04 September 2015 to 25 June 2019, 52 elephants were retained in the holding ground. The Department lacked information as to whether the remaining elephants had either died or fled the holding ground. However, we know that the number of elephants retained in Horowpathana would be much higher as it started in 2013. At least no one was released back to the wild after rehabilitation in such holding grounds. Therefore, it is clear that the holding ground concept is not a scientific way to mitigate HEC and it kills the elephants and wastes public money.

Hence, as the Biodiversity conservation and Research Circle we kindly request from the State Minister of Wildlife Protection, Adoption of Safety Measures including the Construction of Electrical Fences and Trenches and Reforestation and Forest Resource Development not to repeat the same mistake again and take immediate steps to save the life of both wild beast and the officers of DWC and stop putting elephants into Horowpathana open prison.

 

Supun Lahiru Prakash

Convener – Biodiversity conservation and Research Circle

leave a reply