Day: March 17, 2025

  • ඛණිජ සම්පත් මංකොල්ල කන දූෂිත නිලධාරීන් නව ආණ්ඩුව යටතේත් වැඩ

    ඛණිජ සම්පත් මංකොල්ල කන දූෂිත නිලධාරීන් නව ආණ්ඩුව යටතේත් වැඩ

    රනිල් – රාජපක්ෂ පාලන කාලය තුළ භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයට පත්කළ දුෂිත නිලධාරීන් තවමත් ඉවත් නොකිරීම නිසා දූෂණ සහ වංචා රැසක් තවදුරටත් සිදුවෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

    විශේෂයෙන් ඔහුට එල්ල වූ වංචා දූෂණ චෝදනා නිසා වැඩ තහනමට ලක්වූ සජ්ජන ද සිල්වා පසුගිය ආණ්ඩුව සමයේ ජේශ්ඨ අධ්‍යක්ෂක කැණීම් ලෙස නැවත සේවයේ පිහිටුවා තිබේ. වර්තමාන පරිසර නියෝජ්‍ය ඇමතිවරයා ඔහුගේ වංචා දූෂණවලට එරෙහිවීම නිසා වැඩ තහනමට ලක්වූ අයෙකු බවද වාර්තා වේ.

    එසේ තිබියදී සජ්ජනද සිල්වා තවමත් භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය තුළ තනතුරු දරමින් සිටීම හාස්‍ය ජනක කරුණකි.

    මේ කරුණු හෙළිකරන ලද්දේ අද YOUTH FOR ChENGE විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. එහි සංවිධායක ලේකම් ළහිරු වීරසේකර පැවසුවේ සජ්ජනද සිල්වා වැන්නන් ඉවත්කර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය තුළ සිදුවෙමින් පවතින වංචා හා දූෂණ මැඩලීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු බවයි.

    ළහිරු වීරසේකර පැවැසූ සම්පූර්ණ අදහස පහත දැක්වේ.

    ” අපි අද මාධ්‍ය හමුව කැඳෙව්වේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය මගින් සිදුකරන බරපතළ දූෂණයක් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. මේ රටේ සමස්ත ජනතාවගේම ජීවතවලට සහ පරිසරියට බලපාන බරපතළ විදිහට බලපාන ප්‍රශ්නයක් මේක. අපි දන්නවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යයංශය මගින් තමයි ලංකාවේ ඛනිජ සම්පත් කැණීම් සහ ගවේෂණය කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන්නේ. අපි දන්න විදිහට පරිසර අමාත්‍යංශයේ වැඩිම ආදායමක් උපයන ආයතයනය වෙන්නේ මේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය. ඔවුන් බලපත්‍ර නිකුත් කිරීමෙන් විශාල ආදායමක් ලබනවා. මේ ඛනිජ සම්පත් කියන්නේ පුනර්ජනනීය බලශක්තියක් නෙවෙයි. ඒ නිධි යම් කිසි කාලෙකදි අවසන් වෙනවා. ඒ නිසාම ඛනිජ සම්පත් මිළ අධිකයි සහා ඉල්ලුම වැඩී.ඉල්මනයිට් රූටයිල් සර්කෝන් ගානට් මොනසයිට් මැග්නටයිට් සිලිමනයිට් වගේ වටිනා ඛනිජ ද්‍රව්‍ය තමයි ලංකාවේ තියෙන්නේ. ලංකාව සහ ලංකාවට අයත් සාගරය ආශ්‍රිතව තියෙන ඛනිජ කියන්නේ රටේ සමස්ත ජනතාවගේම සම්පතක්. නමුත් දැන් අපිට පේනවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය කටයුතු කරන්නේ මේ ඛනිජ සම්පත් ඔවුන්ට අයත් බූදලයක් විදිහට සලකගෙන. පරිසරය හෝ ජන ජීවිත ගැන කිසිම වගකීමක් නැතුව තමයි දැන් මේ ආයතනය බලපත්‍ර නිකුත් කරමින් ඉන්නේ.

    ”ඛනිජ සම්පත් අපිට හමු වෙන්නේ ස්වාභාවික පරිසර පද්ධතියෙන්. ඒක නිසා ඛනිජ සම්පත් කැණීමේදී හෝ ගවේෂණය කිරීමේදී අනිවාරයෙන් ඊට අදාලව පරිසර තක්සේරු වාර්තාවක් ගැනීම අත්‍යාවශ්‍යයි. මොකද මේ කැණීම්වලින් ශාක පද්ධතියට, පාංශු පද්ධතියට සහ ජීවීන්ට කිසිඳු හානියක් වෙන්න බෑ. එහෙම උනොත් ඒක බලපාන්නේ සමස්ත ලෝකයටම. අනිත් එක තමයි මේ කැණීම් ක්‍රියාවලිය හරහා ජන ජීවිතයට යම් බලපෑමක් වෙනවද කියන කාරණයත් නිවැරදිව තක්සේරු කරන්න ඕන. හැබැයි දැන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය දැන් බලපත්‍ර නිකුත් කරන්නේ මේ කිසිඳු කරුණක් ගැන සැලකිල්ලක් නැතුව. අඩුමතරමින් බලපත්‍ර ලබා ගන්න සමාගමේ අතීත ක්‍රියා කලාපය ගැනවත් දැනුවත් භාවයක් නැතුව තමයි ඔවුන් බලපත්‍ර නිකුත් කරන්නේ.

    137 / 2017 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දුන්නා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය සම්බන්ධයෙන්. ඒ තීන්දුවේ පැහැදිලිව කියනවා මේ ආයතනය බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ විනිවිද භාවයකින් තොරව කියලා. මෙහි බරපතළම කාරණය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දොලොස්වෙනි වගන්තියට පටහැනිව තමයි බලපත්‍ර නිකුත් කිරීම වෙලා තියෙන්නේ. ඒ තීන්දුව අනුව නීතිපතිවරයා නිර්දේශ කරා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන්න කියලා. දැනටත් එයට අදාළව ක්‍රියාපටිපාටියක් තවමත් සකස් වෙමින් තියෙන්නේ. එතකොට අපිට අහන්න තියෙන්නේ දැනටමත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දොලොස්වෙනි වගන්ති උල්ලංඝනය කරමින් නිකුත් කරපු බලපත්‍ර සම්බන්ධයෙන් ගන්න පියවර මොනව ද ? අනිත් එක තමයි දැනට නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න බලපත්‍රවලට මොකද කරන්නේ ? මෙන්න මේ ඍජු ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර දිය යුතුයි.

    දැටමත් තලෛමන්නාරමේ සහ මන්නාරමේ විශාල භූමි ප්‍රමාණයක ඛනිජ ගවේෂණය සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. ඊලඟට කෝකිලායි සහා නිලාවේලි වෙරළ සහ මුහුදු ප්‍රදේශවලත් මේ විදිහටම බලපත්‍ර නිකුත් කරල අවසන්. අපිට ආරංචි විදිහට මේ වෙද්දි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පරවි දූපත ආශ්‍රිත සංචාරක කලාපයේ කැණීම් බලපත්‍ර නිකුත් කරන්න අවසර දෙන්නත් මේ ආයතනය බලාපොරොත්තුවෙන් ඉන්නේ. අනිත් බරපතළම ප්‍රශ්නයක් තමයි ඇඹිලිපිටිය ශංඛපාල ගල්බොක්කයාය කඳුවැටිය. මේ කඳුවැටියේ ඛනිජ ගවේෂණය සඳහා පසුගිය කාලෙම ලංවා සමාගම අවසර ඉල්ලමින් හිටියා. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය ඒකට විරුද්ධ වුණා. ඒ වගේම ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වුණා. මොකද මේ ගල්බොක්ක යාය කඳුවැටිය කියන්නේ අතිශයින් සංවේදී පරිසර පද්ධතියක්. හැබැයි ඒ විරෝධතා කිසිවක් නොසලකා ලංවා ආයතනයට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය හොරෙන්ම බලපත්‍ර නිකුත් කරලා. මේ වෙද්දිත් අදාළ ප්‍රදේශයේ ලංවා ආයතනය බලහත්කාරයෙන් කැණීම් කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය මැදිහත් වීම් කරමින් යනවා.

    මේ දූෂිත සහ වංචා සහගත බලපත්‍ර නිකුත් කිරීම පිටිපස්සේ ඉන්නේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාලයේ දැනට ඉන්න සහ හිටපු ඉහළ පෙළේ නිළධාරීන්. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාලයේ හිටපු නීති උපදේශකවරිය තමයි අර ගල්බොක්ක යාය සිදුවීමට සම්බන්ධ ලංවා ආයතනයේ වර්තමාන නීති උපදේශකවරිය විදිහට කටයුතු කරන්නේ. එතකොට අපිට හිතාගන්න පුලුවන් ලංවා ආයතනය අදාල බලපත්‍රය ලබාගත්ත විදිහ. ඊලගට අලුත් ගම ප්‍රදේශය ආශ්‍රිතව තියනවා ඉතාම වටිනා මොනසයිට් නිධියක්. තෝරියම්, සිලියම් සහ ලැන්තනම් කියන මූලද්‍රව්‍යයන් මොනසයිට්වල තියනවා. න්‍යෂ්ටික බලශක්තිය නිශ්පාදනයේදී යුරේනියම් සඳහා ආදේශකයක් විදිහට භාවිතා කරනවා තෝරියම් කියන විකිරණ ශීලී ද්‍රවයය. එතකොට මේ මොනසයිට් නිධිය අපේ රටට සම්පතක්. දැන් ඒ නිධිය දෙන්න සූදානම් වෙන්නේ කාටද ? අපි දන්නවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ සාෆි නගර් ආශ්‍රිතව මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු වුනා පහුගිය කාලේ. අදටත් මේ නිසා ඒ ප්‍රදේශයට බරපතළ පරිසර හානියක් වෙලා ඉවරයි. ඒ වැලි ජාවාරමට සම්බන්ධ ආයතනයට තමයි අලුත්ගම ඛනිජ නිධිය ගවේෂණය කරන්න බලපත්‍ර නිකුත් කරන්න සූදානමින් ඉන්නේ. සෙනරත් හේවගේ කියන හිටපු සභාපතිවරයට තමයි මේ සමාගම අයිති. අපි අහන්නේ මේ නිධිය ගවේෂණය සඳහා බලපත්‍ර නිකුත් කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මොකක් ද ? භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයට ඒ සඳහා තියෙන අයිතිය මොකක් ද ?

    මෙච්චර බරපතළ දූෂණයක් වංචාවක් මේ ආයතනය තුළ වෙන්න හේතුව තමයි මේ ආයතනයේ ඉහළ නිලධාරීන් විදිහට ඉන්න පිරිස. ඔවුන් කටයුතු කරන්නේ සමාගම්වලට අවශ්‍ය විදිහට. ඒ සමාගම්වලින් ලැබෙන කොමිස් එක සලකලා තමයි කැණීම් බලපත්‍ර නිකුත් කරන්නේ. භූ විද්‍යා හා පතල් කැණිම් කාර්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සජ්ජන ද සිල්වාගේ වැඩ තහනම් කලා 2022 අවුරුද්දෙදි. ඒ අධිකරණ තීන්දුවකින්. ඔහුට විරුද්ධව වංචා දූෂිණ ඡෝදනා එල්ල වෙලා තියෙන්නේ. එදා සජ්ජන ද සිල්වාගේ දූෂිණ වංචාවලට එරෙහිව ඒ ආයතනයේ අය පාරට බහිනකොට ඔහු තමන්ගේ බලය පාවිච්චි කරල ඒ අයගේ වැඩ තහනම් කලා. අද ඒ සජ්ජන ද සිල්වාව ජේශ්ඨ අධ්‍යක්ෂක කැණීම් විදිහට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයේ සේවයට අරගෙන. ඒ වැඩ තහනම් වුණු කාලයේ හිඟ වැටුප් සහිතව. මෙතන තියෙන හාස්‍යජනක කාරණය තමයි එදා සජ්ජනද සිල්වාගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහි වෙන්න ගිහිල්ලා රස්සාව අහිමි කරගත්ත අයගෙන් කෙනෙක් තමයි වර්තමාන ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි. සජ්ජනද සිල්වාව නැවත පත් කලේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව 2024දි. හැබැයි අපි අහන්නේ දැන් අලුත් ආණ්ඩුව පත් වෙලා මාස 3ක් 4ක් ගතවෙලා. ඇයි තාම සජ්ජන ද සිල්වා ඉවත් නොකර ඉන්නේ ?

    ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මෙන්න මේ කරුණු ගැන වහාම අවධානය යොමු කරන්න. පළවෙනි එක භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කරන්න ඕන. ඊලඟට අදාළ දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාමාරග ගන්න ඕන. මීට අමතරව දැනට නීති විරෝධීව ලබාදුන් බලපත්‍ර වහාම අහෝසි කල යුතුයි. අපි කියන්නේ ආණ්ඩුවට දැන් මේ කටයුතු කරන්න පුලුවන්. මේවට කල් ගන්න ඕන නෑ. සහ අපි රටේ ජනතාවටත් කියනවා මේ වංචා දූෂණවලට එරෙහිව හඬ අවධි කරන්න. මොකද මේක ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. රටේ ස්වාභාවික සම්පතුත් පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා ජනතාවට බරපතළ වගකීමක් තියනවා මේ සම්බන්ධයෙන් අවධානාත්මකව කටයුතු කරන්න. ”

  • මට කියන්නේ මහින්දව ගෙදර යවලා දුමින්දව අමතක කරන්න කියලද 

    මට කියන්නේ මහින්දව ගෙදර යවලා දුමින්දව අමතක කරන්න කියලද 

    වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන්ගේ  සේවා කාලය නිමාවීමට නියමිතව තිබේ. ඔහුගේ සේවා කාලය නිමා වූ පසුව අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ඔහුට විශ්‍රාම සුවයෙන් පසුවීමට ඉඩ නොතබා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයා විදිහට පත්කර යැවීමට කටයුතු සම්පාදනය කර ඇති බව වාර්තා වෙනවා .

    රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී රටේ ආර්ථිකය සහ ජනතාව මත බදු පැටවීමේ ප්‍රධාන වගඋත්තරකරුවා ලෙස චෝදනා එල්ල කරමින් වර්තමාන අනුර කුමාර දිසානායක   ඇතුළු කණ්ඩායම මහින්ද සිරිවර්ධන දඬු කඳේ ගහන්නට එකල කටයුතු කළ බව අප කාටත් අමතක නොවේ . ලෝක බැංකු උවමනාවන් මත  ක්‍රියා කරන පුද්ගලයකු ලෙස ප්‍රකට මහින්ද සිරිවර්ධන ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස  පත් කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීන්දුව හරහා පුදුම සහගත නොවන අතර ඒ හරහා මතුවන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධීනත්වයට එල්ල වන මරු පහරේ මාරාන්තික සිතුවමයි .

    එපමණක්ද නොව  මහින්ද සිරිවර්ධනගෙන් හිස්වන මුදල් අමාත්‍යාංශ පුටුව සඳහා යෝජනා වී ඇත්තේ අනුරගේ ආණ්ඩුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුළංගමුව බව ද දැනගන්නට තිබේ.

  • ඇස් අන්ධ කළ බෙහෙත් ගෙන්වූ සමාගමට එරෙහි පියවරක් නෑ

    ඇස් අන්ධ කළ බෙහෙත් ගෙන්වූ සමාගමට එරෙහි පියවරක් නෑ

    දිවයින පුරා රෝගීන් රැසකගේ දෑස් අඳභාවයට හේතුවූ ආන්දෝලනාත්මක ප්‍රෙඩ්නිසීලෝන් අක්ෂි දියරය (Prednisolone eye drop) මෙරටට ගෙන්වනු ලැබූ සමාගම මේ දක්වා අසාදු ලේඛනගත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර නැතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හෙළි කරයි.

    පසුගිය කාල සමයේදී බාල ඖෂධ සහ වැඩි මිලට ඖෂධ ගෙන්වන ලද සමාගම් අසාදු ලේඛනගත කරන ලෙසට සිය සන්ධානය අවස්ථා ගණනාවකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය නමුත්, වත්මන් සෞඛ්‍ය පරිපාලකයන් දූෂිත හිටපු නිලධාරීන් සහ සමාගම් ආරක්ෂා කරමින් කටයුතු කරන බවට ද එම සන්ධානය චෝදනා කරයි.

    පසුගියදා පැවැති කෝප් කමිටුවේදී තමන් විසින් සඳහන් කළ ඉහත කරුණු සත්‍ය බව අනාවරණය වූ බවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ හා ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලකයන් යටතේ සෞඛ්‍ය පද්ධතියේ නියාමනය සහ සැපැයුම් නිසි තත්ත්වයට පත්ව නැති බවත් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

    මෙම ඖෂධය නිසා ඇස් අන්ධ වූ 17 දෙනෙකුට වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ ජනවාරි මාසයේදීයි.

    එපමණක් නොව මෙම ඖෂධය ගෙන්වීමට මූලික වූ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත් බව ඔහු පාර්ලිමේන්තුවේ දී පැවසීය.

  • දේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගය හරහා පොලීසියේ බොරුව හෙළිවෙයි

    දේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගය හරහා පොලීසියේ බොරුව හෙළිවෙයි

    2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කර තිබේ.

    පෙත්සම නිශ්ප්‍රභ කරමින් දේශබන්දු තෙන්නකොන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන අතර රුපියල් 10,521ක දඩ මුදලක් ගෙවිමටද වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර ඇත .

    මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලිම් රාශියක් තිබුණද එම සියලුම ඉල්ලීම් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නීතියට අනුකූල බවත්, එම නියෝගයට බලපෑම් කිරීමට අභියාචනාධිකරණය බලාපොරොත්තු නොවන බවත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෆාර් තාහීර් ප්‍රකාශ කර ඇත.

    මීට අමතරව දේශබන්දු තෙන්නකෝන් හට සැගවි සිටිමට උදව්කළ අය සඳහාද නීතිය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

    මෙම වෙඩි තැබීමේ සිද්ධිය සිදුවූ පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කොළඹින් පිටත්ව ගොස් සිටියදී වැලිගම W 15 හෝටලය අසල රැඳී සිටි සැකකටයුතු පුද්ගලයෙකු ඇල්ලීමට යාමේදී හෝටලෙන් නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

    නමුත් මෙම සිදුවීම සිදුවී කාලයක් තුළ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමාජවාදී පක්ෂය මේ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලදී. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පැවසුවේ දෙමටගොඩ අපරාධ කොට්ඨාශය භාවිතා කරන නිල නොවන ඝාතක කණ්ඩායමක් සිටින බව පැහැදිලි වන බවයි. මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ වැලිගම හෝටලයේ අයිතිකරු වන ජමල්ඩින් සහ එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර ඇතිවූ ව්‍යාපාරික ආරවුලක් මත මෙලෙස පොලිසිය යොදවා වෙඩි තබා ඇති බවයි. ඒ අනුව පොලීසිය ඒ මොහොතේ සිදුකල ප්‍රකශය අස්තයක් බව පුබුදු ජයගොඩ සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී.

    දැන් මාස කිහිපයකට පසු දේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගය හරහා එම මාධ්‍ය හමුවේදී හෙලිකල කරුණු සත්‍ය බව ඔප්පු වී තිබේ.