ත්‍රස්තවාදයට එරෙහිව විශේෂ පනතක් අවශ්‍ය නැති බවත්, දණ්ඩ නීති සංග්‍රහය තුළ ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපාදන තිබෙන බවත් තරුණ නීතිඥ සංගමය ඊයේ (04) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දී තිබේ.
මේ බව ප්‍රකාශ කළේ එම සංගමයේ නීතිඥ ස්වස්තිකා අරුලිංගම්ය. ත්‍රස්තවාදය ගැන සංකල්පය ‘විශේෂ වරදක්‘ ලෙස ජනතාවගේ හිසට ඇතුළු කොට, මිනිසුන් තමන්ගේම නිදහස පාවාදෙන තැනට මෙම පනතෙන් යොමු කරවන බව ඇය පවසා තිබේ.
ආණ්ඩුව ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයට අඳුරු යුගයක් ඇති වීමට නියමිත බව එම සංගමයේ නීතිඥ මිගාර ඩොස් එහිදී අදහස් දක්වමින් පෙන්වා දී තිබේ. ඔහු වැඩිදුරටත් කීවේ සිවිල් සමාජයේ ඇතැම් අය දැන් බැටලු හම් පොරවාගත් වෘකයන් මෙන් නිහඬව සිටින බවයි. ත්‍රස්තවාදී ක්‍රියාවකින් ජීවිත හානි කරන අය හෝ රාජ්‍ය බලය අල්ලන්නට උත්සාහ කරන අයට නොව, රජයේ තීන්දුවකට විරුද්ධව අදහස් දක්වන අයට පවා එරෙහිව මෙම පනත පාවිච්චි කළ හැකි ආකාරය පිළිබඳ ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මෙම පනතේ 82 වැනි වගන්තියේ බරපතලකම ගැන විශේෂයෙන් ඉස්මතු කර පෙන්වීය. ඔහු කීවේ, ජනාධිපතිවරයාට තමන්ගේ සිතැගි පරිදි පුද්ගලයන්ගේ හා සංවිධානවල නිදහස සීමා කිරීමට එම වගන්තියෙන් ඉඩ ලැබී ඇති බවය.
අප්‍රේල් 04 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති තරුණ නීතිඥ සංගමයේ එම මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්වල සංක්ෂිප්තයක් පහත දැක්වේ.
නීතිඥ මිගාර ඩොස් – තරුණ නීතිඥ සංගමය
රජය විසින් පාර්ලිමේන්තුවේ ත්‍රස්ත විරෝධී පනත සභාගත කිරීමට නියමිතයි. අද (04) දවල් වෙද්දී සභාගත කරයි කියලා ආරංචියක් තිබුණේ. මේ වන විට සභාගත කරලා නෑ. දැන් තියෙන දේශපාලන ආරංචිමාර්ග අනුව ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.
ජනවාර්ගික අර්බුදය උග්‍රව තිබුණ කාලසීමාවකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දුන්නා. ඒ පනත තාවකාලික පනතක් විදියට හඳුන්වාදුන්නත් දශක ගණනක් අඛණ්ඩව තාවකාලික නෙවෙයි, රටේ නීතියේ ස්ථීර කොටසක් විදියට එම පනත ක්‍රියාත්මක වුණා.
මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රජයට හෝ ජනාධිපතිට හෝ ආරක්ෂක අංශවලට හිතුමතයට අනුව වැඩ කරලා නිශ්චිත සාක්ෂි නැතත් රඳවා තබාගැනීමට හැකියාවක් තිබුණා. ප්‍රායෝගිකවත් එම නීති දශක ගණනාවක් ක්‍රියාත්මක වුණා.
1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විවේචනයට ලක් වුණා. එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලදී පොරොන්දුවක් දුන්නා ත්‍රස්ත පනත අහෝසි කරනවා කියලා.
වර්තමාන රජය ඒ පොරොන්දුව ක්‍රියාත්මක කරන මුවාවෙන් නැවත වතාවක් ත්‍රස්ත විරෝධී පනත කියලා නව පනතක් හඳුන්වාදීමට කටයුතු කරලා තියෙනවා.
අපට තියෙන ප්‍රශ්නය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භයානක වූයේ යම් සේද ඊට වඩා දෙගුණ තෙගුණ වූ බිහිසුණු භාවයකින් ප්‍රජාතන්ත්‍රවාදය රකින පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු නිදහසට මරු පහරක් එල්ල කරන කෘර පනතක් මේක.
ත්‍රස්ත විරෝධී පනතේ පූර්විකාවේ සඳහන් වෙනවා ත්‍රස්තවාදය කියන කාරණාව වැළැක්වීමට රජයට සුජාත අයිතියක් පවතිනවාය, අන්තර්ජාතික මානයන් හා ප්‍රමිතීන්ට අනුකූලව රජයට එසේ කිරීමේ බලයක් තියෙනවාය, ඒ අනුව තමයි මේ පනත හඳුන්වාදෙන්නේ කියලා.
ජාත්‍යන්තර මානයන් හා ප්‍රමිතීන් මොනවාද කියන එක සැලකිල්ලට ගන්න වෙනවා මෙම පනත එක්ක සංසන්දනය කරලා. ත්‍රස්තවාදය පිළිබඳ පනතක අත්‍යවශ්‍ය කොටසක් තමයි ත්‍රස්තවාදය නිර්වචනය කිරීම.
ජාත්‍යන්තර මානයන් පිළිබඳ නීති කෙටුම්පත් සකසන්නන් අවධානය යොමු කර ඇති බව කියන නිසා අන්තර්ජාතික වශයෙන් ත්‍රස්තවාදය නිර්වදචනයේදී කාරණා දෙකක්.
ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න පුද්ලයන් මරණයට පත් කරනවා නම්, ශාරීරික හානි කරනවා නම්,
දෙක ත්‍රස්තවාදී සංවිධානයක් ඔස්සේ රාජ්‍ය බලය ලබාගැනීම
යන කාරණාවන්ගෙන් තමයි ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ඇතුළත් විය යුත්තේ.
මේ පනත අධ්‍යනය කරද්දී ජාත්‍යන්තර මානයන්ගෙන් ඔබ්බට ගිහින් පුළුල් නිර්වචනයක් ලබා දෙනවා ත්‍රස්ත වරද සම්බන්ධව.
මේ පනතේ 03 වගන්තිය තමයි වරද නිර්වචනය කරන වගන්ති. ඒ වගන්තිය ප්‍රකාරව දැක්වෙනවා කිසියම් කණ්ඩායම් යම් කිසි දෙයක් කිරීමට හෝ නොකිරීමට රජයට බල කිරීම ත්‍රස්තවාදය කියලා.
මේක භයානක නිර්වචනයක්. මෙතැන ත්‍රස්තවාදී ක්‍රියාවකින් දේපළ හෝ ශාරීරික හානි කිරීමත් නෑ. හුදෙක් රජයට යමක් කරන්න හෝ නොකරන්න බල කිරීම පවා ත්‍රස්තවාදය බවට නිර්වචනය කරලා තයෙනව.
මේ අනුව රජය ආයතන පෞද්ගලිකරණය කරන්න එපා කියලා රජයට බල කිරීම, විදුලි බිල වැඩි කරන්න එපා කියලා රජයට බල කිරීම, දේශීය සම්පත් ආරක්ෂා කරන්න කියලා බල කිරීම පවා ත්‍රස්තවාදය කියන නිර්වචනයට දාන්න පුළුවන්.
මේක දේශපාලනඥයන්ගේ අභිලාශයන් මුදුන්පත් කරගන්න දාපු නිර්වචනයක්.
මේ නිර්වචනය ප්‍රකාරව සමාජයේ පොදු ස්ථානයකට හානි කිරීම හෝ අත්‍යාවශ්‍ය සේවාවක් පවත්වාගෙන යෑමට බාධා කිරීමත් මේ නිර්වචනයට ඇතුළත් වෙනවා.
වෘත්තිය සමිතියක් වෘත්තිය අයිතිවාසිකම් මත වැඩවර්ජනයක් කළොත් ඒකත් ත්‍රස්තවාදය වෙන්න පුළුවන්.
යම් පිරිසක් පොදු ස්ථානයක ගිය අවුරුද්දේ වගේ උද්ඝෝෂණය කිරීම පවා ත්‍රස්ත ක්‍රියාවක් විදියට ලේබල් කරන්න පුළුවන්.
මේක අපි ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කියන සන්දර්භය මත බැලුවාම බිහිසුණු හා බැරෑරුම් නීතියක්. මේකේ 10 වගන්තිය අනුව ත්‍රස්තවාදය දිරිගැන්වීමත් වරදක්.
මොකක්ද මේ, කලින් ත්‍රස්තවාදය නිර්වචනය කළානේ. වෘත්තිය සමිතියක්, ශිෂ්‍ය ව්‍යාපාරයක් හෝ පුරවැසි සංවිධානයක් අයිතීන් වෙනුවෙන් කටයුතු කිරිම ත්‍රස්තවාදයක් විදියට නිර්වචනය කළාට පස්සේ, ඒ පිළිබඳ සමාජ මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීම, මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීම, පත්තරයකට ලිවීමක් පවා ත්‍රස්ත වරදක් විදියට හඳුන්වන්න පුළුවන්.
මේක අනුව හෙට දිනයේ ඔබ ආමන්ත්‍රණය කරමින් මාධ්‍ය සාකච්ඡාවකවත් තියන්න වෙන්නෑ.
පනතේ 11 වගන්තියේ සඳහන් වෙනවා නිර්වචනය වූ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, උපදෙස් ලබාදීම, සංවිධානය කිරීම ත්‍රස්ත වරදක් කියලා.
වෘත්තිය සමිතියක් උද්ඝෝෂණ කිරීම, රාජ්‍ය සේවකයන් රජයට ඉල්ලීමක් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව එකතු වී අදහස් ප්‍රකාශ කිරීම, සාකච්ඡා කිරීම ත්‍රස්ත ක්‍රියාවන් වෙන්න පුළුවන්.
මෙතැන බරපතලම ක්‍රියාව තමයි මේ පුළුල් නිර්වචනය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් එක්ක පැහැදිලිව ඝට්ටනය වෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක සඳහන් වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය පවත්වාගෙන යන්න රජය විවේචනය කිරීම පරම අයිතියක් කියලා.
ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහය ගලා යන්න රජය විවේචනය කිරීම, ප්‍රශ්න කිරීම පුරවැසි වගකීමක් කියලා සඳහන්. මේක මූලික අයිතිවාසිකම්, ව්‍යවස්ථාව. මේ අයිතිවාසිකම්වලට මරු පහරක් එල්ල කරන පනතක් තමයි ත්‍ර්ත විරෝධී පන.
මේකේ තවත් සුවිශේෂ අංගයක් තමයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පැවතුණා අවුරුදු ගාණක්. එකේ රැඳවුම් නියෝග මත රඳවාගෙන තියාගෙන ඉන්න පුළුවන්. ත්‍රස්ත වැළැක්වීමේ පනත අනුව රැඳවුම් නියෝගය ගහන්න පුළුවන් ආරක්ෂක ඇමතිට.
දැන් නියෝජ්‍ය පොලිස්පතිට පුළුවන් රැඳවුම් නියෝග ගහන්න. මේ රටේ නියෝජ්‍ය පොලිසප්තිවරුන් 35කට වැඩි පිරිසක් ඉන්නවා. දැන් සමස්ත සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ බලය තියෙනවා. දැන් අපි දන්නවා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන ආකාරය. නියොජ්‍ය පොල්ස්පතිවරුන් පොලිස්පති වෙන්න සූට් මහනවා. දේශපාලනඥයන් එක්ක සම්බන්ධතා පවත්වනවා. එතකොට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට ඕනෑ වෙලාවක දේශපාලන වුවමනා මත රැඳවුම් නියෝග ගහන්න පුළුවන්.
එවන් තත්වයක් යටතේ අපි සමාජයක් විදියට මේ ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධ විය යුතුයි. නැති නම් උල්ලංඝනය වෙන්නෙ ඔබේ මගේ සහ සමාජයේ සියලුදෙනාගේ අයිතිවාසිකම්.
මේ සමාජය අපේ ලංකාවේ වසර ගණනාවක් පුරාවට මානව හිමිකම් ආරක්ෂකයන්, ක්‍රියාධරයන් කියලා කියපු මිනිස්සු බැටලු හම් පොරවාගත් වෘකයන් වගේ නිශ්ශබ්දව ඉන්නවා අතිශය බිහිසුණු පනතක් නීතිගත වෙන්න යද්දී.
අපේ සර්වජන ඡන්දය මත පත් වූ පාර්ලිමේන්තුවත් මේක සම්මත කරන්න යනවා ප්‍රතික්ෂේප වූ ජනාධිපතිවරයෙකුගේ වුවමනා මත.
මේ අනුව ඔබේ, මගේ අයිතිවාසිකම්වලට දැඩි අඳුරු කාලයක් උදා වෙනවා.
පුරවැසියන්, වෘත්තිකයන්, රැකියාවක නිරත වෙන අය, කම්කරුවන් විදියට මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අතිශය මර්දනකාරී නිතියට විරුද්ධ විය යුතුයි. නැත්නම් ගෑස් පෝළිම්වල අම්මලා තාත්තලා මැරෙද්දී, අපේ තියෙන රජය සම්පත් අමු අමුවේ කුණු කොල්ලයට විකුණද්දී කතා කරන්න බැරි වෙනවා. කතා කරන හැමෝම ත්‍රස්තයන් බවට පත් වෙනවා.
මේ පනතට ශ්‍රී ලංකාවේ පුරවැසියන් මීට කලිනුත් එකතු වුණා. පුරවැසි වගකීම මත රටක් විදියට එකතුවෙලා මේක පරාජය කරන්න ඕනෑ.
නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ- තරුණ නීතිඥ සංගමය
1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත වුණාට පස්සේ මෙච්චර කාලයක් අවුරුදු 40කට අධික කාලයක් ඒ පනත කොහොමද භාවිත කරලා තියෙන්නේ කියලා අපි දන්නවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරීම් තමයි සිද්ධකරලා තියෙන්නේ. අසූව, අනූව දශකවල මේ පනත එම අවස්ථවේ දේශපාලනික වශයෙන් එවක තිබුණ ආණ්ඩුවට විරුද්ධ වූ තරුණයන්ටත්, ද්‍රවිඩ පුද්ගලයන්ට විරුද්ධවත් මෑතකදී මේ පනත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාකාරීන්ටත් එරෙහිව භාවිත වුණා.
මෑතකම උදාහරණය ගත්තොත් වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ජීවන්ත යන තුන්දෙනාගෙන් අධිකරණය වසන්ත මුදලිගේව නිදහස් කළා, ඔහු සම්බන්ධයෙන් මේ පනත යටතේ අනාවරණය නොවන බව. හෂාන් ජීවන්තවත් නිදහස් කළා.
මේ පනත අවභාවිත කිරීමක් තමයි පාලකයන් කරන්නේ. මේ පනත සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළත් අන්තර්ජාතික පජාව තුළත් විරෝධයක් තිබුණා. මේක වෙනුවට වෙනත් නීති හඳුන්වාදීමට උත්සාහ කළා. 2017 ප්‍රතිත්‍රස්ත පනත කියලා කෙටුම්පතක් ගෙනාවා. ඒකත් සමාජයේ පිරිස් මැදිහත්වෙලා පරාජයට පත් කළා.
දැන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ගැසට් කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා ඉතා භයානක කෙටුම්පතක් විදියට තමයි මේ ත්‍රස්තවාදයට එරෙහි දැන් ගැසට් කළ එක හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
සමාජය තුළ විවිධ මට්ටමෙන් ක්‍රියාකාරී පුද්ගලයන් ඉන්නවා. ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති, ශිෂ්‍යයන්, සංවිධාන සහ ආණ්ඩුවේ තීන්දු ප්‍රශ්න කරන පුද්ගලයන් ඕනෑ තරම් සමාජයේ ඉන්නවා.
එවැනි ක්‍රියාකාරීත්වයන් අඩපණ කිරීමේ අරමුණෙන් ප්‍රතිපාදන රාශියක් ඇතුළත් කරලා තියෙනවා.
විශේෂයෙන් කෙටුම්පතේ තුන්වැනි වගන්තියෙන් ත්‍රස්තවාදය පිළිබඳ වරද හඳුන්වාදීලා තියෙනවා. පැහැදිලිව පේනවා ඉතාම පුළුල් පරාසයක ක්‍රියාකාරකම් රාශියක් ත්‍රස්තවාදය යටතේ වරදට ඇතුළත් කරලා තියෙනවා. මේක භයානක තත්වයක්. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස බරපතල විදියට උල්ලංඝනය වෙන්න පුලුවන් තත්වයක් විදියටයි අපි දකින්නේ.
මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍යය බලයේ මූලික අංගයක්. මේ කෙටුම්පත පරමාධිපත්‍ය බලයට අභියෝග කර නීතියත් විදියට තමයි ගේන්න උත්සාහ කරන්නේ.
ඒ එක්කම බැලුවොත් මේ කොටුම්පතේ 82 වගන්තියේ තියෙනවා විවිධ නියම කියලා කොටසක්. මේකේ ජනාධිපතිවරයාට තහනම් නියම නිකුත් කරන්න පුළුවන් අවස්ථා මොනවාද කියලා දක්වලා. ජනාධිපතිවරයා කියන්නේ දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජය කරමින් පත්වෙන කෙනෙක්. 82 වගන්තියේ තියෙනවා පනත යටතේ වරදක් කළා කියන සංවිධානයකට එරෙහිව ජනාධිපතිවරයාට පුළුවන් තහනම් නියමයක් නිකුත් කරන්න. මොනවාද මේ.
පනතේ තියෙනවා සංවිධානයේ සාමාජිකයන් සිටීම තහනම් කිරීම. බඳවාගැනීම තහනම් කිරීම. සංවිධානයේ අරමුණු මුදුන්පත් කරන්න ක්‍රියාකාරකම් කිරීම තහනම් කරන්න පුළුවන්. අරමුදල් රැස්කිරීම් තහනම් කරන්න පුළුවන්.
මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා.
මේ රටේ වෘත්තිය සමිති තියෙනවා. සංවිධාන තිබෙනවා. අපි කලින් කීවා තුන්වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදය කියලා පුළුල් පරාසයක වැරදි ඇතුළත් කරලා තියෙනවා. වැරදි යටතේ එකක් කළාය කියලා ඕනෑම සංවිධානයක ක්‍රියාකාරීත්වය අඩපණි වෙන විදියට ජනාධිපතිවරයාට තහනම් නියමයක් නිකුත් කරන්ප පුලුවන්.
වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන පමණක් නෙවෙයි මාධ්‍ය සංවිධානවල ක්‍රියාකාරීත්වයත් තහනම් කරන්න පුළුවන්. විවිධ ක්‍රියාකාරීත්වයට තහනම් නියම නිකුත් කරන්නට පුළුවන්.
යම් මොහොතක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වෙන්න නියමිතයි. මේ කෙටුම්පත ගෙනල්ලා තියෙන්නේ පුරවැසියන් එක්ක සාකච්ඡා කරලා නෙවෙයි. සමාජ කොටසක් එක්ක සාක්චඡා කරලා නෙවෙයි. දැන් තියෙන පනතටත් වඩා භයානක, බැරෑරුම් ප්‍රතිපාදන තියෙනවා.
අයිතිවාසිකම්වලට සහ නිදහසට බලපෑම් ඇතිකරන නීතියක් විදියට, මෙවැනි නීති අපි ප්‍රතික්ෂේප කරනවා. එහෙත් ආණ්ඩුව පැත්තෙන් මෙවැනි නීතියක් ගේනවා නම්, එවැනි නීති සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල සාකච්ඡාවක් තියෙන්න ඕනෑ. අඩු තරමේ ආණ්ඩුව මිනිසුන් එක්ක කතා කරන්න ඕනෑ, වින්දිතයන්ගේ අත්දැකීම් තියෙනවා. ඒවා සලකා බලන්න ඕනෑ.
සමාජයෙන් මෙවැනි පනතක් ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ දැන් තියෙන මර්දනකාරී පනත අහෝසි කරන්න කියලා. ඒක නොකර ඊට වඩා භයානක පනතක් ගේන එක තමයි දැන් කරන්නේ. ආණ්ඩුව කරන මේ උත්සාහය පරාජය කරන්න ජනතාව පෙළගැහෙන්න ඕනෑ.
නීතිඥ ස්වස්තිකා අරුලිංගම් – තරුණ නීතිඥ සංගමය
දැනටමත් සමාජයේ කොටස් පක්ෂ ඇතුළුව මෙම නව ත්‍රස්ත පනතට එරෙහි වෙලා ඉන්නවා. තරුණ නීති සංගමයක් මීට පෙර සිට දිගින් දිගටම ආපු ත්‍රස්ත විරෝධී පනත්වලට එරෙහිව කතා කරපු සංවිධානයක්. ආණ්ඩුව දිගින් දිගටම ප්‍රජාතන්තවාදයට එරෙහිව මේවැනි නීති ගෙනාවා.
ත්‍රස්ත විරෝධී පනත තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඊළඟ අදියර.1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවා. ඉන්පසු මුලින් දෙමළ ජනතාවට එරෙහිව එය පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාවට එරෙහිව යොදාගත්තා. 2000ක් විතර මුස්ලිම් ජනතාව අත්අඩංගුවට ගත්තා. ඒත්, ඒ බොහෝ අය පාස්කු ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.
දකුණ ත්‍රස්ත පනතේ බරපතලම. ඔවුන් බරපතලකම දැක්කේ මෑතකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී.
එහෙත් දැන් මුලු රටම දකිනවා මේ පනතේ භයානකකම ගැන.
දැන් මේ පනත පිළිබඳ මුළු සමාජයේම අදහස වෙනස් වෙලා තියෙනවා. සමාජ මතය වෙනස් වෙද්දී ආණ්ඩුව පවා කියන්න ගත්තා මේ ත්‍රස්තවාදය වැළැක් පනත අහෝසි කරන්න ඕනෑ බව. එහෙත්, ඔවුන් ඒක කීවේ අලුත් පනතක් ගෙන එන අරමුණෙනුයි. ඉන් පසු ඔවුන් වඩා භයානක පනතක් ගෙනල්ලා තියෙනවා.
මෙයින් මාධ්‍ය, අදහස් දැක්වීම පවා ත්‍රස්ත ක්‍රියාවක් විදියට නම් කරනවා.
දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වුණත් මිනිස්සු අපෙන් ඇහුවාම යම් සිදුවීමක් ත්‍රස්ත ක්‍රියාවක් විදියට අර්ථකතනය කළ හැකිද කියලා, අපට නීතිඥවරුන් විදියට අර්ථකතනය කරන්න අමාරුයි ආණ්ඩුව ත්‍රස්තවාදය කියන්නේ මොකටද කියලා. එතරම් අපැහැදිලියි ත්‍රස්තවාදය කියන අර්ථකතනය.
මේ පනතෙන් ත්‍රස්ත විරෝධී පනතේ ත්‍රස්තවාදය කියන එකට ඕනෑම දෙයක් ඇතුළත් කළ හැකි වේවි. මේ පනත සම්මත වුණොත් පාරට බැහැලා විරෝධයේ යෙදීමත් ත්‍රස්තවාදය විදියට හඳුන්වලා අත්අඩංගුවට ගන්න පුළුවන් බව හැඟෙන්න පුළුවන්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවුම් නියොග තියෙනවා. දැන් පවතින රැඳවුම් නියෝග සරල බසින් කිවොත් ජනාධිපතිට උදේ නැගිට්ටාම හිතෙනවා අහවලා ත්‍රස්තයෙක් කියලා. ඒ කෙනාව හිර කරන්න පුළුවන්.
ආණ්ඩුවට විරුද්ධව කතා කරන අය රඳවා තබන්න පුළුවන්.
අලුත් පනතේදී ජනාධිපතිගේ රැඳවුම් නියෝග ගහන්න බලය ඩීඅයිජජීලාට ලැබෙනවා.
ඒකේ ප්‍රශ්නය තමයි එමගින් අධිකරණයේ බලය විධායකයට ලබා දෙනවා. රැඳවුම් නියෝගයක් ගැහුවාම මහේස්ත්‍රාත්ට බෑ කෙනෙක්ව නිදහස් කරන්න. අලුත් පනත් කෙටුම්පතත් ඒ අධිකරණ බලය විධායකයට ලබා දෙනවා.
එපමණක් නෙවෙයි, මෙමගින් සන්නද්ධ හමුදාවටත් අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දෙනවා. ඇත්තටම ඒකෙන් සිද්ධවෙන්නේ සිවිල් අවකාශය ස්ථීරවම මිලිටරිකරණය කිරීමක්.
තවත් දෙයක් තමයි. අත්අඩංගුවට ගත් කෙනෙක්ට නඩු නොදමා නිදහස් කරන්න නීතිපතිට දෙන ඉඩකඩ. ඒ කියන්නේ කොන්දේසි මත ඔයාගේ කේස් එකට නඩු නොදමා ඉන්න නීතිපතිට පුළුවන්. නැවත නඩු දමන්නේ ඔබ වරදක් කළායැයි නීතිපති හැඟුණොත්. බැලූ බැල්මට ඒක හරි හොඳයි.
ඒත් දැන් සිද්ධ වෙන්න නියමිත දේ තමයි රජයට කෙනෙක්ව රිමාන්ඩ් කරන්න පුළුවන්. ඔවුන්ට සාක්ෂි නැතිව, ඔබව බියට පත් කරන්න පුළුවන්. ඉන් පසු නඩු නොදමා, නීතිපති කුමන හෝ මොහොතක නඩු දමනු ඇතැයි බියගන්වන්න පුළුවන්.
මේක අතීතයේත් පැවතුණා, අනීතික විදියට. දැන් ත්‍රස්ත විරෝධී පනතෙන් කරන්නේ, ආණ්ඩුව මෙතෙක් කල් අනීතිකව කරපු දේවල් නිත්‍යානුකූල කිරීම. කලින් නීතිවිරෝධීව කරපු දේවල් දැන් රටේ නීතිය බවට පත් වෙනවා.
මෙම ත්‍රස්තවාදය කියන එකේ දෘෂ්ඨිවාදය ගැන කතා කරන්නම්. සමහරු කියනවා මේ පනත් කෙටුම්පත වඩා යහපත් කරන්න පුළුවන් බව.
ත්‍රස්තවාදය පිළිබඳ දෘෂ්ඨිවාදය තමයි, ආණ්ඩුව අපට විශ්වාස කරවනවා ත්‍රස්තාවදය කියන්නේ අනෙකුත් අපරාධවලට එහා ගිය මට්ටමක තියෙන යම් භයානක අපරාධයක් විදියට. ත්‍රස්ත කියන වචනය පාවිච්චි කරන්නේම අප තුළ යම් බියක් ඇති කරන්න.
හැබැයි ත්‍රස්තවාදය කියන්න රාජ්‍යයට එරෙහි අපරාධයක්. එවැනි අපරාධවලට අදාලව විශේෂ පනත් අවශ්‍ය නෑ.
රජයට එරෙහිව හිංසනය යොදාගැනීම ගැන දැනටමත් දණ්ඩ නීති සංග්‍රහයේත්, අයිසීසීපීආර්, මහජන ආරක්ෂක ආඥා පනත වගේ නීතිවල රාජ්‍යයට එරෙහි හිංසනකාරී අපරාධවලට එරෙහි නීති තියෙනවා.
එහෙනම් දිගින් දිගටම ත්‍රස්තවාදය කියන දෘෂ්ඨිවාදය පතුරුවන්නේ ඇයි? ඔවුන් දන්නවා අපි අපේ අයිතිවාසිකම් සියල්ල පාවාදෙන්න ලෑස්තියි මේ ත්‍රස්තවාදය කියන සංකල්පයට තියෙන බිය නිසා. අපි අපේ සියලු අයිතීන් පැත්තකින් තියන්නම්, ත්‍රස්තවාදයෙන් අපවම ආරක්ෂා කියන හැඟීම ජනතාවට දෙනවා.
ඒ නිසා තමයි අප දිගමට කියන්නේ, සැබෑ ප්‍රශ්නය මේ පනත්වලින් වඩා හොඳ මොකක්ද කියන එක නොවන බව. ඕනෑ ත්‍රස්ත විරෝධී පනතක් ජනතා අයිතින් නැති කරනවා.
ඒ නිසා අපි වඩා හොඳ පනත මොකක්ද කියන විවාදසයට යන්නේ නෑ. සම්පූර්ණයෙන් මේ ත්‍රස්ත නීති අහෝසි කරන්න ඕනෑ.
රාජ්‍යයට එරෙහිව සිදු කරන අපරාධවලට දැනටමත් නීති තියෙනවා.
ආණ්ඩුව කියනවා නම් නවීන තත්වයන්ට ගැලපෙන නීති අවශ්‍යයි කියලා, අපට පුළුවන් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරලා ත්‍රස්තවාදය පිළිබඳ වරද ගැන අලුත් වගන්ති ඇතුළත් කරන්න.