Breaking News

පොතකින් කවියක් කියවමු. Nalinda Sanjeewa Liyanage 2026 දිත් කවි ලියමු.

ඇතැම් සැන්දෑ වරුවක අහසද කලාගාරයකි.


ආලෝකයේ සුදු ඉර බොඳවන සවස
මහජන ප්‍රදර්ශනයට සැරසෙයි අහස

පින්තාරු කොට වලා තීරයේ පින්තූර
තරු ප්‍රියාදරියකට භාර දී තෙලි කූර
ශිල්පියා කරපොවා බලනවා මහපාර
රසිකයන් කී දෙනෙක් එනවදැයි මේ පාර

බස්රියේ දුම් රියේ තෙරපි තෙරපී යනෙන
කුස්සියේ හාල් පොල් සිතින් යළි මැන බලන
නහුතයක් අනාගත හීන සැලසුම් කරන
ජනී ජනයා අතර කෝ එකෙක් උඩ බලන?

නැතත් ඇරයුම් පතක් ළඟාවෙයි චන්ද්‍රයා
පෙදෙහි රසහවු පුරුදු හිතමිතුරු රසිකයා

කලාගාරය පුරා මුදා සිය කාන්තිය
නිවාලයි අදත් ශිල්පියාගේ කාන්සිය.

නලින්ද සංජීව ලියනගේ.

නලින්දගේ මේ කවිය වර්තමාන මිනිසාගේ ක්ෂුද්‍ර ජීවන රටාව පිළිබඳව කදිම පැහැදිලි කිරීමකි.

“පින්තාරු කොට වලා තීරයේ පින්තූර
තරු ප්‍රියාදරියකට භාර දී තෙලි කූර
ශිල්පියා කරපොවා බලනවා මහපාර
රසිකයන් කී දෙනෙක් එනවදැයි මේ පාර”

මේ පද හතර මවන්නෙ අති දැවැන්ත චිත්ත රූපයක්. සැන්දෑ අහස තමයි කැන්වසය. හිරු තමයි සිත්තරා. රාත්‍රියට ඉඩ දීලා සමුගන්න පෙර හිරු එබිලා බලනවා රසිකයන් දිහා. ශිෂ්ටාචාරය ගලාගෙන ගියේ නිල් අහස පියස්ස කරගෙන. හිරු, වලාකුළු එතකොට හැම තරු රටාවකටම පුරාවෘත්තයක් තිබුණා . අහස මිනිස්සුන්ට හීන දකින්න තමන් ජයගන්න යන ලෝකයෙ විශාලත්වය ගැන කියන කවුළුවක් වුණා. මහා සාගර, කාන්තාර , මැද්දෙ ගෙවුනු සංචාරක දිවියට පාර ⁣කිවුවෙ අහස. මිනිස්සු එහෙමයි අහසට පෙම් බැන්දෙ.

ඒත් අනේ චිත්‍ර ශිල්පියට දකින්න ලැබුණේ එහෙම රසික සමාජයක් නෙමෙයි.

” බස්රියේ දුම් රියේ තෙරපි තෙරපී යනෙන
කුස්සියේ හාල් පොල් සිතින් යළි මැන බලන
නහුතයක් අනාගත හීන සැලසුම් කරන
ජනී ජනයා අතර කෝ එකෙක් උඩ බලන?”

නලින්ද අපිව අහසෙ ඉදන් එක පාරට මහ පොළවට අත අරිනවා. මේ මිනිස්සු මේ තරම් කුඩා කළේ කවුද? අහස , ගංගා වනාන්තර අතැර මිනිසා කුඩා බිම් කඩක , කොන්ක්‍රීට් කූඩුවක, සිල්ලර භාණ්ඩ කීපයක හිමි කරුවෙක් වූයේ කෙසේද?. අවම අවශ්‍ය තාවත් සපුරා ගත නොහැකි නිමක් නොවන සීමාවක් නැති පරිභෝජන අවකාශයක සිර කළේ කවුද?
ඉතින් මේ ශිල්පියට පොළවෙන්නම් රසිකයෙක් ලැබෙන්නෙ නැති ගානයි. ඒ නිසා ආයිත් ඔහු අහසටම නෙත් යොමනවා. මටනම් කවිය එතනින් ඉවරයි. ඒත් නලින්ද එතනින් අලුත් කවියක් පටන් ගන්නවා.

ජයන්ත කහටපිටිය

leave a reply