Breaking News

ඖෂධ හිඟය බරපතලයි – මුදල් තිබිලත් මිලදී නොගත් ආණ්ඩුව හිඟයට වගකිව යුතු නැද්ද?

ඉතාම සරල ඖෂධ වර්ග පවා රෝහල්වල නොමැති වීම හේතුවෙන් සායනික රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බව වෛද්‍ය වෘත්තීය සංගම් සහ වෘත්තිකයන් පවසමින් සිටියි.

ඊයේ (13) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවති මාධ්‍ය හමුවක දීද මෙම බව හෙළි කරන ලදී.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් අජන්ත රාජකරුණා ,

“රෝගීන් දිනෙන් දින මියගියා, නමුත් කිසිදු බලධාරියෙක් ඒකට කිසිදු පියවරක් ගත්ත බවක් පේන්න නැහැ. ඉතාම සරල ඖෂධ නැති නිසා සායනවල රෝගීන් දිනෙන් දින මරණයට පත්වීම වැඩිවෙනවා. බෝ නොවෙන රෝග සහිත සියලුම රෝගීන්ට මේ අනතුර තියෙනවා” යැයි පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික තේජන සෝමතිලක පැවසුවේ

“මේ සායනවල ප්‍රතිකාර සඳහා එන දියවැඩියා රෝගීන් විශාල ප්‍රමාණයක් මේ මික්ස්ටාඩ් ඉන්සියුලින් කියන ඉන්සියුලින් වර්ගය තමයි ලබාගන්නේ. ඒ ඉන්සියුලින් එකක් එළියේ රුපියල් 2000 කට අධික මුදලක් වෙනවා. අද වෙනකොට මේ මික්ස්ටාඩ් ඉන්සියුලින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නැහැ. විශේෂයෙන්ම සායනික ප්‍රතිකාර සඳහා එන රෝගීන්ට අධික මුදලක් වැය කරලා මේ ඉන්සියුලින් වර්ගය පිටින් ගන්න වෙලා තියෙනවා. මේ ඖෂධය නොගැනීම නිසා දියවැඩියා රෝගියකුගේ ජීවිතයට පවා තර්ජනයක් ඇතිවෙන්න පුළුවන්” යනුවෙනි.

ඖෂධ හිඟයට බලපෑ ඇත්ත හේතුව

ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ ඖෂධ හිඟය ඇතිවූ බව විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) පැවසුවේ පසුගිය ජුනි මාසයේදීයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසූවේ ඖෂධ හිඟය වළක්වා ගැනීම සඳහා මුදල් කළමනාකරණය කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවී ඇතැයි පෙනී යන බවයි.

මේ අතර ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම මග හැරවීමට කටයුතු කරන්නැයි කමිටු සභාපතිවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

කෝප් කමිටුව මෙසේ උපදෙස් ලබා දුන්නේරජයේ රෝහල්වල ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් කෝප් කමිටුවට පසුගිය වසරේ ජුනි මාසයේ කැඳවූ අවස්ථාවේදීය.

ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව නිර්දේශ ලබා දී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් වටිනා වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් බව චරිත හේරත් මෙහිදී පැවසීය.

එය එම ආධාර මුදලින් සියයට 28 ක් බවත් 2022 මැයි 18 දින වනවිටත් ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් සඳහා පමණක් නිර්දේශ ලබාදී තිබූ බවත් මෙහිදී සභාපතිවරයා පෙන්වා දී තිබුණි.

විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිගය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් මෙම ගැටලු සහගත තත්වය කඩිනමින් විසඳාගෙන අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට හැකි ඉක්මනින් ලබාදීමේ අවශ්‍යතාවය කෝප් කමිටුවේ මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

මේ අනුව ඉක්මනින් මුදල් යොදවා අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට කටයුතු කරන ලෙස චරිත හේරත් නිලධාරීන්ට නිර්දේශ කර ඇත.

තවද ඉන්දියානු ණය ආධාර වලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර (WB), ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර (WHO), ආසියානු සංවර්ධන බැංකු ආධාර (ADB) සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳවද වැඩිදුරටත් සාක්ච්ඡා විය.

විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකර නොමැති බවද මෙහිදී සඳහන් විය.

කෙහෙළියගේ සෙල්ලම

ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක හරහා ඖෂධ මිලදී ගැනීමට ඇති ඉතිරි මුදලින් ඖෂධ මිලදී ගන්නට ගිය බව පැවසුවද එහි සැඟවුණු ව්‍යාපෘතියක් තිබෙන බව මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජය දැනුවත් කළා. ඒ අතර ඖෂධ නියාමන අධිකාරිය තරු පන්තියේ හෝටලයක රැස්වී මේ ඖෂධ මිලදී ගැනීමට අනුමැතිය පළ කර ඇති බව එහිදී හෙළිකරනු ලැබිණි.

මෙම මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ 2022 වසර සහ 2023 වසරට අදාළ ඖෂධ ගෙන්වා ගැනීම අහිමිකරගත්තේ ගත්තේ ආණ්ඩුව බවයි. ඖෂධ ගෙන්වා ගැනීමට මුදල් වෙන් නොකර මේ හිඟය ඇතිකළේ ආණ්ඩුව බවයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලැබී මාස 7ක් 8ක් ගතව ඇති බවත් කෝප් කමිටුව පවා මෙම මිලදී ගැනීම් ප්‍රමාද වීම ගැන ප්‍රශ්න කර තිබියදී හදිසියේ දෙසැම්බර් මාසයේ මේ මිලදී ගැනීමට උත්සාහ කිරීම පිටුපස මොකක් හෝ කොන්ත්‍රාත්තුවක් ඇතැයි පැහැදිලිවෙන බව පුබුදු ජයගොඩ සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
බෙහෙත් හිඟ වෙලා ලෙඩ්ඩු මැරෙයි කියන එකයි අතර සම්බන්ධයක් නැහැ. බෙහෙත් හිඟ වූ එකට මේ ආණ්ඩුව වගකියන්නඕනා . කෙහෙළිය රඹුක්වැල්ලලා ඇතුළු සෞඛ්‍ය ඇමති ධූර දරපු අය කැබිනට් එක ජනාධිපති වගකිව යුතුයි. මොකද ජනාධිපතිවරයා බලයට ඇවිල්ලත් දැන් මාස 06ක් විතර වෙනවා. මේ තරම් කාලයක් ඇයි ඖෂධ ගෙන්නුවේ නැත්තේ කියන ප්‍රශ්නය තියෙනවා. මේගොල්ලෝ හැමදාම කරන්නේ මේ සෙල්ලම. එක ඖෂධ වෙන්න පුළුවන් ගල් අඟුරු වෙන්න පුළුවන් ඒක වෙනත් දෙයක් වෙන්න පුළුවන් මුලින්ම ගෙන්වා ගත යුතු කාලයේදී ඒවා ගෙන්න ගන්නේ නැතුව මුලින් හිඟයක් ඇතිවෙන්න හදනවා. හිඟය ඇති වුනාට පස්සේ හිඟය ගැන කියලා බයකරලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේවා ගෙවන්න සැලසුමක් තියෙන්නේ.

leave a reply