Breaking News

ගෝඨාට මුක්කු ගහලා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඩොලර් ඉල්ලන්න ලැජ්ජ නැද්ද?

ඩොලර් ඉල්ලන මනුෂට විදෙස් ගත ලාංකිකයෙකුගෙන් පිළිතුරක්

ජනමතයක් නැති, ජන ප්‍රසාදයක් නැති, ජනාධිපති වරයෙක් සහ අගමැතිවරයෙක් ඇතුළු කණ්ඩායමක් තමයි  ජනතා මතයට ඇහුම්කම් නොදී අද රට පාලනය කරන්නේ. රටේ ජනතාව එක හඬින් ප්‍රකාශකර සිටින්නේ ගෝඨාභය ජනාධිපතිවරයාටත්  පිං අගමැති රනිල් වික්‍රමසිංහටත් ගෙදර යන්න කියායි .  නමුත් ගෝඨාභය රනිල් වික්‍රමසිංහ සමඟ  අසික්කිත එකඟතා මත නව  කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරගෙන රට පාලනය කරන්න සූදානම් වෙනවා. මේ නඩයේ කමිකරු සහ විදේශ රැකියා  අමාත්‍යවරයා ලෙස පත් වී සිටින්නේ මනුෂ නානායක්කාර.

මනුෂ නානායක්කාර අද අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසුව පැවති සාකච්ඡාවකදී  ප්‍රකාශ කරනවා  රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා  රට තුළට ගෙන්වා ගත හැකි නම් ප්‍රශ්න විසඳන්නට පුළුවන් බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා යැයි කියා.

ජනතාවගෙන්  ප්‍රතික්ෂේප වෙච්ච වංචනික ලෙස තවදුරටත් බලයේ සිටින ජනාධිපතිවරයෙක්ට සහ  ජනතා කැමැත්ත අබමල් රේණුවක තරම් වත් නොමැති අගමැතිවරයෙක් යටතේ  අටවාගත්  මේ ආණ්ඩුවට මුක්කු ගැසූ මනුෂගෙන් අපි අහන්න කැමති ඔබ රටේ අර්බුදය විසඳන්නට  වීදෙස් ගත ශ්‍රී ලාංකිකයන් බිල්ලට ගන්න සූදානම් වන්නේ ඇයි කියා.

අර්බුද විසඳන්නට අවශ්‍ය කරන මුදල් තියන තැන් මේ රටේ ජනතාව ඕනෑවටත් වඩා ප්‍රකාශ කර තිබෙනවා. හැබැයි ඒවාට අත නොතියා, ඒවා ගැන කතා නොකර මනුෂලා උපක්‍රමිකව විදෙස්ගත ශ්‍රමිකයාගේ හිරි මාස සූරාගෙන කන්නට මාන බලන්නේ  රට බංකොලොත් කළ වැඩිහරියක් ඔවුන්ගේ ගජ මිතුරන් නිසා වෙනි.

මනුෂට අපි  යෝජනා කරනවා විදෙස් ගත ශ්‍රමිකයන්ට කෙළින්න ප්‍රථම අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ  බැඳුම්කරයෙන්  හොරාකාපු මුදල් කඩිනමින් නැවත ලබා ගන්න කටයුතු කරන්න. තිරු නඩේශන් සහ රාජපක්ෂ ගේ සහෝදරිය මංකොල්ල කෑ බව පැන්ඩෝරා පේපර්ස් වලින් හෙළි කර තිබෙන මුදල් නැවත ලබා ගන්න කටයුතු කරන්න. එපමණක්ද නොව මේ වනවිටත් ගෙවීමට නියමිත මගේ හැර තිබෙන සහ වංචනික ලෙස අය නො කරමින් සිටින මහා පරිමාණ ඔබගේ යාලුවන්ගේ  ආයතන වලින් බදු මුදල් නැවත ලබා ගන්න කටයුතු කරන්න.  විදෙස් රට වල තැන්පත් කර තිබෙන ආණ්ඩුවේ සහ හිටපු ආණ්ඩුවල හෙංචයියන් ගෙන් රටින් හොරකම් කරගෙන ගිය මුදල් නැවත අයකර ගන්න කටයුතු කරන්න.

අපි මෙසේ මනුෂ්‍යට මුදල් තියෙන තැන් ටිකක් මතක් කර දෙන්නේ  ඩොලර් බිලියන හතක් රට බාර ගන්න විට අතට ගත් වසර දෙකක් යන විට ඩොලර් මිලියනයක් දක්වා පහත හෙලූ හොරු නඩයක ගේ  බංකොලොත් ආණ්ඩුවකට මුක්කු ගහන්න ගිහින් ඒක ගොඩ ගන්න කියා වීදෙස්ගත ශ්‍රී ලාංකිකයාට දෙකට නවා අරින්නට පෙර  තමන්ගේ ගජ මිතුරන් පැත්තට හැරී ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්නට සිහිබුද්ධිය එන්නටයි.

හොරු රැකීමෙන් අර්බුදය විසඳන්නට හදන්නේ තවදුරටත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයාට සීනිබෝල පෙන්න නම් , ඔවුන් සතු මුදල් මංකොල්ල කා ගෙන නම් ආණ්ඩුව ඉතා ඉක්මනින් පෙරළා දමන්නට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ  එකතු වී කටයුතු කරන මොහොත වැඩි ඈතක නොවේ යැයි මතක් කර දෙමු.

මනුෂ උඹලා විටින් විට පැති මාරු කරමින් මේ රටේ ජනතාව ගොනාට අන්දමින් කළ දේශපාලනයේ අවසන් හෝරාව ගෙවී යන බව මතක තබා ගන්න. එහෙයින් තවදුරටත් අපේ මාළු අපේම ඇඟ මත තියා කපන්නට නුඹලාට ඉඩ නොදෙන බවත්  ජනතාවගේ  ඉල්ලීම් වලට ඇහුම්කම් නොදී ජනතා අප්‍රසාදයට පත් ජනාධිපතිවරයා ඇතුළු  දූෂිත මැර තක්කඩි ආණ්ඩුවක් ආරක්ෂා කරගන්න  ඉදිරිපත් වීම මගින් නුඹලා අපට පෙන්වා තිබෙන්නේ අපට ඇති හිතවත්කම නෙවෙයි  උඹලගෙ දේශපාලන ගජමිතුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නින්දිත ලෙස පෙනී සිටින  ජඩ ප්‍රතිපත්තියයි.

මනුෂ මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් කියනවා  ඩොලර් එවන ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබාදෙනවා කියලා. අපි ඔබට මතක් කර දෙන්න කැමති පහුගිය අයවැය ලේඛන වලින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට යෝජනා කරපු මොනවාද ඔබල ලබාදෙන්න කටයුතු කරල තියෙන්නෙ. අඩුම තරමේ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් ජීවත්වෙන රටවල තානාපති සේවය ක්‍රමවත්ව ලබා දෙන්න කටයුතු කර තිබෙනවා ද?  ඉදිරියේදී නිසි වැඩපිළිවෙළක් යටතේ සාර්ථක තානාපති සේවයක් ලබා දෙන්න ඔබට කටයුතු කරන්න පුළුවන් බවට පොරොන්දු වෙන්න පුලුවන්ද?

බංකොලොත් ආණ්ඩුවකට මුක්කු ගහලා   විදෙස්ගත ශ්‍රී ලාංකිකයාගේ  අවශ්‍යතාවයන් වෙනුවෙන් එකදු  වචනයක් කතා නොකර මුදල් ටික මංකොල්ල කන්නට මේ මොහොතේ පවතින ආර්ථික අහේනිය පෙන්වමින් කටයුතු කිරීම ලැජ්ජා සහගත නොවේ දැයි අපි අහානවා.

මනුෂ ඔබට වැඩිය අපට දුකයි අපේ රටේ මිනිස්සු ගැන. ඒ නිසා  තමයි  ගෝඨා ගෙදර පලයන් කියලා විදෙස්ගතව හිටියත් අපි පාරට බැහැලා කෑමොර දෙන්නේ. හැබැයි එවන් ජනතාද්‍රෝහී ජනතා අප්‍රසාදයට පත් වෙච්ච ආණ්ඩුවක් ගෙදර යවා ආණ්ඩුවට නායකත්වය දුන් ජනාධිපතිවරයාව ගෙදර යවන්නට ජනතාව සමග එකතු නොවී ඒ දූෂිතයන් රැකගන්න එකට හිටගත් නුඹ කෙරෙහි අපට ඇත්තේ පිළිකුලකි

විදෙස් ගත ශ්‍රී ලාංකිකයෙකි.

leave a reply