Breaking News

ආණ්ඩුව විගණකාධිපතිවරයෙකු  පත් නොකර හිස් පුටුවක් රකින්නේ ඇයි ?

අට මසක් ඉකුත්ව තිබියදීත් ස්ථිර විගණකාධිපතිවරයෙකු ධූරයේ නොසිටීම මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් හාස්‍යයට ලක්කිරීමකි.

රාජ්‍ය මූල්‍ය විගණනය යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ පරමාධිපත්‍යය බලය වඩාත් සුහුරු ලෙස උපයෝගී කරගත හැකි එක් කේන්ද්‍රීය ආයතනික භාවිතාවකි. එහි ශ්‍රී ලාංකේය අත්දැකීම 17 වන සියවසේ අවසන් කාර්තුව දක්වා දිවෙන්නේය. අදවන විට රාජ්‍ය අංශයෙහි ගිණුම් විගණනයට අවැසි අධිකාරී බලය ලත් තැනැත්තා වන්නේ විගණකාධිපතිවරයාය. එකී බලය දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාව මඟින් නිර්ණය කොට ඇත්තේය. මේ අනුව රාජ්‍ය මූල්‍යය විගණනය සහ මූල්‍ය විනය රටෙහි සෑම ක්ෂේත්‍රයකම ප්‍රගමනය නිර්ණය කරන එක් කේන්ද්‍රීය සාධකයක් බව අවිවාදිතය. එනිසාම වසර 2015 මැයි මස 15 වැනිදින සිට බලාත්මක කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණන ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා උචිත රාමුවක් නිර්මාණය කරන ලදී. “විගණන සේවා කොමිෂන් සභාව” යනු එලෙස ප්‍රතිනිර්මාණය කරන ලද ක්‍රියාවලියේ කේන්ද්‍රීය ආයතනයයි. දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 අ(1) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයා නිල බලයෙන්ම විගණන කොමිසමෙහි සභාපතිවරයාද වන්නේය. ඒ අනුව එකී කොමිසමට මේ වන විට සභාපතිවරයෙක්ද අහිමිව ඇත. එබැවින් මෙම ප්‍රමාදය සමස්ත විගණන සේවාවේ ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් කරනු ඇත්තේය.

මේ අනුව මෙරටේ අවසන් වරට විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ චුලන්ත වික්‍රමරත්නයි. ඔහු මෙම වසරේ අප්‍රේල් මස 08 වැනි දින විශ්‍රාම ලද අතර එතැන් පටන් ගෙවී ගොස් ඇති දින 265 ක කාල සීමාව තුළ ‘ජාතික විගණන කාර්යාලය‘ කටයුතු කොට ඇත්තේ නිශ්චිතව පත්කරන ලද විගණකාධිපතිවරයෙකු අහිමිවය. එහි වඩාත් කණස්සල්ල දනවන සිද්ධි දාමය වන්නේ මෙම පත්කිරීම හා සබැඳිව විධායක ජනාධිපති සහ ව්‍යවස්ථාදායක සභාව අතර උද්ගතව ඇති නොඑඟතාවයකි.

විගණකාධිපතිවරයා පත්කිරීම මුළුමනින්ම ව්‍යවස්ථාදායක සභාව සහ විධායක ජනාධිපතිවරයා සතු බලයක් සහ වගකීමක් වන්නේය. එහිලා ජනාධිපතිවරයා ඊට සුදුසු තැනැත්තෙක් නම් කොට යැවිය යුතු අතර ව්‍යවස්ථාදායක සභාව ඊට තම බහුතර අනුමැතිය ලබාදිය යුතුය. එහෙත් අදවන විට අවස්ථා හතරක් තුළ සිදුව ඇත්තේ නිශ්චිත විගණකාධිපතිවරයෙක් වෙනුවට වැඩබලන ප්‍රධානියෙක් නම්කිරීමයි. මෙලෙස අවසන් අවස්ථාවේ නම්කොට යවන ලද නාම යෝජනාව ද ව්‍යවස්ථාදායක සභාවේ අවම බහුතරය වන සාමාජිකයන්ගේ පස් දෙනෙකුගේ අනුමැතිය නොලද්දේය. මීට සමගාමීව සමාජය තුළ ගොඩනැගෙමින් පවත්නා විවිධ මතවාද කෙරෙහිද මාර්තු 12 ව්‍යාපාරයේ අවධානය යොමුවී ඇත. ඉන් එක් අදහසක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිල කාල සීමාව අවසන් වීමත් සමඟ අභිනවයෙන් පත්වන ව්‍යස්ථාදායක සභාව තම කාර්යයන් අරඹන තෙක් ජාතික ජනබලවේග ආණ්ඩුව කල් මරන්නේය යන්නයි.

මෙලෙස උද්ගතව ඇති අවිනිශ්චිත පසුබිම කිසිවිටෙක ප්‍රජාතන්ත්‍රීය පාලනයක ජීවය හෝ වටිනාකම් සුරක්ෂා නොකරන්නා සේම පුරවැසි අපේක්ෂා යටපත් කරන්නේය. එබැවින් මාර්තු12 ව්‍යාපාරය, අදාළ වගකිවයුතු පාර්ශ්ව වෙත පහත දැක්වෙන ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබේ.

01, ශ්‍රී ලංකා ජනරජයේ මූලික විගණන කාර්යය සිදුකල යුතු තැනැත්තා වන විගණකාධිපතිවරයා පත්කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව වහා පියවර ගත යුතුව ඇත. පශ්චාත් දිට්වා(හ්) සුළි කුණාටු සමයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද සිදුවෙමින් පවත්නා වකවානුවක විගණකාධිපතිවරයෙකුගේ අවශ්‍යතාවය වඩාත් තීව්‍ර වී ඇති බැවින් අදාළ බළධාරීන් එබැව් වටහා නොගැනීම හෝ නොසලකා හැරීම සාතිශය කණගාටුදායක කරුණකි.

02, නවීන රාජ්‍යකරණය යනු එකිනෙක සමීප ආයතන තීරණාත්මක විෂයයන් අරභයා පසමිතුරු වේශයෙන් කටයුතු කිරීම නොව නිසි සන්නිවේදන පද්ධතියක් ඔස්සේ රාජ්‍යයේ හිතසුව පිණිස එකම පද්ධතියක සමාන යාන්ත්‍රණ සේ තම බලය අභ්‍යාස කිරීමයි. එබැවින් මෙම සුවිශේෂී මොහොතේදී විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව නිසි සාකච්ජාවක් ඔස්සේ නොපමාව සුදුසු තීරණයක් ගැනීමට තීරණය කල යුතුය. එය, එකී ආයතන ද්විත්වයෙහි අත්හළ නොහැකි වගකීමක් හා වගවීමක් වන්නේය.

03, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර උත්තරීතර විගණන ආයතන සංවිධානයේ (International Organization of Supreme Audit Institutions (INTOSAI) ) විසින් සම්මත කොට ඇති ලීමා ප්‍රකාශනයට අස්සන් තබා ඇත්තේ වසර 1977 දීය. එබැවින් විගණකාධිපතිවරයා පත්කිරීම හා සබැඳිව අප සතුව ප්‍රබල ජාත්‍යන්තර බැඳීමක්ද ඇත්තේය. එපමණක් නොව වසර 2007 ශ්‍රී ලංකාවද එක්වූ මෙක්සිකෝ ප්‍රකාශනය මෙන්ම වසර 2009 දී එක්සත් ජාතීන් එකී ප්‍රකාශනයට අදාළව ඉදිරිපත් කොට ඇති නිර්ණායක කෙරෙහිද ශ්‍රී ලංකා රජය වෙසෙස් අවධානයක් යොමුකළ යුතුය. රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නෛතික භාවිතාව සහ එහි ආයතනික ස්වරූපය කවරාකාර විය යුතුද යන්න එමඟින් අවධාරණය කොට ඇත.

04, ස්ථිර විගණකාධිපතිවරයෙක් වෙනුවට වැඩබලන තැනැත්තන් අත්හදා බැලීම හා එකී පත්කිරීම දෙස දේශපාලන අධිකාරිය ගැඹුරු විචක්ෂණශීලීත්වයකින් නොබැලීම නිසා සිදුවිය හැකි ආසන්නතම හානිය වන්නේ මෙම මාහැඟි ආයතනයේ නිලවරම කෙරෙහි ජනතාව සැකසංකා පලකිරීම හා එහි ස්වාධීන පැවැත්ම අභියෝගයට ලක්වීමයි. අඛණ්ඩ කාර්යක්ෂමතාවයකින් මෙන්ම නිරවද්‍ය ක්‍රමවේද ඔස්සේ සමස්ත රාජ්‍ය තන්ත්‍රයේ විගණනය කෙරෙහි නිර්දේශ ඉදිරිපත් කල යුතු ප්‍රමුඛතම ආයතනය මෙලෙස යම් පමණකට අක්‍රීය කිරීම කලක් තිස්සේ සමස්ත රටම වෙලාගත් රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීමේ තවත් එක් ආරම්භයක්ද යන්න කෙරෙහි මාර්තු 12 ව්‍යාපාරය තම දැඩි අවධානය යොමුකොට ඇත්තේය.

05, මෙලෙස ගොඩනැංවෙමින් පවත්නා අයහපත් වාතාවරණය නිසැකවම පුරවැසි සමාජය වෙහෙසට හා කළකිරීමට පත්කරනු ඇත්තේය. ජාතික ජනබලවේග ආණ්ඩුව වඩාත් ප්‍රමිතිසහගත සහ උසස් රාජ්‍යකරණමය භාවිතාවක් ඔස්සේ රාජ්‍ය මූල්‍ය හැසිරවීම තම ඒකායන ප්‍රතිපත්තිය බව පූර්ව මැතිවරණ සමයේ ශපථ කරන ලද්දේ එක්වරක් පමණක් නොවේ. එබැවින් තමන් කෙරෙහි විශ්වාසය පලකල ඡන්දදායකයන්ගේ අපේක්ෂාවන් එලෙසම සුරැකීම තමන්ගේ කොන්දේසි විරහිත දේශපාලන ප්‍රතිශ්ඨාව බවට පත්කරගන්නා ලෙස මාර්තු 12 ව්‍යාපාරය එහි නායක කාරකාදීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනු ලැබේ.

ස්තූතියි.

රෝහණ හෙට්ටිආරච්චි
සම කැඳවුම්කරු
මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන්

leave a reply