මැතිවරණයේ පසුබිම – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම
1978 නව ජනරජ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වූ අටවන පාර්ලිමේන්තුව 2015 අගෝස්තු මස 17 වන දින පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පත් වූ මහජන නියෝජිතයින්ගෙන් සමන්විත වන අතර එය පළමු වරට රැස්වූයේ 2015 සැප්තැම්බර් මස 02 දිනදීය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 62(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර 5කි. ඒ අනුව පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බර් 02 දින දක්වා බලාත්මක වේ.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70(2) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව වසර 4 1/2 ඉක්මවූ වහාම එනම් 2020 මාර්තු මස 02 දින හා අංක 2165/8 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් එදින මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර මාර්තු 12 සිට 19 දින මධ්‍යාහ්න 12 දක්වා නාමයෝජනා භාර ගැනීමටද මැතිවරණය අපේ‍්‍රල් 25 දිනටද නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය මැයි 14 වන දිනටද නියම කරන ලදී.
එම නියමය අනුව යමින් මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා භාරගැනීම සිදුකරන ලදී.
මේ අතරතුර මාර්තු 10 දින ශ‍්‍රි ලාංකික කෝවිඞ්-19 ආසාධිත රෝගියා ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවිය(ශ‍්‍රි ලංකාවෙන් හමුවූ පළමු කොවිඞ් ආසාධිතයා වූ චීන ජාතික කාන්තාව ජනවාරි 29 වන දින වාර්ථාවිය. ඉන් පසුව කොවිඞ් ආසාදිතයින් වාර්තාවීම ආරම්භ වූ අතර එම හේතුවෙන් මාර්තු 16,17 සහ 18 දින ඇතැම් ප‍්‍රදේශවලට ‘පොලිස් ඇදිරි නීතිය’ ද පනවන ලදී. නමුත් වැඩිම නාමයෝජනා භාරගැනීම සිදුකල මාර්තු 19 වන දින ඇදිරි නීතිය පැනවූයේ නැත.
මැතිවරණය කල් දැමීම සහ නව මැතිවරණ දිනය
මාර්තු 21 වන දින අංක 2167/19දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් මැතිවරණ කොමිෂම දන්වා සිටියේ කොවිඩ්-19 තත්වය තුල මැතිවරණය අප්‍රේල් 25 වන දින නොපැවැත්වෙන බවත් නැවත මැතිවරණ දිනය ගැසට් නිවේදනයක් මගින් දැනුම්දෙන බවත්ය. මාර්තු 20 වන දින සිට දිවයින පුරාම ඇදිරි නීතිය පැනවීම ආරම්භ වු අතර එය පසුව ක‍්‍රමයෙන් දිස්ත‍්‍රික්ක කිහිපයකට සීමා වූ අතර පසුව රාත‍්‍රි 12 සිට පාන්දර 4 දක්වා සීමා විය. පූර්ණ වශයෙන් ඇදිරීනිතිය ඉවත් කරන ලද්දේ ජූනි 28 වන දින සිටය.
මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 31 හා අප්‍රේල් 1 දින ජනාධිපතිවරයා වෙත ලිිපි දෙකක් යොමු කරමින් ඉල්ලා සිටින ලද්දේ කොවිඞ්-19 වසංගතය නිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නිසි පරිදී සිදුකල නොහැකි නිසා මෙන්ම පාර්ලිමේන්තුව මාස 3ක් තුල කැදවීමට නොහැකි තත්වයක් උද්ගත වන බැවින් ඒ පිලිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසයි.එයට පිලිතුරු ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් 2020 අප්‍රේල් 06 දින ලිපියක් නිකුත් කරමින් නව මැතිවරණ දිනයක් ප‍්‍රකාශයට පත් කර මැතිවරණය පැවැත්වීමේ මැතිවරණ කොමිෂන් සභාවේ බලතලවලට ජනාධිපතිවරයා මැදිහත් වීමට අපේක්‍ෂා නොකරන බැවින් ශේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අදහස් නොකරන බවයි.
පසුව මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 20 දිනය හා අංක 2172/3දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් නව මැතිවරණ දිනය ලෙස ජූනි මස 20වන දින නියම කරන ලදී.
මෙම නව තත්වය නිසා පාර්ලිමේන්තුව මාස තුනක් තුල කැදවීමට නොහැකි වීම මගින් ව්‍යවස්ථා අර්බුධයක් ඇතිවන බවත් ඒ හේතුවෙන් ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමට ජනාධීපතිවරයාට බලයක් නොමැති බවත් ප‍්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත‍්‍රය අවලංගු කරන ලෙසත් ජූනි 20 දින මැතිවරණ පැවැත්වීම තහනම් කරන ලෙසත් ඉල්ලා දේශපාලඥයන් හා පුරවැසියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන ලදී. එම නඩුවේ මුලික විමසීම 18 වන දින සිට ජූනි 01 දක්වා සිදුකල අතර පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජූනි 01 වන දින ඒකමතිකව තීරණය කරන ලදී.
සෞඛ්‍යමය මාර්ගෝපදේශ ගැසට් කළ යුතුය.
කොවිඞ්-19 වසංගත තත්වය තුල මැතිවරණය පැවැත්වීම පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් වරයා විසින් ජූනි 1වන දින සම්පාදිත මාර්ගෝපදේශ සංග‍්‍රහයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදුන් අතර එය පසුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රසිද්ධ කරන ලදී.
පසුව මැතිවරණ කොමිෂන් සභාව ජූනි 10 වන දින අංක 2179/17 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් මැතිවරණ දිනය අගෝස්තු 5 දින බවට නිවේදනය කරන ලදී. එහෙත් එය මේ දක්වා ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර නොමැත.
මෙම මාර්ගෝපදේශ අනුව විශාල ප‍්‍රමාණයේ ප‍්‍රචාරක රැුලි පැවැත්වීම නිර්දේශ නොකරයි. මැතිවරණ ප‍්‍රචාරණයන්ද දැඩි සෞඛ්‍යමය ක‍්‍රියාමාර්ගවලට යටත්ව සිදු කිරීමට උපදෙස් දී ඇත.
මෙම මාර්ගෝපදේශවලට අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පෙරහුරු ඡන්ද විමසීම් සහ පෙරහුරු ඡෙන්දය ගණන් කිරීම් ගණනාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පවත්වන ලදී.
එසේම මෙවැර මැතිවරණයේදී මැතිවරණ ප‍්‍රචාරය සම්බන්ධ නීති අකුරටම ක‍්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව උත්සාහ ගනිමින් පවතී. ඒ අනුව එතෙක් අවසර දී තිබූ අපේක්‍ෂකයාගේ රුව සහ අංකය සිය නිවසේ සහ ප‍්‍රචාරක කාර්යාලයේ ප‍්‍රදර්ශනය කිරීමට තිබු අවසරයද ඉවත් කර ඇත.
මැතිවරණයේ අපෙක්‍ෂකයෝ
මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 ක් සදහා දේශපාලන පක්‍ෂ 40ක් සහ ස්වාධින කණ්ඩායම් 313 මගින් අපේක්‍ෂකයන් 7452 තරග වදියි.මැතිවරණයේදී සමානුපාතික නියෝජන ක‍්‍රමය දිස්ත‍්‍රික් මට්ටමින් මන්ත‍්‍රීවරුන් 196ක් තොරාගනු ලබන අතර ජාතික ලැයිස්තු මගින් මන්ත‍්‍රිවරුන් 29 දෙනෙකු තෝරාගැනීමට නියමිතය.
ස්වාධීන කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් වීම මගින් මැතිවරණයේ මෙහෙයවීම සංකීර්ණ කර ඇත. මැතිවරණයට ඉදිරිපත්වීමේ පුරවැසි අයිතිය පිළිගන්නා අතරම ඇතැම් දේශපාලන පක්‍ෂ සහ විශේෂයෙන්ම ඇතැම් ස්වාධින කණ්ඩායම් ඉදිරිපත් වී ඇත්තේ තම කණ්ඩායමේ ජයග‍්‍රණය අපේක්‍ෂාවෙන් නොව වෙනත් දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු වෙනුවෙන් ඡන්දපොල නියෝජිතයින් පත් කිරීමට, ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිත කම ලබාගැනීමට සහ ප‍්‍රචාරක අවස්ථා ලබාගැනීමට බව පැහැදිලිය. මෙම පුද්ගලික අරමුණු ඉටුකිරීම සදහා ඡන්ද පත‍්‍රිකාවේ දිග වැඩි කිරීමේ සිට විශාල අතිරේක වියදමක් සහ ශ‍්‍රමයක් වැය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවී ඇත.
ස්වාධින කණ්ඩායම් 34ක් ඉදිරිපත් වී ඇති දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ මෙම තත්වය වඩාත් කණගාටුදායකය. කොමිෂන් සභාව විසින් නියමකර ඇති ඇපමුදල ඉතා අඩු අගයක් ගැනීම ස්වාධින කණ්ඩායම් වැඩි වීමට එක් හේතුවකි.
පැෆ්රල් මැතිවරණ නිරීක්‍ෂණ සූදානම
පැෆ්රල් සංවිධානය පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර එම සියලූම කටයුතු කොවිඩ් 19 තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය නීත්‍යනුකූල සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව සිදුවෙමින් පවතී. සමස්ත මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ.
1.පූර්ව මැතිවරණ අවධිය
2.නිහඬ කාල සීමාව
3.මැතිවරණ දින
4.පශ්චාත් මැතිවරණ කාල සීමාව
පූර්ව මැතිවරණ අවධිය
පූර්ව මැතිවරණ අවධිය අප මැතිවරණය ප‍්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණ දිනය දක්වා සැළකිල්ලට ගනු ලබන අතර මෙවර මැතිවරණයේ ස්වභාවය අනුව එයද කොටස් දෙකක් යටතේ අපගේ නිරීක්ෂණයට භාජනය වේ. එනම්, මැතිවරණය ප‍්‍රකාශයට පත්කළ දිනයේ සිට මනාප අංක නිකුත් කිරීම දක්වා කාලය සහ එතැන් සිට මැතිවරණ දිනය දක්වා කාලය පූර්ව කාලය ලෙස සලකයි.
මෙම කාලය තුළ නිරික්ෂණ කටයුතු සඳහා දිගුකාලීන නිරීක්ෂකයින් 335 දෙනෙකු සෑම ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට යෙදවීමට කටයුතු කර ඇත. එමෙන්ම සෑම දිස්ති‍්‍රක්කයකම දිස්ත්‍රික් කාර්යාල පිහිටුවා ඇති අතර නිරීක්ෂණ කටයුතු සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් 25 දෙනෙකු ද ක්ෂේත‍්‍ර සම්බන්ධීකාරකවරුන් 25 දෙනෙකු ද ලෙස 50 දෙනෙකු යොදවා ඇත.
මීට අමතරව දිස්ත්‍රික් පැමිණිලි මධ්‍යස්ථාන සම්බන්ධීකරණය හා නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 25 දෙනෙකු දැනටමත් යොදවා ඇත. ඔවුන් දෛනිකවම ඒ ඒ දිස්ත්‍රික්කයේ තත්ත්වය අප වෙත විධිමත්ව වාර්තා කරනු ඇත.
පැමිණිලි කළමනාකරණ ඒකකය
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි කළමනාකරණය සඳහා පැෆ්රල් ප‍්‍රධාන කාර්යාලය තුළ නීතීඥ මණ්ඩලයකින් සමන්විත පැමිණිලි කළමනාකරණ ඒකකයක් පිහටුවා ඇත. මෙම ඒකකයට පැෆ්රල් නිරීක්ෂකයන්ගෙන්, දේශපාලන පක්ෂවලින්, ජනතාවගෙන් ඇතුළු සියලූ පාර්ශ්වයන්ගෙන් ලැබෙන පැමිණිලි අධ්‍යයනය කර අදාළ අංශ වෙතට යොමු කර පසුවිපරම් කිරීම සිදු කරනු ඇත.
සමාජ මාධ්‍ය නිරීක්ෂණය
පසුගිය ජනාධිපතිවරණයෙන් ලැබූ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙවර අප සැළසුම් කර ඇත. ඒ යටතේ,
*වෛරී ප‍්‍රකාශ
*සාවද්‍ය තොරතුරු
*නිවැරදි තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපනය
*ජාති, ආගම්, දේශපාලන කටයුතු සඳහා භාවිතය
යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් නිරීක්ෂණය කිරීමට කණ්ඩායමක් යොදවා ඇති. ඔවුන්ගේ නිරීක්ෂණය දෛනිකව නීතීඥවරයෙකුගේ අධීක්ෂණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන අතර මැතිවරණ කොමිෂන් සභාවේ අධික්ෂණයෙන් අනතුරුව එය අවශ්‍ය කටයුතු සඳහා Facebook ආයතනය වෙත යොමු කරන අතර කඩිනමින් ඒවාට ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් එකගතාවය පළකර ඇත.
තැපැල් ඡන්ද නිරීක්ෂණය
තැපැල් ඡන්ද දායකයන් මෙවර 753,037 අයදුම් කර ඇති අතර ඉන් 47,430 ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේප වී ඇත. මෙවර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූ දෙනාටම තැපැල් ඡන්ද අයදුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත. ඒ අනුව මෙවර වැඩිම තැපැල් ඡන්ද දායකයන් ප‍්‍රමාණයක් ඉල්ලූම්කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
පැෆ්රල් සංවිධානය දේශපාලන සංවේදීභාවයක් සහිත සහ ඡන්ද ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන 856 ක් තෝරා ගෙන ඇති අතර එම ඡන්ද මධ්‍යස්ථාන සදහා නිරීක්ෂකයින් යෙදවීමට සැලසුම් කර ඇත.
මැතිවරණ දින නිරීක්ෂණය
මැතිවරණ දිනය තුළ ස්ථානගත නිරීක්ෂකයින් 3000ක් යෙදවීමට අදාළ පුහුණුවීම් මේ වන විට ආරම්භ කර ඇති අතර එම පිරිස තෝරාගත් මධ්‍යස්ථාන සඳහා යොදවනු ඇත. ඡන්ද මධ්‍යස්ථානයක් අතරතුර තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 200 ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා නිරික්ෂකයින් 1000ක් යෙදවෙනු ඇත. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන යෙදවීමට අපේක්ෂා කරන අතර සමස්ථ නිරික්ෂණ ක්‍රියාවලිය සඳහා 5000ට වැඩි පිරිසක් යෙදවෙනු ඇත.
වාර්තාවී ඇති මැතිවරණයට අදාල සිදුවීම්
රට යථා තත්ත්වයට පත්වීමෙන් පසුව නිරීක්ෂණ කාර්යය ආරම්භ කල 2020.06.15 දින දින සිට ජූලි 01 වන දින දක්වා වාර්තා වී ඇති සමස්ථ පැමීණිලි සංඛ්‍යව 229 කි මේ අතරින් සිදුවීම් 114ක් තහවුරු කරගෙන ඇත. මෙම පැමිණිලි සලකා බැලීමේදී මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 10 ද, නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරය සම්බන්ධ පැමිණිලි 132 ද, පොදු දේපළ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා යොදාගැනීම් පිළිබදව පැමිණිලි 17 ද, ලැබී ඇත.
මධ්‍යස්ථානයට ලැබී ඇති මැතිවරණ පැමිණිලි සම්බන්ධයේ අදලා පියවරගැනීම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත සහ දිස්ත‍්‍රික් මැතිරණ කාර්යාල වෙත සාක්‍ෂි සහිතව පැෆ්රල් සංවිධානය විසින් පැමිණිලි යොමු කරන අතර මේ වන විට එවැනි ආකාරයට යොමුකර ඇති පැමිණිලි ප‍්‍රමාණය 182කි. ලැබී ඇති පැමිණිලි අතරමින් වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් ලැබී ඇත්තේ් මහනුවර දිස්ත‍්‍රික්කයෙන්ය.
නාම යෝජනා දින සිට කොවිඞ් කාලය තුළ පැමිණිලි 79 ක් වාර්තා වී ඇත. මෙම සිදුවීම් අතර වාර්තා වී ඇති සිදුවීම් සියල්ලටම සහනාධාර බෙදීම්වලට අදාළව වන අතර මෙහිදී රජය විශේෂ සහනාධාර වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළ අතර එහි ප‍්‍රධානම අංගය වූයේ රු.5000.00 දීමනාවයි. එය ආරම්භයේදී රාජ්‍ය නිලධාරීන් හරහා සිදුවුවද පසුකාලීනව දේශපාලන මැදිහත්වීම් හරහා සිදුවන බව වාර්තා විය. මෙවැනි ජාතික ව්‍යවසනයකදී සහනාධාර ලබාදීම රජයක වගකීම වුවද මැතිවරණයක් ක්‍රියාත්මක මොහොතක එය සංවිධානාත්මකව දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන ආකාරයට නොවිය යුතුය. එමෙන්ම එම කාලය තුළ අපේක්ෂයෙකු බවට පත්වී සිටින පළාත් පාලන ප‍්‍රධානීන් ද තම ආයතනවල සම්පත් සහනාධාර ලෙස බෙදා හැරීම හරහා දේශපාලන වාසියක් අත් කරගෙන ඇති ආකාරය නිරීක්ෂණය විය.
මැතිවරණ ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කොවිඞ් 19 වෛරසය ව්‍යප්තිය හේතුවෙන් රට වසාදැමූ කාලය තුළදීද පැෆ්රල් නිරීක්ෂකයන් පනවා තිබූ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව නිරීක්ෂණ කටයුතු වල නිරතවූ අතර එහිදී වැඩි වශයෙන් වාර්තාවූයේ දේශපාලන අරමුණු ඇතිව සංග‍්‍රහ කිරීම්ය.
එම නිරීක්ෂණයන්ට අනුව වැඩි වශයෙන්ම සිද්ධි වාර්තාවූයේ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙනි. ඊට අදාල වාර්තාවන් පහතින් දක්වා ඇත.
නාම යෝජනා දින සිට මනාප අංක නිකුත් කළ දින දක්වා (ලොක් ඩවුන් කල (2020.03.12 සිට ජුනි 22 දක්වා)
ඉන් අනතුරුව රට යථා තත්ත්වයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය සිය පුලූල් නිරීක්ෂණ ක‍්‍රියාවලියට අවතීර්ණ වූ අතර එහිදී සිද්ධි 229 සහ ඊට අදාල මැතිවරණ නීති උල්ලංඝනයන් 235 ක් මේ වන විට වාර්තාවී ඇති අතර ඉන් සිද්ධි 10 ක් බරපතල ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට අදාලව වාර්තාවූ ඒවා වේ. රාජ්‍ය බලය, දේපළ සහ නිලධාරීන් අයුතු ලෙස භාවිතයට අදාල නීති උල්ලංඝනයන් ගණන 17 කි. ඒ පිළිබඳ දත්ත පහත පරිදි වේ.
මනාප අංක නිකුත් කළ දින සිට මේ දක්වා (2020 ජුනි 22 සිට 2020 ජූලි 01 දින දක්වා)
රාජ්‍ය බලය සහ දේපළ අයුතු ලෙස භාවිතය මෑත කාලීන මැතිවරණ ඉතිහාසයේ අවිච්චින්නව ගලා එන මැතිවරණ අක‍්‍රමිකතාවක් ලෙස හැඳින්විය හැකි අතර එය මැතිවරණයක නිදහස් හා සාධාරණ බවට මෙන්ම ඡුන්දදායකයාගේ නිදහස් ජනමතයට පැහැදිලි ප‍්‍රබල බලපෑමක් එල්ලකරන්නක් වේ. දැනට වාර්තාවී ඇති ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අතර එකම දේශපාලන පක්ෂයක් අතර පවත්නා මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් හටගත් ගැටුම් වාර්තාවීම විශේෂත්වයක් වන අතර මෙම තත්ත්වය මැතිවරණයේ සාමකාමී බවට ප‍්‍රබල තර්ජනයක් ලෙස දැක්විය හැක.
පක්ෂ නායකත්වය මැදිහත්වීම මගින් මෙම තත්ත්වය මගහරවාගත හැකි බැවින් මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් ලෙස අප වගකිවයුතු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ තම පක්ෂය තුළ ඇතිවන ගැටුම් කළමණාකරණය කිරීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසය.
තවද මේ දක්වා මැතිවරණ ක‍්‍රියාවලිය තුළදී විශේෂව දැක්විය හැකි කාරණයක් ලෙස අපේක්ෂකයන් ඡුන්දදායකයන් වෙත ලබාදෙන ද්‍රව්‍ය සහ දීමනාවන් ඔවුන් සහභාගී නොවී ඔවුන්ගේ නමින් පවත්නා පදනම් හෝ සංවිධාන හරහා ලබාදීම සහ ඔවුන්ගේ නියෝජිතයන් හරහා ලබාදීම දැක්විය හැක.
මෙවැනි කූඨ උපක‍්‍රම හරහා මැතිවරණ ව්‍යාපාරය ගෙන යන අපේක්ෂකයන් පිළිබඳ ඡුන්දදායකයන්ගේ අවධානයට ලක්වීම අතිශය වැදගත් බව අපගේ හැඟීමයි.