” චෙම්මනි නැවත වළ දැමීමට ඉඩ නොදෙනු ! සත්‍ය හෙළිදරව් කරනු ! ” මැයෙන් සම අයිතිය ව්‍යාපාරය යාපනය තන්දෙයි චෙල්වා ශාලාවේදී අද ( 2025. 11. 01 ) දින පස්වරු 3.00ට සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.
එහිදී අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා.
“චෙම්මනි නැවත වළ දැමීමට ඉඩ නොදෙනු !” කියන සාකාච්ඡාව සමාජය ඉදිරියේ තබන්නට ඇයි මේ වෙලාවේ සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි කටයුතු කරමින් ඉන්නේ ? චෙම්මනි ඇතුළු සියදහස් ගණන් සමූහ මිනීවලවල් මේ මහපොළොව යට තියනවා. අමානුෂික විදිහට ඝාතනය වුණු ඒ මිනිස්සුන්ට තවමත් කිසිඳු යුක්තියක් ඉටු වෙලා නැහැ. ඉතින් මේ අපරාධවලට යුක්තිය ඉල්ලා සඨන් කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ අපිට. චෙම්මනි කියන්නේ පස්වලට යට කරලා අමතක කරලා දාන්න පුලුවන් ඛේදනීය සිහිනයක් නෙවෙයි. මුළු මහත් ශිෂ්ටාචාරය විසින්ම චෙම්මනි සමූහ ඝාතනය සඳහා යුක්තිය ඉල්ලන්නේ නැවත එවැනි අපරාධ සිදු නොවීම පිණිස. අපරාධ නොකරන සමාජයක් හැදෙන්න නම් අපි සිදුවුණු අපරාධවල සත්‍ය සමාජයට හෙළිදරව් කරන්න ඕන. ඒ විතරක් මදි මේ දැවැන්ත අපරාධවලට දායක වූ ඝාතකයින්ට ඳඬුවම් ලැබෙන්නත් ඕන. අන්න ඒ සඳහා තමයි සම අයිතිය ව්‍යාපාරය විදිහට අද යාපනය නගරය ඇවිත් ඔබ එක්ක මේ සාකාච්ඡාව ආරම්භ කරන්නේ.
මම අද සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු වුනාට 88 – 89 කාලේ මම තමයි යුද්ධ හමුදාවේ නිත්‍ය ඡායාරූප ශිල්පියා විදිහට කටයුතු කළේ. ඒ කාලේ මට මතකයි බටලන්ද ඇතුළු වධකාගාරවල දහස් ගණනක් අමානුෂික විදිහට ඝාතනය වුන විදිහ. ඒ ඝාතනය වූවන්ගේ ඡයාරූප ගත්තේ මම. ඒ නිසා රෝහණ විජේවීර ඇතුළු දහස් ගණනක් ඝාතනය වූවන් වෙනුවෙන් මට සාක්ෂි දෙන්න පුලුවන්. අසූව දශකයේ ඒ මහා ඛේදවාචකයට පස්සේ ඒ ඝාතනවලට යුක්තිය ඉටු කරනවා කියලා බලයට අවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි දැක්කා චන්ද්‍රිකා ජනාධිපතිනිය කඳුළු පිසිමින් සූරියක්න්ද සමූහ මිනී වළ හාරනවා. හැබැයි ඇයගේ හැරීම එක්තරා සීමාවකින් නැවතුනා. ඇයි ඒ ? ඒ ඊට වඩා යටට හෑරුවනම් ඊටපස්සෙ මතුවෙන්නේ එයාගෙම අම්මා වළදාපු මිනී.
ඊටපස්සෙත් පාලකයෝ අතුරදන් වූවන්ගේ මව් පෙරමුණු හැදුවා. අම්මලාගේ කඳුළු විකුණුවා. කොමිශන් සභා පත් කළා අතුරදන් වූවන් ගැන හොයන්න. මම එදා සිරකරුවෙක් විදිහට මාංචු පිටින් මේ කොමිශන් සභාවලට ගිහින් සාක්ෂි දුන්නා. පිටු ගණං ලිඛිත කටඋත්තර ලබා දුන්නා. හැබැයි මේවට මොකද වුනේ ? කිසිවක්ම වුනේ නැහෑ. සමූහ මිනීවලවල් පස් යටම වැහිලා ගියා. කොමිශන් සභාවලින් අන්තිමට වුණු දෙයක් නෑ.
තරුණියන් සිය ගණං මේ වධකාගාර ඇතුළේ හමුදා ප්‍රදානීන් අතින් දිනපතා දූෂණය වුනා. මම දවසක් යටාරව කැපටේරියා වධකාගාරයට ඡායාරූප ගන්න යනකොට දැක්කා තරුණියෝ දහදෙනෙක් බලහත්කාරයෙන් රඳවගෙන ඉන්නවා. ඔවුන්ට දරුණු විදිහට වද දීලා. ඒ කාලේ මේ වධකාගාරය පාලනය කරපු කර්නල් තුවාන් මුතාලිෆ් කියන අලුගෝසුවා මේ තරුණියන්ව මරා දැමුව කියලා හමුදාවට නිල වශයෙන් දැනුවත් කරලා ඒ තරුණියන්ව රහසිගතව මේ වධකාගාරයේ කාමරවල හිරකරගෙන හිටියා. දිනපතා ඔවුන්ව සමූහ දූෂණයට ලක් කලා. අන්තිමට වධකාගාරය අත් හරින දවසේ තමයි ඒ තරුණියන් දසදෙනාව මරල දාලා තිබුණේ. ඒ මුතාලිෆ් ඊටපස්සෙ 90 දශකයේ උතුරට ගිහිල්ලත් කලේ එවැනිම අළුගෝසු ක්‍රියා තමයි. හැබැයි අද ඔහුව යුද වීරයෙක් විදිහට දකුණේ සමාජය අදහනවා. මේ එක සිද්ධියක් විතරයි. මෙවැනි සිදුවීම් දහස් ගණනක් එදා සිදු වුණා.
අද අපි කතාකරන චෙම්මනි සමූහ මිනීවල කියන්නෙත් මේ වගේම ඛේදනීය කතාවක් සඟවගත් තැනක්. එදා ක්‍රිශාන්ති කුමාර්ස්වාමී කියන පාසල් දැරිවිය අමානුෂික විදිහට දූෂණය කරලා ඝාතනය කළේ මේ චෙම්මනි ප්‍රදේශයේදී. ඇයගේ අතුරදන් වීම සොයාගෙන ගිය ක්‍රිශාන්තිගේ අම්මවත් එතනින් එහාට ඇයගේ පවුලේ විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේදී හමුදාව අතින් ඝාතනය වුනා. ඒ හැමෝවම ඝාතනය කරලා වල දාලා තිබුණේ චෙම්මනි සමූහ මිනීවල ඇතුලේ. මේ මිනීවල ගැන මුල්වරට රටට හෙළිදරව් වුනේ ක්‍රිශාන්තිගේ ඝාතනයට විරුද්ධව අත් අඩංගුවට ගත්ත සෝමරත්න රාජපක්ෂ කියන හමුදා නිළධාරියාගේ සාක්ෂියක් එක්ක. එදා දූෂණය කරලා මරලා දාපු ක්‍රිශාන්ති කුමාරස්වාමි කියන පාසල් දැරිය ඇතුළු දෙතුන් සියයක් ඝාතනය වූවන් මේ ප්‍රදේශයේ වලදැම්මා කියලා ඔහු සාක්ෂි දීලා තිබුණා.
අපි දන්නවා 1997 දී අම්පාරේදී කෝනේශ්වරී මරාදමන්නේ පොලිස් නිලධාරීන් දසදෙනෙක් එකතුවෙලා දූෂිණය කරලා. ඊටපස්සෙ ඇගේ යෝනියට අත්බෝම්බයක් දාලා පුපුරුවා හැරියා. ඒ වෙද්දි ඇය දෙදරු මවක්. අපි දැක්කා එදා මේ වගේම තමයි මනම්පේරී තරුණිය ඝාතනය කළේ. හැබැයි ඇගේ මරණයට තරම්වත් පවුල් පිටින් සමූළ ඝාතනය වුනු චෙම්මනියේ ක්‍රිෂාන්ති කුමර්ස්වාමි වෙනුවෙන් සමාජය සංවේදි වුනේ නෑ. මේ වෙද්දි ඇය මියගිහිල්ලා අවුරුදු 29ක්. චෙම්මනි සමූහ මිනීවලේ මුල්ම කැණීම් ආරම්භ වුනේ 1999 අගෝස්තු මාසේදි. ඒ කියන්නේ චෙම්ම්නි ප්‍රශ්නය උඩට ඇවිල්ලත් අවුරුදු 26ක්. එදා සුන්දර ප්‍රදේශයක් වුණ චෙම්මනිය කියන්නේ මුළු මහත් මිනිස් ශිෂ්ටාචාරයම භීතියෙන් කිලිපොළා යන විදිහේ අපරාධ සිදුවුණු භූමියක් වෙලා ඉවරයි.
දැන් යුද්ධය අවසන්වෙලා අවුරුදු 17ක් ගෙවිලා ඉවරයි. එහෙම මොහොතක චෙම්මනි සමූහ මිනී වල ගැන සාකාච්ඡාව ආයෙමත් සමාජය ඉදිරියේ තියනවා. අවුරුදු 26ක් තිස්සේ පත් වුණු ආණ්ඩු මේ මහා අපරාධය ගැන සිදුවුණු පරීක්ෂණ යටගහන්න විවිධ උත්සාහයන් ගත්තා. චෙම්මනි සමූහ මිනීවලේ කැණීම් කරන්න ප්‍රතිපාදන වෙන් වුනේ නැහෑ. එවැනි තත්වයක් ඇතුලේ තමයි මිනිස්සු ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ගෙනාවේ. හැබැයි ඔවුනුත් චෙම්මනි ප්‍රශ්නය මාධ්‍ය සංදර්ශනයකට සීමා කරලා. චෙම්මනි සමූහ මිනී වලේ තියෙන ඇටසැකිලිවල අයිතිකාරයින් කවුද ? ඔව්න්ව ඝාතනය වුනේ කොහොමද ? ඒ ඝාතකයින් කවුද ? කියන ප්‍රශ්න තවමත් සමාජය ඉදිරියේ තියනවා. ඒවට උත්තර නොදී මගහැර යන්න අපිට අයිතියක් නැහෑ. ජාතිවාදයේ තුවාල සුවපත් වෙන්නේ සිදුවුණු අපරාධවලට යුක්තිය ඉටු වුණොත් විතරයි. හැබැයි ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙන්න සූදානම් නැත්තම් සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි ඉඩ තියන්නේ නෑ චෙම්මනි සමූහ මිනී වල පස් යට වල දමන්න.
චෙම්මනි සමූහ මිනී වල ඇතුළු පසුගිය ආණ්ඩු ගණනාවක් විසින් ඝාතනය කල අතුරදන් කල සියල්ලන් ගැන විධිමත් පරීක්ෂණයක් වෙන්න ඕන. ඒ සඳහා මූලික පියවර චෙම්මනියෙන් ආරම්භ කරන්න ආණ්ඩුවට පුලුවන්. ඒ වගේම තමයි ලංකාවේ ජාතික ගැටලුව විසඳීම සඳහා ප්‍රවේශයක් ගැනීමේ වගකීමත් මේ ආණ්ඩුවට තියනවා. හැබැයි ආණ්ඩුව නෑසු කනින් මේ දේවල් දිහා බලාගෙන ඉන්නව නම් අපි හිතනවා ජනතාව ඒ සඳහා මැදිහත් වෙන්න ඕන. උතුරේත් දකුණේත් සියලු ජනතාව එකතුවෙලා චෙම්මනි ඇතුළු මෙවැනි ඝාතනවලට යුක්තිය ඉල්ලා සඨන් කරන්න ඕන කාලය දැන් ඇවිත්. අපි හිතනවා එවැනි සමූහ පරිකල්පනයකින් මෙහා යුක්තිය දිනාගන්න වෙන්නේ නෑ. ඒ සටන සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, මලෛහ මක්කල් සියලු ජනතාව එක්ක අත්වැල් බැඳගන්න සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි සූදානම්. “






