ලෝක පරිසර දිනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැලැස්ම මාධ්‍ය වෙත දැනුම් දීමට (මැයි25) පැවති මාධ්‍ය හමුවේදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ආණ්ඩුව පාර්ශවය නියෝජනය නොකරන පරිසරවේදීන්ට සියුම් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඔහු එම ප්‍රකාශයේදී හුවා දක්වන්න උත්සාහ කළේ, ආණ්ඩුවේ පරිසර වැඩපිළිවෙල විවේචනය කරන පරිසරවේදීන් යම් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව වැඩ කරන්නන් ලෙසයි.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ අදහස වුණේ
විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ පරිසරය සම්බන්ධයෙන් සියලු දෙනා සංවේදී කියලා. පරිසරය සම්බන්ධයෙන් කටයුතු කරන පරිසරවේදීන් බොහෝ පිරිසක් ඉන්නවා.
මේ පරිසරවේදීන් අතරින් පිරිසක් ඉන්නවා කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙන.ඉතින් ඔවුන්ගේ ප්‍රමුඛතාවය ලැබෙන්නේ පරිසරය ඇසුරු කර ගනිමින් ඒ දේශපාලන න්‍යාය පත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමයි.
ඔවුන්ට ඒ අනුව කටයුතු කරන්න සිදු වේවි.
කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව කටයුතු කරන පරිසරවේදී, පරිසර සංවිධාන සියල්ලෙන් අපි ඉල්ලා සිටින්නේ මේ මොහොතේ තියෙන ගෝලීය අභියෝගය ජයගැනීමේදීත් ජාතික වශයෙන් අපි හමුවේ තියෙන අභියෝග ජය ජයගැනීමට සුභවාදී ආකල්පයක් ගොඩනගන්න කියලයි.
ඔහු එසේ සියුම් විවේචනයක් තමන්ගේ ගොට්ටේ නැති පරිසරවේදීන්ට එල්ල කරන විට අපට විමසා බැලීමට සිදුවෙනවා වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව සංවර්ධන ව්‍යාපෘතිවලට යටව එල්ල කළ පරිසර බලපෑම මොකක්ද කියන එක පිළිබඳව.
මෑත කාලයේ ජනතා විරෝධය පැන නැගුණු මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කීපයක් සහ ආණ්ඩුවේ හිතවතුන් මැදිහත් වූ පරිසර විනාශකාරී අවස්ථා කීපයක්.
- ආණ්ඩුව නිහඬව සිටියදී සමාගම් 17 ක් හම්බන්තොට අලි කළමනාකරන රක්ෂිතයේ අක්කර 1000 පමණක වනාන්තර එළිපෙහෙළි කිරීම.
- හෝමාගම දියගම රක්ෂිතය ආරක්ෂා කිරීමට පෙනී සිටීම.
- බෝටිය තැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ ගිනි තැබීමට එරෙහි වීම.
- දෙමළිය අලි නිජබිමේ ගැටලුව ගැන කතා කිරීම.
- වසර 21 ක් ප්‍රමාද සිංහරාජයේ ඉඩම් පවරා ගැනීමට බලකිරීම.
- ආයෝජකයන් පිනවීමට අලි එළවීම නතර කරන්නට කියා ආණ්ඩුවට බලපෑම් කිරීම.
- ඊ.එම් බස්නායක සහ ජගත් මනුවර්ණ නකල්ස් විනාශ කිරීමට එරෙහිව විරෝධය පෑම.
- මන්නාරම දූපත බලශක්ති ව්‍යාපෘති මගින් විනාශ කිරීමට එරෙහිව නැගී සිටීම.
මෑත කාලයේ ආණ්ඩුවේ ගොට්ටට බැස්සෙ නැති පරිසර සංවිධාන සහ පරිසර වේදීන් බලපෑම් සහගතව පෙනී සිටි අවස්ථාවන් කිහිපයක් තමයි අපි එසේ උදාහරණ ලෙස පෙන්වා දුන්නේ. ආණ්ඩු හිතවාදී පරිසරවේදීන් මේ සියල්ල නොදැක්කාසේ සිටිනන විට ආණ්ඩුවෙන් පරිබාහිරව ස්වාධීනව සිටි පරිසරවේදීන්ගේ සහ පරිසර සංවිධාන ජනතාව සමග එක්ව බලපෑම් නොකළා නම් බොහෝ දේවල් ආණ්ඩුව තමන්ගේ හිතුමතේට විනාශ කිරීමට ඉඩ තිබුණි.
හම්බන්තොට වන විනාශයත් අලි නිජබිමත් විනාශ කරමින් ආණ්ඩුව දිගින් දිගටම විරෝධය නොතකා ඉදිරියට ගෙන යන්නට ගිය ව්‍යාපෘතියක් වන සෝල ව්‍යාපෘතිය පිළිබඳව යළි සලකා බැලීමේ තත්ත්වයට පසුබසින්නට සිදු වුණේ මේ ස්වාධීන පරිසරවේදීන් සහ ජනතාවගේ මැදිහත්වීම නිසයි.
ආණ්ඩුවේ උදවිය නිතරම කියනා ආකාරයට අපි හොඳ නිසා සියල්ල හොඳින් සිදුවෙනවා කියන උදාන වාක්‍ය පෙරටු කරගෙන අප සියළු දෙනා ආණ්ඩුව වටා කරකැවිය යුතු නැත.






