Day: June 20, 2022

  • ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් ජන අරගල ව්‍යාපාරයෙන් පෙත්සමක්

    ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් ජන අරගල ව්‍යාපාරයෙන් පෙත්සමක්

    නීත්‍යානුකූලව ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාදීම අභියෝගයට ලක් කරමින් ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුවගේ නමින් අද ජුනි 20 ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම සිදු කරන ලදී. එම නඩුවට අදාළව මෙම කරුණු ඇතුළත් විය.

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව අනුව ලංකාවේ පරමාධිපත්‍යය බලය ලංකාවේ ජනතාව සතු වන අතර ඡන්ද බලය පරමාධිපත්‍ය බලයට ඇතුලත් වේ.

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99A වන ව්‍යවස්ථාව අනුව නාම යෝජනා කාලය ඇතුලත සියලුම පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විසින් ඡන්ද විමසීමෙන් අනතුරුව තම පක්ෂයට හිමි විය හැකි ජාතික ලැයිස්තු ආසන සඳහා පත්කිරීම සඳහා සුදුසුකම් ඇති ලැයිස්තුවක් මැතිවරණ කොමසාරිස් වෙත ලබා දිය යුතුය(mandotory). මැතිවරණ කොමසාරිස් වරයා විසින් එකී ලැයිස්තු ගැසට් පත්‍රයේ හා භාෂා තුනෙන් පුවත්පත්වල පළ කල යුතුය.

    යම්කිසි පක්ෂයකට යම් ජාතික ලැයිස්තු ආසන ප්‍රමාණයක් හිමි වී ඇති බවට මැතිවරණ කොමසාරිස් වරයා විසින් දැනුම් දුන් පසු අදාළ පක්ෂයේ ලේකම් වරයා විසින් එම ආසන සඳහා පෙර කී ජාතික ලැයිස්තුවේ ඇතුලත් නම්/නමක් හෝ ඕනෑම දිස්ත්‍රික්කයක නාම යෝජනා පත්‍රයක ඇතුලත් නම් ලැයිස්තුවක් අදාළ ආසන පිරවීම සඳහා නම් කල හැකිය.

    නමුත් පාර්ලිමේන්තු මැතිවරණ (1 of 1981). පනතේ 64(5) වගන්තිය අනුව යම්කිසි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පුරප්පාඩුවක් ඇති විට වූ විටක අදාළ පක්ෂයේ සාමාජිකයෙකුගේ නමක් ඒ සඳහා යෝජනා කිරීමට එකී පක්ෂ ලේකම් වරයාට බලය ඇති බව දක්වා ඇත.

    නමුත් මෙම පක්ෂ සාමාජිකයා අදාල පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තුවේ ඇතුලත් නම්/නමක් හෝ ඕනෑම දිස්ත්‍රික්කයක නාම යෝජනා පත්‍රයක ඇතුලත් පක්ෂ සාමාජිකයෙක් විය යුතු බව අපගේ තර්කයයි. නැතහොත් ජනතාව නොදන්නා ජනතාව ඉදිරියට නොගිය ඕනෑම පුද්ගලයෙක් පත්කිරීමට පක්ෂ ලේකම් වරයෙකුට බලය ලැබෙයි මෙය ජනතාවගේ පරමාධිපත්‍ය බලය පැහැරගැනීමක් වන අතර එය ආණ්ඩුක‍රම ව්‍යවස්ථාවට පටහැනිය.

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91e අනුව රජය සමග ගිවිසුම් ඇති පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්කරනු ලැබීමට සුදුසුකම් නොලබයි. එයට බලපාන හේතුව වන්නේ රාජ්‍ය ආයතන සමග ව්‍යාපාර කටයුතු කරන අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවහොත් එම මහජන නියෝජිත බලය ව්‍යාපාර කටයුතු සඳහා අවභාවිතා විය හැකි බැවිනි.

    මීට පෙර ඩිලාන් පෙරේරා විසින් පැනවූ නඩුවකින් රාජිත සේනාරත්නගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අධිකරණ තීන්දුවක් දෙනු ලැබුවේ එම නීතියට අනුවය. ධම්මික පෙරේරා අධ්‍යක්ෂක ධුරයක් දැරූ ආයතනයක් වන හේලීස් සමූහයේ සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ව්‍යාපාර කටයුතුවල නිරත බව අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ සඳහන්‍ වේ. එළෙස රජය සමග ගිවිසුම් මගින් ලාබ උපයමින් සිටින සමාගම් හිමිකරුවෙකු වන ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම ඉල්ලා සිටී.

    පෙත්සම යලි හෙට කැඳවීමට නියමිතය.

  • ආණ්ඩුව මර්දනය දැඩි කරද්දී IMF නියෝජිත කණ්ඩායම අගමැති හමුවෙයි

    ආණ්ඩුව මර්දනය දැඩි කරද්දී IMF නියෝජිත කණ්ඩායම අගමැති හමුවෙයි

    ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා ආරම්භ කර තිබේ.

    ගෝල්ෆේස් අරගල භූමියේ ගෝඨා – රනිල් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පැවැත්වෙන අරගලය උණුසුම් ස්වභාවයක් ගෙන මේ දිනවලම ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබීම විශේෂත්වයක්.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද පෙරවරුවේ ලංකාවට පැමිණ ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

    ආණ්ඩුව සහ විපක්ෂ කණ්ඩායම් කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපව ගලවා ගැනීමට පැමිණෙන දේව දූතයන් බවයි. නමුත් සත්‍ය ලෙසම ඔවුන් පෙනී සිටින්නේ මේ ජනතාවට සහන සැලසීමට නොව පවතින ක්‍රමය ආරක්ෂා කරගැනීමට පවතින ඕනෑම දූෂිත ආණ්ඩුවකට උදව් දීමට බව පෙනේ. එසේම ඉතිහාසය දෙස බැලීමේදී ද පෙනී යන්නේ ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි සාමාන්‍ය ජනතාවට කිසිදු ලෙසකින් වාසි සහගත නොවූ බවයි.

  • ගෝල්ෆේස් අරගල භූමිය උණුසුම් වෙයි – අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට

    ගෝල්ෆේස් අරගල භූමිය උණුසුම් වෙයි – අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට

    ජනාධිපති කාර්යාලයෙහි පිවිසුම් අංක 1 සහ 2 අසල විරෝධතාවයෙහි නිරත වී සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතර මීට පෙර පොලීසියෙන් පැහැරගත් තිසර අනුරුද්ධ බණ්ඩාර නම් සමාජ ක්‍රියාකාරී තරුණයාද සිටින බවයි වාර්තා වන්නේ.

    තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කළ පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකර තිබෙනවා.

    ජනාධිපතිවරයට සහ අණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කර්යලය ඉදිරිපිට පවත්වා ගෙන යන විරෝධතාවය අද උදෑසන වන විට උණුසුම් වී තිබේ. ඒ අරලගකරුවන් විසින් ලේකම් කර්යාලයට අතුළු වන අනෙකුත් පිවිසුම් මර්ගද අවහිර කර අට්ටාල ඉදිකිරීමත් සමගයි.

    මීට මඳ වේලාවකට පෙර පොලිසිය විසින් අරගලයේ යෙදී සිටි ක්‍රියාකාරීන් 19 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

    මේ වනවිට ලෝටස් වටරවුම අසලින් මාර්ගය ද අවහිර වී ඇති අතර ප්‍රදේශයට දැඩි හමුදා ආරක්ෂාවක් ද යොදවා ඇති බව සඳහන් වේ.
    ගෝල්ෆේස් රැඳී සිටින අරගලකරුවන් සමාජ මාධ්‍ය හරහා හැකි සියලු දෙනාට ගෝල්ෆේස් වෙත පැමිණෙන ලෙස පවසයි.