Breaking News

Deep Jungle Music වැඩසටහනට සොයා බැලීමකින් තොරව අවසර දුන්නේ කවුද ?

සුපුන් ළහිරු ප්‍රකාශ්

Deep Jungle Music and Cultural Festival 2023 සැණකෙළිය හේතුවෙන් වනජීවීන්, ආශ්‍රිත ප්‍රජාව, මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ජීවිත අනතුරේ

උතුරුමැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පහිටි, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හබරණ, කරඳගස්වැව ප්‍රදේශයේ වනාන්තරය තුළ 2023 පෙබරවාරි 17, 18, 19 සහ 20 යන දිනයන්හී පැවැත්වීමට නියමිත Deep Jungle Music and Cultural Festival 2023 සැණකෙළිය හේතුවෙන් වනජීවීන්, ආශ්‍රිත ප්‍රජාව, මෙන්ම විදේශීය සංචාරකයින් ගේ ජීවිතද අනතුරේ වැටීමේ අවධානමක් පවතී.

හබරණ මං සංඳියෙන් ත්‍රිකුණාමලය දෙසට ඇති මාර්ගයේ ගමන් කරන විට හමුවන කරඳගස්වැව ප්‍රදේශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හුරුළු පාරිසරික උද්‍යානයේ – ගල්ඔය කොටස ආශ්‍රිතව මෙම සැණකෙළි භූමිය පිහිටා ඇත. මෙම කටයුත්ත සංවිධානය කරන Deep Jungle Entertainment පුද්ගලික සමාගමේ අරමුණ වශයෙන් දක්වා ඇත්තේ “ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක ස්ථාන සහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමය. ශ්‍රී ලංකාව එහි ආකර්ෂණීය හා අද්භූත ඓතිහාසික උරුමයන්, දර්ශනීය ස්වභාවික පරිසරය සහ සම්ප්‍රදායික සංස්කෘතිය සඳහා ප්‍රසිද්ධය. සංස්කෘතික සංරක්‍ෂණය සහ පාරිසරික ආරක්‍ෂාව දිගුකාලීනව සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට සහාය වීම සඳහා යතුර බව අපි විශ්වාස කරමු.” යනුවෙන් ඔවුන්ගේ වෙබ්අඩවියේ දක්වා ඇත. නමුත් එසේ තිබියදී ඔවුන් Deep Jungle Music and Cultural Festival 2023 සැණකෙළිය හරහා සිදුකිරීමට යන්නේ ඔවුන්ගේ මුඛ්‍ය අරමුණට හාත්පසින්ම වෙනස් පාරිසරික ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කෙරෙන ක්‍රියාවක් බව අප අවධාරණය කරමු.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ හබරණ සෆාරි ජීප් රථ සංගමයේ සභාපතිවරයා බව කියන සීගිරිය, Deep Jungle Entertainment පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුමුදු සමන් පියරත්න මහතා විසින් සංවිධානය කරන මෙම සැණකෙළිය සඳහා දැනටමත් රජයේ ආයතන ගණනාවකින් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ, කලමනාකරණ අධ්‍යක්ෂවරයා විසින් එම කාර්යාංශයේ සහතිකය මෙම සැණකෙළිය සඳහා ලබාදී තිබේ. එසේම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් මෙම කටයුත්ත සඳහා යම්කිසි ආකාරයකින් තම සහාය පළකර ඇත. උක්ත කරුණ සම්බන්ධ පොළොන්නරුව දිසා වන කාර්යාලයේ පො/දිවනි/4/1/1/4 අංක දරන 2023. 02. 03 දිනැති ලිපියේ දක්වා ඇත්තේ මෙම ක්‍රියාකාරකම සිදුකරන ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තරයකට යාබදව පිහිටා ඇති බැවින් කොන්දේසි සහිත අනුමැතියක් ලබා දෙන බවය. තවද මින්නේරිය ජාතික උද්‍යාන භාරකරු විසින් දන්වා ඇත්තේ මෙම ප්‍රදේශය වනජීවී රක්ෂිතයකට අයත් නොවන නමුත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධි විධාන උල්ලංඝනය නොවන පරිදි කටයුතු කළයුතු බවය. මෙම සැණකෙළි භූමියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා අවසර ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ලෙස හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් විසින් හබරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත දන්වා ඇත.

මෙවැනි විශාල සංගීත සැණකෙළි වල භාවිතා වන අධික ශබ්දය හා ආලෝක තරංග මෙම ප්‍රදේශයේ ජීවත්වන වනජීවීන්ගේ පැවැත්මට ආකාර ගණනාවකින් තර්ජන එල්ල කරන බව නොකිවමනාය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ශබ්දය දූෂණය, පරිසර දූෂණයේ භයානකම ආකාරයක් බවයි. පාරිසරික ඝෝෂාව ලෙසද හැඳින්වෙන මෙම තත්ත්වය මිනිස් හෝ සත්ව ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට හානිකර බලපෑමක් ඇති ඕනෑම අනවශ්‍ය හෝ බාධාකාරී ශබ්දයක් ලෙස සරලව අර්ථකථනය කළ හැකි අතර එය අදෘශ්‍යමාන අනතුරකි. නමුත් එය අපගේ එදිනෙදා ජීවිතයේදී බහුලව දක්නට ලැබේ. අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ අධික ශබ්දය කුඩා කෘමී සතුන්ගේ සිට අලි ඇතුන් දක්වා විශාල පරාසයක පැතිරුණු සත්ත්ව විශේෂ රැසකට බලපෑම් එල්ලකරන බවයි. සංචරණය දිශානුගත කරගැනීම, ආහාර සොයා ගැනීම, සන්නිවේදනය, අභිජනනය සහ විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීම වැනි වනජීවීන්ගේ එදිනෙදා ජීව ක්‍රියාවන් පවත්වාගෙන යාමට ශබ්ද දූෂණය හෙවත් ඝෝෂාව මගින් දුෂ්කරතා ඇති කරන අතර එය බොහෝ සතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල කරයි. ලොව පුරා සිදුකර ඇති විද්‍යාත්මක අධ්‍යයන විශාල ප්‍රමාණයකින් පෙන්වාදී ඇත්තේ උභයජීවීන්, ආත්‍රපෝඩාවන්, පක්ෂීන්, මසුන්, ක්ෂීරපායින්, මොලුස්කාවන් සහ උරගයින් යන සත්ත්ව කාණ්ඩ වලට අයත් විශේෂ සිය ගණනක් අධික ශබ්දයට නිරාවරණය වීමට පසුව එම සතුන්ගේ හැසිරීම් රටා වෙනස්වී ඇති බවය. තවද මෙම විවිධ සත්ත්ව කණ්ඩායම් ශබ්දයට ප්‍රතිචාර දැක්වීමේදී එකිනෙකට නොවෙනස් ආකාරයෙන් කටයුතු කරන බවද එම අධ්‍යයන මගින් අනාවරණයවී ඇත.
වසර බිලියන ගනනක් තිස්සේ, සියලු ජීවීන් පෘථිවියේ අනාවැකි කළ හැකි දිවා රාත්‍රී රිද්මය මත රඳා පවතී. එය සියලුම ශාක හා සතුන්ගේ ප්‍රවේණික ද්‍රවය වල කේතනය කර ඇත. මිනිසුන් රාත්‍රිය ආලෝකමත් කිරීමෙන් මෙම චක්‍රය රැඩිකල් ලෙස කඩාකප්පල් කර ඇත. ප්‍රජනනය, පෝෂණය, නින්ද සහ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම වැනි ජීවය පවත්වාගෙන යාමට ප්‍රධාන වන හැසිරීම් පාලනය කිරීම සඳහා ශාක සහ සතුන් පෘථිවියේ දෛනික ආලෝකයේ සහ අඳුරු රිද්මයේ චක්‍රය මත රඳා පවතී. නමුත් රාත්‍රියේ කෘතිම ආලෝකය උභයජීවීන්, පක්ෂීන්, ක්ෂීරපායින්, කෘමීන් සහ ශාක ඇතුළු බොහෝ ජීවීන් කෙරෙහි ඍණාත්මක හා මාරාන්තික බලපෑම් ඇති කරන බවට මේ වන විට ඕනෑ තරම් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්වී ඇත.

නිශාචර සතුන් දිවා කාලයේ නින්දෙහි පසුවන අතර රාත්‍රියේ ක්‍රියාශීලී වේ. ආලෝක දූෂණය ඔවුන්ගේ රාත්‍රී පරිසරය රැඩිකල් ලෙස වෙනස් කරමින් රාත්‍රිය දිවා කාලය බවට පත් කරයි. රාත්‍රියේ සංක්‍රමණය වන හෝ දඩයම් කරන පක්ෂීන් සඳ එළියෙන් සහ තරු එළියෙන් ගමන් කරන අතර කෘත්‍රිම ආලෝකය නිසා ඔවුන් ගමන් මාර්ගයෙන් ඉවතට ගොස් නගරවල රාත්‍රී භූ දර්ශන දෙසට ගමන් කළ හැකිය. සෑම වසරකම මිලියන ගණනක් කුරුල්ලන් අනවශ්‍ය ලෙස ආලෝකමත් ගොඩනැගිලි සහ කුළුණු වල ගැටීමෙන් මිය යති. සංක්‍රමණික පක්ෂීන් නිසි වේලාවට නියමිත කාලසටහන් වල ඉඟි මත රඳා පවතී. කෘත්‍රිම ආලෝකයන් නිසා ඔවුන් ඉතා ඉක්මනින් හෝ ප්‍රමාද වී සංක්‍රමණය වීමටත්, කැදැල්ලට, ආහාර සෙවීමට සහ වෙනත් හැසිරීම් සඳහා සුදුසු දේශගුණික තත්ත්වයන් මග හැරීමටත් හේතු විය හැක. බොහෝ කෘමීන් ආලෝකයට ඇදී යන නමුත් කෘතිම ආලෝකයන් මාරාන්තික ආකර්ෂණයක් ඇති කළ හැකිය. ආහාර හෝ පරාගණය සඳහා කෘමීන් මත යැපෙන සියලුම විශේෂවලට කෘමි ගහනය අඩුවීම අහිතකර ලෙස බලපායි. සමහර විලෝපිකයන් මෙම ආකර්ෂණය ඔවුන්ගේ වාසියට යොදාගන්න අතර, අනපේක්ෂිත ආකාරයෙන් ආහාර ජාල වලට බලපායි. මේ හේතුවෙන් එම සතුන් ජීවත්වන පරිසර පද්ධතීන් පවා බිඳවැටීමට හැකියාව ඇති බව විද්‍යාඥයින් විසින් පේනවා දී ඇත.

මෙවැනි කරනා හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව උක්ත මාදිලියේ සැණකෙළි පැවැත්වීම එම ප්‍රදේශවල ජීවත්වෙන වනජීවීන්ට මෙන්ම එම වන ජීවීන්ගේ චර්යා රටාවන් වෙනස්වීම මගින් ආශ්‍රිත ප්‍රජාවන්ගේ පැවැත්මටද තර්ජන එල්ල කරයි. අලි ඇතුන්ගේ සංචරණය හා හැසිරීම වෙනස්වීම මගින් අලි ඇතුන්ගේ පහරදීම් වලට ජනතාවට මුහුණදීමට සිදුවීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. එසේම මෙවැනි සැණකෙළි තුළ අධිකව මත්වතුර සහ මත්ද්‍රවය භාවිතය සාමාන්‍ය වන අතර අධික ලෙස මත්වූ දෙස් විදෙස් සංචාරකයන් අලි ඇතුන් ඇතුළු අන්තරායකර වනජීවීන් විශාල වශයෙන් ගැවසෙන වනගත මාර්ග ඔස්සේ රාත්‍රී කාලයේ ගමන් කිරීම, බීමතින් වනය තුලට ඇතුළුවීමට උත්සාහ කිරීම වැනි කරුණු නිසා එම සංචාරකයින්ටද මරණීය තර්ජන එල්ලවිය හැකිය.

මේ වන විට මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යාන වල පිහිටි ජලාශ ජලයෙන් පිරීම නිසා ප්‍රදේශයේ සැරි සරණ අලි ඇතුන් ආහාර සපයාගැනීම සඳහා විශාල වශයෙන් හුරුළු පාරිසරික උද්‍යානය වෙත ඒකරාශීවී සිටිති. දීර්ඝ කාලසීමාවක් අධික ශබ්ද නගමින් මෙම ප්‍රදේශයේ පවත්වන මෙම සංගීත සැණකෙළිය හේතුවෙන් එම සතුන්ටද යන එන මං අහිමිවීමේ අවධානමක් පවතී.

තවද මෙරට වනාන්තර සහ වනජීවීන් තිරසාර ආකාරයෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට විශාල අවකාශයක් තිබියදී එම සම්පත් විනාශවීමට තුඩු දෙන මෙවැනි අමනෝඥ ක්‍රියාකාරකම් සඳහා තම පිටසන (Endorsement) යෙදීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වැනි රාජ්‍ය ආයතන පෙළඹීම ජුගුප්සාජනකය. එය මෙරට සංචාරක කර්මාන්තයේ ඉලක්කගත කණ්ඩායම් නිසි ආකාරයෙන් හඳුනානොගැනීමක්ද වෙයි.

සංචාරක සංවර්ධන විශේෂඥයෙකු සහ පර්යේෂකයෙකු වන ශ්‍රීලාල් මිත්තපාල මහතාගේ අධ්‍යයනයන්ට අනුව අප්‍රේල් 21 ප්‍රහාරය සහ කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක්වීමට පෙර අවසන් වශයෙන් 2018 වසර වන විට මෙරටට පැමිණෙන සියලු විදේශ සංචාරකයින්ගෙන් සියයට හතළිස් හතක් ජාතික උද්‍යාන නරඹා ඇත. මෙම සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ශකය බවට පත්වන්නේ අලි ඇතුන් සහ කොටියන් වැනි සතුන් විනා ඝෝෂාකාරී සංගීතය නොවේ.
මින්නේරිය ජාතික උද්‍යානයේ අලි ඇතුන්ට සංචාරක කර්මාන්තය හරහා ලැබී ඇති මුල්‍යමය වටිනාකම පිළිබඳව සිදුකරන ලද තක්සේරුවකදී අනාවරණයවී ඇත්තේ එක් සංචාරක සමයකදී මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම හරහා එහි පැමිණෙන එක් අලියෙකු රුපියල් මිලියන දහයක් පමණ අපේ රටට උපයා දෙන බවය. ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෆාරි ජීප්රථ කර්මාන්තය සහ සංචාරක හෝටල් මගින් උපයන ලද ආදායම ඇතුලත්ය. සෑම වසරකම, වියළි කාලයේදී සිදුවන මින්නේරිය ජාතික උද්‍යානයේ වාර්ෂික වන අලි ඒකරාශීවීම (Elephant gathering) ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් 10 න් එකක්’ ලෙස ජාත්‍යන්තරව පිළිගත් සංචාරක මාර්ගෝපදේශකයක් වන ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින්ද නම්කර ඇත. මැයි මාසයේ සිට, අගෝස්තු – සැප්තැම්බර් දක්වා මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන මෙම වනජීවී ආශ්චර්යය එහි උච්චතම අවස්ථාව වෙත ළඟා වන විට, 400 ක් තරම් වන අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම් මතට රැස් වේ. නමුත් මේ වන විට ආණ්ඩුවේ අක්‍රවමත් හා අදූරදර්ශී සංවර්ධන ක්‍රියාකාරකම් සහ අන්තර් ආයතනික සහයෝගීත්වයක් නොමැතිවීම හේතුවෙන් ඉතා අවාසනාවන්ත ආකාරයට මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම අතීත මතකයක් බවට පත්වෙමින් ඇත. එවැනි පසුබිමක තම ප්‍රදේශයේ තිබූ ප්‍රභල සංචාරක ආකර්ෂක වැනසී යාම හේතුවෙන් වෙනත් විකල්ප වෙත එළැබීමට ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයෙන් ජීවිකාව සරිකරගත් පිරිස් යොමුවීම විමතියට කරුණක්ද නොවේ.

නමුත් අප අවධාරණය කරගතයුතු සත්‍ය වන්නේ මෙවැනි වනගත ප්‍රදේශ වෙත සංචාරකයින් පැමිණෙන්නේ වනාන්තර සහ වනජීවීන් ඇසුරේ නිහඬ හා සාමකාමී නිවාඩුවක් ගතකිරීමට විනා Deep Jungle Music and Cultural Festival 2023 වැනි සැණකෙළි සිරි විඳීමට නොවන බවය. එබැවින් සංචාරක විෂය භාර රේඛීය අමාත්‍යාංශ සහ ආයතන වල බලධාරීන් සිදුකළ යුත්තේ මෙවැනි ප්‍රදේශ වල පාරිසරික හා පුරාවිද්‍යාත්මක සංචාරක ආකර්ෂක තිරසාර ආකාරයෙන් කළමනාකරණය කිරීමට සහ ඒ වෙත සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය අන්තර්පාර්ශවීය මැදිහත්වීම් සිදුකිරීම මිස සංචාරක සංවර්ධන අවශ්‍යතාවය දඩමීමා කරගෙන මෙවැනි විනාශකාරී ව්‍යාපෘති වලට පිටසන් යෙදීම නොවන බව අප අවධාරණය කරමු!

සුපුන් ළහිරු ප්‍රකාශ්
කැඳවුම්කරු
ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

leave a reply