Breaking News

ක්‍රියාව ක්‍රියාවලිය සහ චින්තනය‍

  • ලිමාට් ප්‍රවාද 3- Limmat Thesis 3 –
    Udaya R. Tennakoon

  • ලෝකයේ මොනයම් හෝ යමක් සාධාරණව ගොඩ නැගිය හැකි වන්නේ, විශ්ව සාධාරණ චින්තනයක් මිනිසා සතු වන්නේ නම් පමණි. විශ්වයට සාධාරණ වීම යනු මිනිසාට කිසි‍සේත් අයුක්තික වන්නේ ද නැත. සාධාරණත්වයේ හෝ යුක්තිය පදනම් වනුයේ මේ මත ය. ඒ නිසාවෙනි, “විශ්ව සාධාරණ නීතියක්” පිළිබඳ අදහස ලෝකය තුළ කතා කරනු ලබන්නේ. එ් මත ගොඩ නගන මොනයම් හෝ දෙයක් ඇත්නම් එහි අරමුණු අභිලාෂයන් මත කටයුතු කිරීමට මිනිසා කල්පනා කරයි. එවැනි දෙයකට දිගු කාලීන පැවැත්මක් ඇති වීම ඒ තුළ ඇති ගුණය විසින්ම ආරක්ෂා කරනු ඇත.

ඇයි මට මේ සිතුවිල්ල ඇතිවන්නේ සහ මෙලෙස සටහන් තබනු ලබන්නේ?

යමක් ගොඩ නැගීම, නිර්මාණය කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම යන ක්‍රියාදාමයට ඇති සම්බන්ධය නිසා ය. ඒ සඳහා අදහස් නොමැතිව කළ නො හැකි ය. මොනයම් හෝ අදහසකින් කළ හැකි වුවත් මිනිසා මනස හා බුද්ධිය මෙහෙයවා කරනු ලබන ක්‍රියාවක් නිසා එය චින්තනයට අයිතිවන්නකි. අදහසක් ඇති වූ පළියට චින්තනයක් වන්නේ ද නැත. එහෙත් එම අදහසට චින්තනයක් තිබිය හැකි ය. එය අදහස තුළින් ප්‍රක්ෂේපණය වන්නේ ක්‍රියාව තුල දී ය. ක්‍රියාව ක්‍රියාවලියක් බවට පත් වීමේ දී චින්තනය විසින් මග පෙන්වීම කරනු ලබන අතර ක්‍රියාවලිය චින්තනයෙන් පරිභාහිර වන්නේ නම්, ක්‍රියාවලිය වෙනස් වනු ඇත.

ක්‍රියාව සහා ක්‍රියාවලිය භාහිරට සහසම්බන්ධ වන බැවින් එය භාවිතාව හා එකතු වීම වගේම සංකීර්ණතාවයන්ට ද මුහුණ දෙනු ඇත. සමහරවිට ක්‍රියාවලිය පුළුල් හා සංකීරණ වීමේ දී, පැවැති චින්තනය වෙනස් විය හැකි ය. එය වෙනස් වීමට බල කරනු ඇත. එක අදහසක් වෙනුවට කිහිපයක් පැමිණිය හැකි ය. ඒවා පදනම් චින්තනයට කොතෙක් අනුකූල ද යන්න මත ක්‍රියාවලිය තීරණය වනු ඇත. නමුත්, විශ්ව සාධාරණ චින්තනයක් සහිත වන්නේ නම්, අලුතින් පැමිණෙන අදහස් හා ඒ තුළ ඇති චින්තනයන් අනුකූල කර ගැනීම ගැටලුවක් වනු නො මැත. එහෙත්, එහි වගකීම වන්නේ ක්‍රියාව කරන්නා සහ ක්‍රියාව මෙහෙයවන්නා තුළ ය. නායකත්වය මුල් වන්නේ මෙතැන දී ය. පවුල තුළ ආයතනය තුළ වගේ පුළුල්ව රටක් සමාජයක් තුළ දී නායක්ත්වයට ලැබිය යුතු වැදගත්ම දේ වන්නේ නායකත්වයේ චින්තනය ය.

නායකත්වය සහ චින්තනය සමග මෙහි අරමුණ ලංකාවටත්, බලය හොබවන ආණ්ඩුවටත්, එහි නායකත්වය දරන පුද්ගලයන්ටත් සම්බන්ධකර මේ ඔස්සේ යමක් පරීක්ෂා කිරීම කළ යුතු ය. බලයේ සිටින ආණ්ඩුවට සහ නිල නො වන නායකත්වය සපයන ජනතා විමුක්ති පෙරමුණ සතු චින්තනය පරීක්ෂා කළ යුතු ය. එම පරීක්ෂාවට යොමු වීමට මා මෙහෙයවන්නා වූ හේතුව ද චින්තනයට අදාල වන්නේ ය.

මම ලංකාවේ සිටියේ නම්, මේ වන විට ලබාගත්, වටහාගත් දේවල් නො වුණා නම් බොහෝ දුරට මෙවැන්නක් ලිවීමට සිදු නොවනු ඇති බව විශ්වාසය යි. දැන් මම ජීවත් වන්නේ යුරෝපයේ සාමය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ජීවත්වීම ඇතුළු මූලික දේවල් සැපිරී ඇති රටක ය. ඒ ලැබෙන දේවල්වලින් අවම ලැබීමක් ඇති ජීවිතයක් තුළ අවුරුදු පහළවක් පසුකර ඇත. මට එය හොඳටම ප්‍රමාණවත් ය. එම ප්‍රමාණවත් බව නිසා මට අන් අයට නැති නිදහසක් ඇතැයි සිතමි. මට ලියන්නට, කියවන්නට, මිනිසුන්ට උදව් කරන්නට ද හැකි වී ඇත. ඔබ ජීවත් වන්නේ සතුටින් ද කියා යමෙක් ඇසුවොත් ඔව් කියා මට කිව නො හැකි ය. ඒ වගේම නෑ කියන්නට ද කිව නො හැකි ය. සතුට හෝ අසතුට මා ලඟා කර ගන්නේ කෙසේද යන්න මගේ කාර්යයකි. අනෙක් අය හේතු කොටගෙන මා සතුටට හෝ අසතුටට පත් වන්නේ නම්, ඒ ප්‍රමාණය හා අගයේ වැඩි කොටස මා සතු වන්නේ ය. මේ දෙකම නැතිව විශ්ව විරෝධී බලාපොරොත්තු රහිත මානසික තත්ත්වයකට මනස මෙහෙවා ගැනීමට හැකි වන්නේ නම්, මට ද කිසිවකුට ද ගැටලුවක් වනු නොමැත.

මා මේ කියන්නේ කිසියම් වූ න්‍යායික දාර්ශනික නැතිනම් ආගමික අදහසක් වැනි දෙයකි. දර්ශනය, න්‍යාය ආගමික සාරයන් භාවිතය බවට පත්කර ගන්නට හැකි නම්, මේ කියන දේ ලඟා කර ගැනීමට ද හැකි වන්නේ ය. නමුත් ප්‍රායෝගික ජීවිතයේ දී අපිට ජීවත් වීමට සිදුව ඇත්තේ භාහිර යථාර්ථයන් සමඟ නිසා න්‍යායයන් හා දර්ශනයන් ඒ ආකාරයකටම අනුගමනය කිරීමට නො හැකි අවස්ථා වැඩි ය. එ් සමාජයත් මිනිසාත් අසමාන මෙන්ම ප්‍රතිවිරෝධතාවලින් යුක්තවන නිසා ය.

ගැටුම යන්නට මානසිකවත් කායිකවත්, සෘජුවවත්, වක්‍රවත් මුහුණ දීමට සිදු වේ. අපි ගැටුමට පිවිසෙන ආකරය අනුව ගැටුමට ප්‍රතික්‍රියා දක්වති. ගැටුම අඩුකර ගැනීම හෝ වැඩි කර ගැනීම හෝ විසඳා ගැනීම හෝ පවත්වාගෙන යාම සිදු වේ. පුද්ගලයාගේ සිට රාජ්‍යය දක්වා ද, ලෝකයටම ද පොදු ය.

ගැටුමක් නැති සමාජයක් හෝ ලෝකයක් අපේක්ෂා කළ නො හැකි ය. එය විශ්වය හා ජීවියාගේ උපත පටන් ගත් දා සිට පවතින්නකි. ස්වභාවය අනුව එහි විවිධත්වය තුළ සිදු වන්නකි. සාමය ගැටුමට ප්‍රතිපක්ෂ අදහසක් වුවත්, සාමය යනු ගැටුම තුළම පවත්නා නිමේෂීය අවස්ථාවකි. දීර්ඝ සාමයක් යනු සාපේක්ෂ දෙයකි. සාමයේ තරම තීරණය වන්නේ ගැටුම නිසා නොව ගැටුම තුළ ඇති අනෙකුත් දේවල් හේතුවෙනි. ඒවා සංකල්ප විය හැකි ය. භාවිතයන් විය හැකි ය. නාමයන් විය හැකි ය. රූපයන් විය හැකි ය. මේ නිසා නැවත තමා තුළත් භාහිරත්, පුළුල් ලෙස රටක රාජ්‍යයකත් ගැටුම තුළ සාමය පවත්වා ගැනීමට චින්තනය විශාල දායකත්වයක් සපයනු ඇත.

මිනිස් ජීවිතය සංකීරණ ක්‍රියාදාමයක් බවට පත්වීමේ දී, අප මුහුණ දෙන ගැටුමට තවත් අංශ සෘජුව බලපාන්නේ ය. දේශපාලනය හා ආර්ථිකය මෙහි ප්‍රධාන මෙවලම් දෙක යි. ආර්ථිකයට දේශපාලනයත්, දේශපාලනයට ආර්ථිකයත් එකිනෙකට සහ සබන්ධිත ය. ආර්ථිකය යහපත් නො වන්නේ නම් සමාජයට දේශපාලනයේ මැදිහත්වීම ප්‍රභලව දැනෙනු ඇත. ලෝකයේ බොහෝ වෙනස්කම් සිිදුව ඇත්තේ මේ දෙක අතර ඇති සහසම්බන්ධයේ ඵලයන් ලෙසිනි. අපි ආර්ථිකයේ දී, සාධාරණත්වයක් ඉල්ලා සිටීමට පෙනී සිටින තරමට දේශපාලනයේ දී සාධාරණත්වය බලාපොරොත්තු වන්නේ නැති බවක් පෙන්නුම් කරන්නේ, දේශපාලනය උපරි ව්‍යුහයේ දෙයක් ලෙස කටයුතු කරන නිසා ය. මෙම අදහස මාක්ස්වාදය තුළ භෞතිකවාදී දර්ශනය තුළ සාකච්ඡා කරන කාරණයක් වී ඇත. සමාජ සත්තා යථාර්ථවාදය ගැන කතා කිරීමේ දී අනෙකුත් උපරි ව්‍යුහයට අයත් වන මෙවලම් වන ආගම, නීතිය, කාලව, විද්‍යාව පමණක් නොව අද වන විට තවත් බොහෝ අංග නියෝජනය කරති. අධ්‍යාපනය මාධ්‍යයය තාක්ෂණය සහ සන්නිවේදය ද නූතන මෙවළම් වී ඇත. අසමාන ආර්ථකයක් පවතින ලෝකයේ ගැටුම පාලනය කර ගනු ලබන්නේ මේ උපරි ව්‍යුහාත්මක වෙවළම් නියෝජනය කරන්නා වූ ව්‍යුහයන්ගේ මැදිහත්වීම නිසා ය.

ආර්ථිකයක පවත්නා තත්වය කුමක් උව ද සමාජය අපෝහක වී ඉදිරියට ගමන්කරන්නේ උපරි ව්‍යුහයේ පාලනය තුළ නිසා සමාජය යහපත් ආකාරයට පවත්වා ගැනීමට එකකින් හැකියාවක් ඇති වන්නේ නැත. විශ්වය, ලෝකය සහ සමාජය අපෝකහකාත්මක බැවින්, එහි වූ ධර්මතාවන්ට අනුව දයලෙක්තික ගමනක අපි සියල්ල නියැලෙන්නේ ය. එවැනි අවස්ථාවන්වලට මුහුණ දීමේ දී ඇති වන ගැටුම සුළු හෝ මහා පරිමාණ දෙයක් වුවද ගැටුම නැති කිරීම එක්වර කළ හැකි දෙයක් නො වන්නේ ය. නමුත් වැදගත් වන්නේ විශ්ව සාධාරණත්වය මත පදනම් විය යුතු චින්තනයකින් ඒ දෙස බැලීමට හා ක්‍රියා කිරීම ය. විශ්ව සාධාරණ චින්තය යන්න ලෝකයට පමණක් නොව විශ්වයට ද ඇති විශ්ව දැක්මක් බැවින්, ලෝකය දෙස බලන ලෝක දැක්ම ඒක මානීය දෘෂ්ටියකට වඩා පුළුල් ව බැලිය යුතු ය. එම දැක්ම යනු සාකල්‍යවාදීව බැලීමට පුහුණු කළ යුතු දැක්ම ය. අප ලබා ගන්නා දැනුම, අත් දැකීම්, අවබෝධය අපිට සාකල්‍යවාදී ලෙස බැලීමට උපකාරී ‍වෙයි. අපේ ජීවිතවල සරළ සහ සංකීර්ණ අවස්ථාවල දී පවා සිදුවන ඕනෑම මැදිහත්වීම් සාකල්‍යවාදී ය. විශ්වයේ පැවැත්ම මෙන්ම පරමාණුවේ සිට මිනිසා සහ ස්වභාදහමේ ක්‍රියාකාරීත්වය තුළ ඇත්තේ සාකල්‍යමය ස්වභාවයකි. මේ නිසා අපි චින්තනයෙන් ද සාකල්‍යයවාදී ය. නමුත් මිනිස් ක්‍රියාකරීත්වයේ දී, අප තුළ ඇති මමත්වය විසින් අනන්‍යතාවක් නිර්මාණය කරනු ලබන්නේ වැඩි බලයක් ලබා දීමෙනි. ඉන් පසුව විවිධත්වයෙන් ඒකකත්යට පැමිණීම නිසා සාකල්‍යයත්වය බිඳ වැටෙන්නේ ය. විවිධත්වය යනු සාමුහිකත්වයේ මූලධර්මයකි. ඒකකත්වයට පත් වීම යනු අසමානත්වයට ගමන් කිරීමකි. අනෙක් අතට බලය වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ වුවත්, එය සාපේක්ෂකව අඩු ගුණයකි. අසමානත්වය නිර්මාණය කරන්නකි. එ නිසා විවිධිත්වයේ ආධිපත්‍යය ගැනීමට දරණ වෑයම බලය බවට පත්වීම නිසා ගැටුම් සහ හිංසනයන්ට යොමු වේ. හිංසනයේ බොහෝ ප්‍රභේදයන් ඇත. බුදු දහමට අනුව, තමන් ආදර්ශ කර ගැනීමෙන් අනෙකාව හිංසනයට ලක් නො කිරීමට වගබලා ගත හැකි වේ. එසේ නොවීම නිසා හිංසනය වෛරය පළිගැනීම දක්වා මේ බලය මෙහෙයවීම ඉතා කුඩා නිදසුන්වල සිට රාජ්‍ය සහ ලෝක මට්ටමේ නිදසුන් කර ගමන් කළ හැකි ය.

මේ නිසා මිනිසාගේ තනි පැවැත්මේ සිට සාමූහික පැවැත්ම දක්වා වූ සාකල්‍යමය ක්‍රියාදාමය යහපත් කර ගැනීමට අපට වැදගත් වනුයේ අපගේ චින්තනමය දැක්ම පුළුල් කර ගැනීම ය. පුද්ගලවාදී අතිශය කුඩා අභිප්‍රායක සිට ලෝක අරමුණක් දක්වා හිතන්නට පුළුවන් සත්වයකු බවට පත්වීමට හැකියාව ඇත්තේ මිනිසාට වන බැවින්, අපට එය කළ හැකි වන්නේ විශ්ව සාධාරණ සිතුවිල්ලකට යොමු වීමෙනි. එය විශ්ව සාධාරණ චින්තනය වනු ඇත. ඊට මෙහා නැතිනම් අනෙකුත් සියල්ලේ ඇති දෘෂ්ටීන් සහිතව ඇති වන ගැටලු හෝ ගැටුම් අවබෝධතර ගනිමින් ජීවත් වීමටත්, දේශපාලනයේ දී නම් ඒවා විපරිවර්තනය කර ගැනීමටත් හැකි වන්නේ දේවල් සහ ලෝකය දෙස සාකල්‍යවාදීව බැලීමෙනි. ඒවැනි චිනත්නමය නායකත්වයන්ට පමණි සමාජයක් සුවපත් ළ හැකි වන්නේ. අප අප සිටින්නේ සියලු දේවල්වලින් විසාධියකට පත් අවස්ථාවක නිසා, මේ නව පාලනයේ චින්තනය වහ වහා වෙනස් කර ගත යුතු ය. ඒය වෙනස් කර ගැනීමට පාලකයා ප්‍රඥ්ඥා සම්පන්න විය යුතු ය. ඒසේ නො වුව හොත් රටක් ජාතියක් ලෙස අප හැමටම ගමන් කිරීමට සිදු වන දිශාව ඇත්තේ පරිභ්‍රමණයේ ය.

පරණ ගිවිසුම, නීතීය සහ දේශපාලනය
සමාජයම විෂාධියකින් පෙළීම
ජනතාව සහ බුදු දහම
බුද්ධියේ අඳ කොටස

උදය ආර්. තෙන්නකෝන්
ලිමාට් ප්‍රවාද- සූරිච් සිට- Limmat Thesis from Zürich
26.08.2025

leave a reply