Breaking News

සඟ සමුළුව තිබ්බේ ලිංගික අධ්‍යාපනය එපා කියන්නද?

​අද පැවති සඟ සමුලුව සම්බන්ධ සිදුවීම්වලදී බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇත්තේ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් ලිංගික අධ්‍යාපනය මෙරටට අවශ්‍ය නොවන බවට පැවසීම සම්බන්ධවයි. අතීතයේ දරුවන් දහය පහළොව හැදූ පවුල් ඉතා සතුටින් සහ සංවරව ජීවත් වූ බව එම හිමියන් පවසා ඇත.

මහාචාර්යවරයෙක් වුවත් එම හිමියන්ගේ ගෝචර වී ඇති ආකාරයට ලිංගික අධ්‍යාපනය යනු සංසර්ගය කිරීම කියාදෙන විෂයක් ලෙස පමණක් පෙනේ. ලිංගික අධ්‍යාපනය යනු ලිංගික සෞඛ්‍ය, ලිංගික හිංසනවලින් අරකෂා වීම, ලිංගිකත්වය සම්බන්ධ නව දැනුම ලබාගැනීම බව එම හිමියන් නොදන්නවා බව පෙනේ. එසේම ලිංගික අධ්‍යාපනය වැනි දෙයක් කාන්තාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සමඟද සම්බන්ධ වී තිබේ.

එසේම ලිංගික අධ්‍යාපනය දුර්වලව පැවැතී සමයේ මිනිස් සමාජය ලෙස මුහුණ දුන් දුෂ්කරතා එම හිමියන්ට ගෝචර වී නැති අතර සමහරක් විට එම හිමියන් හිතාමතා අමතක කරනවා යුතුය.

රාහුල හිමියන් පවසන දරුවන් දහය පහළොවක් හැදූ යුගය යනු මෙරට මවුවරුන් සහ දරුවන් අකාලයේ මියගිය යුගයකි. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසා ඇති වූ ඛේදවාචකය දත්ත මගින් තහවුරු වේ.

  • ​මාතෘ මරණවල බියකරු බව- 1930 දශකයේ ලංකාවේ මාතෘ මරණ අනුපාතය සජීවී උපත් 1,000කට 20කට වඩා වැඩි අගයක් ගන්නා ලදී. ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුම සහ පවුල් සැලසුම් ක්‍රම ප්‍රචලිත වීමත් සමඟ අද වන විට එය උපත් 100,000කට 30ක් දක්වා අවම කර ගැනීමට අපට හැකි වී ඇත.
  • ​ළමා මරණ අනුපාතය- අතීතයේ ලිංගික අධ්‍යාපනයක් හෝ පෝෂණය පිළිබඳ දැනුමක් නොමැති වීම නිසා උපදින දරුවන් 1,000කින් 150කට වඩා වැඩි පිරිසක් වයස අවුරුද්ද සම්පූර්ණ වීමටත් පෙර මිය ගොස් ඇත.

පවුල් සැලසුම් ක්‍රම සහ ලිංගික අධ්‍යාපනය නොමැතිව සීමාවකින් තොරව දරුවන් බිහි කිරීම නිසා පවුල්වල ආර්ථිකය කඩා වැටුණු අතර, දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීම අතිශය සාමාන්‍ය දෙයක් විය.

එසේම තම ශරීරය ගැන විද්‍යාත්මක අවබෝධයක් ඇති දරුවෙකුට පමණක් තමාට සිදුවන ලිංගික අතවර හඳුනාගෙන ඒ ගැන පැමිණිලි කළ හැකිය. ඒ පිළිබඳ අවබෝදයක් ලබානොදීම තුළ සැඟවෙන්නේ අපරාධකරුවන් මිස දරුවන් නොවේ.
අතීතයේ ලිංගිකත්වය රහසක් වූ නිසා සමාජය තුළ විද්‍යාත්මක නොවන මිථ්‍යා මත සහ වැරදි පුරුදු බහුලව පැවතිණි.
​ආගමික නායකයන් අතීතය පරමාදර්ශී කොට දැක්වුවද, දත්ත පෙන්වා දෙන්නේ අතීතය වර්තමානයට වඩා සෞඛ්‍ය සම්පන්න නොවූ බවයි. ලිංගික අධ්‍යාපනය යනු සදාචාරය පිරිහීමක් නොව, මවගේ සහ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරන, ළමා අපයෝජන වළක්වන සහ නිරෝගී පරපුරක් බිහි කරන මානව අයිතිවාසිකමකි.

leave a reply