Breaking News

වනසතුන් වෙනුවෙන් අභයභූමි තනාදී පඩි පතත් අහිමි කරගත් වනජීවී අඩවි ආරක්ෂකයා.

දිවයිනේ වැව් රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මීට කලකට පෙර රටේ ප්‍රධාන මාතෘකාවක් විය. කුමන බාධක පැමිණියත් එය සිදු කරන බව ආණ්ඩුවේ ඇමතිවරු එකල පාරම්බෑවෝය. නමුත් ඒ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්නට වැඩි කලක් ගතවුණේ නැත. ඒ හක්වටුණාව වැව් රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් නෙරපා කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත්වතිබූ එම භූමිය අලි ඇතුන් වෙනුවෙන් නිදහස්කර දීමට කැපවූ වනජීවී සංරක්ෂණ නිලධාරියෙකුට ආණ්ඩුවේ දේශපාලඥයින්ගෙන් එල්ලවූ කෙනෙහිළිකම් පිළිබඳව වාර්තා පළවීමත් සමගය. ඔහු විසින් සන්තකය පවරා ගැනීමට පැවරූ නඩු සියල්ලම මේ වන විට වන සතුනට ජයග්‍රහණය හිමිවන පරිද්දෙන් අවසන් වී ඇත. නමුත් එම විප්ලවීය කාර්යභාරයක් ඉටුකළ වරදට අත්තනෝමතික, අසාධාරණ හා අනීතික ස්ථාන මාරුවකට ලක් කෙරුණු වනජීවී සංරක්ෂණ නිලධාරියාට මේ වන විට චෝදනා පත්‍රයක සිර කර වාර්ෂික වැටුප් වර්ධකය පවා අහිමිකර තිබීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

එවකට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස කටයුතු කරමින් මෙසේ අසාධාරණයට ලක්වූ නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්න මහතා පිළිබඳව අප මුලින්ම කරුණු අනාවරණය කළේ ඉකුත් වසරේ ජූනි මස අගදී ය. නමුත් ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් 2025 සැප්තැම්බර් නමවැනි දාතමින් ඔහු අනීතිකව ස්ථානමාරු කිරීමේ ලිපිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් විය. ඒ පරිසර අමාත්‍යාංශය මගින් සිදුකරන ලද අංක ENV/INV/02/03/DWC/25/03 හා 2025. 08. 25 දිනැති මූලික විමර්ශන වාර්තාව පදනම් කරගනිමිනි. අපගේ මාතෘ භූමියේ වනජීවී සංරක්ෂණයේ අඳුරු දිනයක් සනිටුහන් කරමින් ඔහුව අනීතික හා දේශපාලනික ස්ථානමාරුවකට යටත්කර කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය වෙත අනුයුක්ත කර තිබුණි.

මෙම ස්ථානමාරුවට එකම හේතුව මෙම අඩවි ආරක්ෂකවරයා විසින් සන්තකය පවරා ගැනීම සඳහා නඩු පැවරූ කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ අනවසර ඉඩම් අතර ආණ්ඩුවේ හෙන්චයියෙකුගේ ඉඩමක්ද තිබීම බව මේ වන විට රහසක් නොවේ. එනයින් ආණ්ඩුවේ ප්‍රභලයැයි කියාගන්නා දේශපාළුවන් කිහිප දෙනෙක්ම චතුරට එරෙහිව ප්‍රසිද්ධියේ අවි එසැවීය. විවිධ අභූත චෝදනා එල්ල කරමින්, ඔහු කෙරෙහි ජනතාව කුපිත කරමින් ඔවුන් හැසිරුණු ආකාර සදාචාරවත් සමාජයකට නම් ඉතා අපුලය. එමගින් මෙම වනජීවී නිලධාරියාගේ ගමන මදකින් හෝ අඩාල කිරීමට නොහැකි වූ තැන ඔහුට එරෙහිව “ආණ්ඩු විරෝධී ක්‍රියා” සිදුකරන බව පවසමින් පෙත්සම් ගැසීමට ජාතික ජන බලවේගයේම පිරිස් කිසිම විලි බියකින් තොරව කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණයවී අවසන් ය. ඔහුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි කටයුතු කර ඇත්තේ ගොවි සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් බව කියන පුද්ගලයින් අට දෙනෙකු විසින් ඒවා ඇති දිනයක් පවා නොමැති පෙත්සමක් පාදක කරගනිමිනි. ඊට අමතරව මෙම අවංක සහ අභීත වනජීවී නිලධාරියාට “ආණ්ඩු විරෝධී” ලේබලය අලවමින් පෙත්සම් ගසන්නේ ජාතික ජන බලවේගය බලය හොබවන පොල්පිතිගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ පහළොස් දෙනාය.

කුමන මඩ ප්‍රචාර, කෙනෙහිලිකම් සිදුකළද ස්ථාන මාරු කලද එවකට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස කටයුතු කරමින් නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්න මහතා විසින් හක්වටුණාව වැව් රක්ෂිතය අනවසරයෙන් අත්පත් කරගෙන සිටි පුද්ගලයින්ට එරෙහිව මහව සහ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩු තිහක් මේ වන විට විභාග කර අවසන් කර ඇත. එමගින් අභයභූමියට ඈඳාගෙන ඇති භූමි ප්‍රමාණය අක්කර හැටකට වැඩිය. ඔහුගේ මෙම උත්සාහයෙන් සහනයක් සැලසුනේ කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ දිවි ගෙවන අලි ඇතුන් ඇතුළු සුවහසක් වනජීවීන්ට පමණක් නොවේ. අලි-මිනිස් ගැටුමෙන් බැට කන අවට ප්‍රදේශ ගණනාවක ජනතාවට ද එමගින් අස්වැසිල්ලක් ලැබෙනු ඇත. නමුත් එවැනි සංරක්ෂණ ප්‍රවේශයන්ගේ විද්‍යාත්මක පදනම “පන්දාහක් බැරිනම් දහදාහක්” කියමින් අතීසාරයට අමුඩ ගසන්නට තතනන ආණ්ඩුවේ ඔලමොළ දේශපාලඥයින්ට වැටහෙනවාද යන්න ගැටළු සහගතය.

වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්නගේ මෙම “ආණ්ඩු විරෝධී” රාජකාරී රටාව අද ඊයේ ඇතිවූවක් නොවේ. ඔහු වනජීවී සංරක්ෂණ සේවයට බැදුණේ 2012 ජුනි 7 වන දිනය. එතැන් සිට තමන් සේවය කළ කවුඩුල්ල, මඩු, කිලිනොච්චිය, උල්හිටිය සහ ගම්පහ යන සියලුම සේවා ස්ථාන වලදී ඔහු දිවි දෙවැනිකොට රාජකාරි ඉටු කිරීමට කැපවූ බව නොරහසකි. මුල් පත්වීම ලැබ කවුඩුල්ල ජාතික උද්‍යානයේ සේවයට ගිය දින සිටම ඔහුගෙන් වනජීවී අපරාධකරුවන්ට කිසිඳු සමාවක් හිමි නොවීය. එහිදී ඔහු විවිධ වනජීවී අපරාධකරුවන් සිය ගණනක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් විය. සෑමවිටම නෛතික රාමුව තුළ පිහිටා නීතිය අකුරටම ක්‍රියාත්මක කළ ඔහු මාස තුනක පමණ කාලයක් තාවකාලිකව වැඩබලන උද්‍යාන භාරකරු වශයෙන්ද කටයුතුකළ අතර එම කෙටි කාලසීමාව තුළ ජාතික උද්‍යානයේ විනය පවත්වාගෙන ගිය ආකාරය අදටත් හබරණ ප්‍රදේශයේ ජීප්රථ රියැදුරන්ගේ මතකයේ රැඳී ඇතිවාට සැක නැත.

ඔහු කිළිනොච්චි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කල සමයේ සම්පූරණ සේවා කාලය දින 450 ක් තුළ වනජීවී අපරාධ සම්බන්ධයෙන් පැවරූ නඩු ගණන 324 කි. වව්නිකුලම් අභය භූමිය, චුණ්ඩිකුලම් ජාතික උද්‍යානය, නාගර්කෝවිල් ස්වභාව රක්ෂිතය හා වැලි ඔය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඔහු ඇතුළු කාර්යමණ්ඩලය සිදුකරන ලද අති සාර්ථක වැටළීම් පිළිබඳව අදටත් එම ප්‍රදේශයේ ජනතාව කතා කරන්නේ ප්‍රශංසාමුඛයෙනි. නමුත් එතැනින් හේරත්ගම අඩවි ආරක්ෂකවරයා ලෙස පත්වීම් ලබා පැමිණෙන චතුරගේ රාජකාරී දිවියට අශුභ කලදසාවක් උදා වන්නේ ‘පුනරුද යුගය’ එළඹීමත් සමග වීම දෛවයේ සරදමක් වැනිය.

මෙරට සුවහසක් ජනතාව බලාපොරොත්තු දක්වාගත් ජනාධිපති අනුර කුමාර දිසානායකම පැවසූ ‘මේ ත්‍රාඩ දූෂිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමේ ජාතික පුනරුද යුගයේ’ දී චතුර වැනි අවංක සහ අභීත වනජීවී සංරක්ෂණ නිලධාරීන් කාර්යාල අඩස්සියට පත්වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව තුළද ඉහත කී ‘ත්‍රාඩ දූෂිත දේශපාලන වළල්ල’ ක්‍රියාත්මක වීම නිසා බව දැන් පැහැදිළිය.

විවිධ දේශපාලන වේදිකා වලදී ඔහු පැවරූ නඩු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ම ඉදිරිපත්කළ අසත්‍ය ප්‍රචාර, ඔහුට එරෙහිව ජනගත කළ වැරදි තොරතුරු පසෙකලා මෙම ලිපිය ලියන මොහොත වන විට ඔහු සන්තකය ආපසු පවරාගැනීමේ දැන්වීම් යැවූ සෑම නඩුකරයකම තීන්දු මහේස්ත්‍රාත් අධිකරණ මගින් ලබාදී ඇත්තේ වනසතුන්ගේ යහපත පිණිස විනා බොරුවම වැපිරූ දේශපාලන තක්කඩියන්ගේ හිතසුව පිණිස නොවේ. එලෙසම ඔහුගේ වසර දෙකක පමණ හේරත්ගම සේවා කාලය තුළ පමණක් ඔහු විවිධ වනජීවී අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා රජයට අයකරදී ඇති දඩ මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ අනූපහ ඉක්මවයි.

නමුත් අද වන විට ඔහු මූලික විමර්ශනයකට යටත්ව ස්ථාන මාරු සිදුකර වාර්ෂික වැටුප් වර්ධක පවා අහිමි කර මෙතෙක් කිසිඳු විධිමත් විමර්ශනයක් සිදු නොකර කුරුණෑගල සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ අඩස්සියට පත්කර තිබීම ජාතියේ අවාසනාවකි. එසේ සිදුකර ඇත්තේ ඔහුට එරෙහිව සිදුකළ මූලික විමර්ශනයේදී පවා ඔහු “ගෙන ඇති ක්‍රියාමාර්ග පවතින නීතියට පටහැනි නොවන බව” අනාවරණයවී ඇති පසුබිමකය. ඔහු ඇතැම් පුද්ගලයන්ට “වෙනස්කොට සලකා ඇති බව” පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති විමර්ශන වාර්තාවේ සඳහන් වුවත්, එසේ සඳහන් කර ඇත්තේ හක්වටුණාව ජලාශයේ උපරිම ජල සීමාව පවා අතික්‍රමණය කරමින් අනවසරයෙන් ඉඩම් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් නොවේද යන්න ඕනෑම නොදරුවෙකුට වුව වැටහේ. ඒ අනුව එක් පසෙකින් නීතිඥ චතුර ගුණරත්න වැනි අභීත සහ කාර්යශූර නිලධාරීන් වනජීවී අපරාධකරුවන් හමුවේ දන ගස්වා අනෙක් පසින් ආණ්ඩුව පෙන්වන ඊනියා පරිසර සංදර්ශන පමණක් නොව නීතියේ සහ විධානයේ ආධිපත්‍ය පිළිබඳ දෙසන වහසි බස් ද කවුරුන් රවටනු පිණිසදැයි විමසිය යුතුය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

leave a reply