Breaking News

2025 දීත් කළු ජූලිය තවමත් වැදගත් වන්නේ ඇයි?

අද, ජූලි 23 වැනි දින, 1983 දී කොළඹ සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ විරෝධී කෝලාහලයට වසර 42ක් සැපිරේ. මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාර හේතුවෙන් දෙමළ ජනතාව සිය ගණනක් මියගිය අතර දසදහස් ගණනකට තම නිවෙස්වලින් පළායෑමට සිදුවිය. යාපනයේ එල්ටීටීඊ ප්‍රහාරයකින් පසුව ප්‍රචණ්ඩත්වය ආරම්භ වූ අතර, එහිදී සොල්දාදුවන් 13 දෙනකු මියගියේය. මෙය එම වසරේ ජූලි 23 වැනි දින සිට, විශේෂයෙන් කොළඹදී සමූහ ප්‍රචණ්ඩත්වයේ රැල්ලක් ඇති කළේය. ඊළඟ සතිය තුළ සිදු වූ දේ තවමත් සම්පූර්ණයෙන් නොදන්නා අතර, ඇත්ත වශයෙන්ම කොපමණ පිරිසක් මියගියාද යන්න ඇතුළුව, බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු තවමත් නොලැබී පවතී. බොහෝදෙනකුට හානි සිදුවුවද, සිංහල සහ මුස්ලිම් පවුල් තම දෙමළ අසල්වැසියන් ආරක්ෂා කළ නිසා ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වයෙම් ආරක්ෂා විය. අදටත්, 1983 ජූලි මාසයේ සිදු වූ දේ සම්බන්ධයෙන් පැහැදිලි වගකීමක් නොමැත. එය නැවැත්විය හැකිව තිබියදී පවා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට හෝ නැවැත්වීමට අපොහොසත් වීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සහ 1990 ගණන්වල චෙම්මනි සමූහ මිනීවළ වැනි.
යුක්තිය ඉටුනොවූ වෙනත් අවස්ථා අපට සිහිපත් කර දෙයි.

ජනතාව අතර ගැඹුරු බෙදීම් ඇති කළ සහ සාමාන්‍ය නීති පද්ධතියට හැසිරවීමට නොහැකි තරම් විශාල වූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අරගල කළ එකම රට ශ්‍රී ලංකාව පමණක් නොවේ. සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ අදහස නිර්මාණය වූයේ මේ නිසා ය. ගැටුමකින් පසු, සත්‍යය සොයාගැනීමට සහ වගකිවයුත්තන් වගකිව යුතු බව සහතික කිරීමට රටවලට විශේෂ පද්ධති අවශ්‍ය බව අවබෝධ කරගැනීම මත එය පදනම් වේ. මෙම ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි සොයාගැනීමයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සහ චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ සත්‍යයට රජය මුහුණ දියයුතු සේම, 1983 කළු ජූලිය පිළිබඳ සත්‍යය ද අනාවරණය කරගත යුතුය. එය විවෘතව මහජනතාව සහ ලෝකය යන දෙපිරිසම එය දැකගත් අතර, ශ්‍රී ලංකා රජය එම මහාපරිමාණ ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට අපොහොසත් වූයේ මන්දැයි තේරුම් ගැනීම වැදගත්ය. මෙම අසාර්ථකත්වය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සහ විශේෂයෙන් සිංහල ප්‍රජාවේ කීර්තිනාමයට හානි කළේය.

යුරෝපයේ, ස්පාඤ්ය සහ සයිප්‍රසය වැනි රටවලට ද වසර 50 සිට 90 දක්වා සිදු වූ අතීත ප්‍රචණ්ඩත්වය සමඟ කටයුතු කිරීමේදී ගැටළු ඇති වී තිබේ. අද වන විට එම සිදුවීම් මතකයේ ඇත්තේ වැඩිහිටියන්ගේ පමණි. ශ්‍රී ලංකාවේ, වයස අවුරුදු 50 ට අඩු බොහෝදෙනකුට 1983 කළු ජූලිය ගැන ඇත්තේ ඉතා සුළු මතකයකි. නැතිනම් කිසිවක් දන්නේ නැත. මේ නිසා, සිදු වූ දේ පිළිබඳ සම්පූර්ණ සත්‍යය සොයාගැනීමට එතරම් මහජන පීඩනයක් නොමැත. එහෙත් ශ්‍රී ලංකාවට එක්සත් හා සාමකාමී රටක් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය නම්, දේශපාලන ගනුදෙනු ඇති කරගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. සැබෑ සංහිඳියාවක් අවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ, ඔවුන්ගේ වාර්ගිකත්වය, ආගම, කුලය හෝ සමාජ පන්තිය කුමක් වුවත්, සැමට සමානව, ගෞරවයෙන් සහ ආරක්ෂාවෙන් සලකන රටක් ගොඩනැගීමයි. ‘පද්ධති වෙනසක්’ පිළිබඳ පොරොන්දු මත තේරී පත් වූ වත්මන් ආණ්ඩුවට මෙම උත්සාහයට නායකත්වය දීමට විශේෂ යුතුකමක් ඇත. අතීත නායකයන්ගේ බොරු පොරොන්දු ප්‍රතික්ෂේප කළ සියලුම ප්‍රජාවන්ගෙන් පැමිණි ජනතාව විසින් ඔවුන් තෝරා පත්කර ගන්නා ලදී.

ඉදිරි දැක්ම

කළු ජූලියේ සත්‍යයට මුහුණදීමට සහ එවැනි ප්‍රචණ්ඩත්වය නැවත කිසිදා සිදුනොවන බවට වගබලා ගැනීමට සිහිතබා ගත යුතුය. සත්‍ය සහ සංහිඳියා කොමිසමක් නිර්මාණය කිරීමේ රජයේ සැලැස්මට 1983 ජූලි මාසයේදී සිදු වූ දේ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් ඇතුළත් කළ යුත්තේ එබැවිනි. මෙම කොමිසම සඳහා වන කෙටුම්පත් නීතිය මෙම අදහසට සහාය දක්වයි. පනත් කෙටුම්පතේ 12 වැනි වගන්තියේ සඳහන් වන්නේ, කොමිසම 1983 ජූලි 24 සිට 2009 මැයි 18 දක්වා උතුර සහ නැගෙනහිර පළාත්වල ගැටුමේදී සිදු වූ හානිය, ජීවිත හානි සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඉන් පසුව සිදු වූ දේ සොයාබලන බවයි. මෙයට කළු ජූලි කාලය පැහැදිලිවම ඇතුළත් වේ. එබැවින් එය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියෙන් බැහැර නොකළ යුතුය. යුක්තිය සහ සැමට සමාන අයිතිවාසිකම් අගය කරන රටක තරුණයන් හැදීවැඩීමට නම්, කළු ජූලිය පිළිබඳ සත්‍යය, සිදුවූයේ කුමක්ද සහ එය සිදුවූයේ ඇයිද යන්න ඉගෙන ගැනීමට ඔවුන්ට ඉඩදිය යුතුය.

එහෙත් ශ්‍රී ලංකාවට තම ඉතිහාසය ඉක්මවා ගොස්, එක්සත් හා සාධාරණ රටක් වීමට අවශ්‍ය නම්, අතීතයේ සිදු වූ දේ දෙස බැලීමට වඩා වැඩි යමක් කළ යුතුය. සැබෑ සංහිඳියාව යනු ගැටුම් සහ අසාධාරණ සැලකිලි සඳහා සැබෑ හේතු නිවැරදි කරන දේශපාලන ක්‍රමයක් නිර්මාණය කිරීමයි. සාමකාමී අනාගතයක් සඳහා, ශ්‍රී ලංකාවට, ඔවුන්ගේ වාර්ගිකත්වය, ආගම, කුලය හෝ සමාජ පන්තිය කුමක් වුවත්, සියලු ප්‍රජාවන් ආරක්ෂා කරන රජයක් අවශ්‍ය වේ. පසුගිය මාස දහය තුළ, වැදගත් වෙනස්කම් කිහිපයක් සිදුවී ඇත. නව ආණ්ඩුව අනවශ්‍ය රාජ්‍ය වියදම් කපාහැර දේශපාලන නායකයන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව අඩුකර ඇත. බොහෝ රජයේ කාර්යාල දැන් මුදල් සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් සහගතය. එසේම, දේශපාලන සංස්කෘතියද වෙනස්වෙමින් පවතී. දූෂණය තවදුරටත් නොසළකා හරිනු නොලබන අතර, පළමුවරට, හිටපු දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව නඩු පවරනු ලැබේ.

කෙසේවෙතත්, ආණ්ඩුව පොරොන්දු වූ සහ ජනතාව ඡන්දය දුන් ‘ක්‍රම වෙනස’ පිළිබඳ තවමත් ඉටුකර නොමැති එක් වැදගත් ක්ෂේත්‍රයක් පවතී. මෙය බලය බෙදාගැනීම, එය බලය බෙදාහැරීම ලෙසද හැඳින්වේ. බලය බෙදාගැනීමෙන් විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට ජාතික තීරණ ගැනීමේදී ඊට සහභාගී වීමට ඉඩ සැලසේ. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමට පෙර සිටම දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් මෙවැනි සහභාගීත්වයක් ඉල්ලා සිටියහ. බහුතර සහ සුළුතර ප්‍රජාවන් අතර දේශපාලන බලය සාධාරණ ලෙස බෙදාගැනීමට අපොහොසත් වීම, වසර 30ක සිවිල් යුද්ධයට සහ කළු ජූලිය වැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට තුඩුදුන් ජනවාර්ගික ගැටුමට ප්‍රධාන හේතුවක් විය. එල්ටීටීඊ සහ අනෙකුත් දෙමළ සටන්කාමී කණ්ඩායම් ආයුධ අතට ගත්තේ, දෙමළ නායකයන්ගේ සාමකාමී දේශපාලන උත්සාහයන් නොසළකා හැරීමෙන් පසුව පමණි. ඔවුන්ගේ අරමුණ වූයේ ප්‍රධාන වශයෙන් බහුතරය නියෝජනය කරන මධ්‍යම රජයක් විසින් සුළුතර ප්‍රජාවන් පාලනය කිරීම අවසන් කිරීමයි.

පළාත් සභා

1987 දී ආරම්භ කරන ලද පළාත් සභා ක්‍රමය, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සාධාරණ ලෙස බලය බෙදාගැනීමට උපකාරී වීම සඳහා නිර්මාණය කෙරිණි. එහෙත් 2018 සිට පළාත් සභා මැතිවරණයක් පවත්වා නොමැත. මෙයින් අදහස් කරන්නේ මෙම දෙවැනි මට්ටමේ රජය ක්‍රියාත්මක නොවන බවයි. මේ වන විට, පළාත් බොහෝදුරට පාලනය කරනු ලබන්නේ තේරී පත් වූ නායකයන් විසින් නොව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් විසිනි. ජාතික ජන බලයවේගය පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේ, මෙම පළාත් සභා මැතිවරණ මෙම වසර අවසන් වීමට පෙර පැවැත්විය යුතු බවයි. එම පොරොන්දුව ඉටුකිරීම සඳහා, මැතිවරණ සිදුවීම වළක්වන ගැටළු රජය ඉක්මණින් ඉවත්කළ යුතුය. මුළු රටටම බලපාන තීරණවලට සහභාගී වීමට වාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට බලය ලබාදීම ඉතා වැදගත් වේ.

පළාත් සභා ක්‍රමය යනු කාර්යාල පවත්වාගෙන යෑම පමණක් නොවේ. එය පළාත්වල තේරී පත් වූ නායකයන්ට වැදගත් තීරණ ගැනීමට හැකිවන පරිදි සැබෑ බලය ලබාදීමක් විය යුතුය. මධ්‍යම රජය ඕනෑවට වඩා බලය තබා ගත් විට, පළාත් අතර විශාල වෙනස්කම් ඇති කරන අතර අසමානතාව අඛණ්ඩව පවතී. ඊටත් වඩා නරක දෙය නම්, සිවිල් යුද්ධයට ප්‍රධාන හේතුවක් වූ, සමහර කණ්ඩායම් දේශපාලනයෙන් බැහැර කර ඇති බවක් දැනීමට හේතු වීමයි. අපි වෙනත් රටවල් දෙස බැලුවහොත්, පළාත් හෝ ප්‍රාදේශීය ආණ්ඩු හරහා බලය බෙදාගැනීම බහු සංස්කෘතික සමාජවල බහුලව දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, ඉන්දියාව එහි ප්‍රමාණය හා විවිධත්වය කළමනාකරණය කිරීම සඳහා ෆෙඩරල් ක්‍රමයක් භාවිත කරයි. ස්විට්සර්ලන්තය ඉතා කුඩා වුවද, එහි විවිධ ප්‍රජාවන්ට ගරුකිරීමට සහ ප්‍රාදේශීය කටයුතු කෙරෙහි ඔවුන්ට පාලනය ලබාදීමට ඒ හා සමාන ක්‍රමයක් භාවිත කරයි.  

නිදහසින් පසු, සියලු බලය මධ්‍යයේ තබාගැනීම දේශපාලනය හා ආර්ථිකය යන දෙකෙහිම අඛණ්ඩ ගැටළු ඇති කර තිබේ. අගනුවර වන කොළඹ ඉක්මණින් සංවර්ධනය වී ඇත. එහෙත් තවත් අනෙක් බොහෝ පළාත් පිටුපසින් සිටින අතර, ජාතික තීරණ ගැනීමේදී ඒවා බැහැර කර ඇති බවක් දැනේ. විශේෂයෙන් ගොවිතැන, අධ්‍යාපනය සහ මහජන සේවා ගොඩනැගීම වැනි වැදගත් ක්ෂේත්‍රවලදී, මධ්‍යම රජය විසින් ගනුලබන තීරණ බොහෝ විට අනෙක් පළාත්වල සැබෑ අවශ්‍යතා සමඟ නොගැලපේ. පළාත් සභා ක්‍රමය නැවත ගෙනඒම සහ ඒවාට තමන්ගේම මුදල් සහ තීරණ පාලනය කිරීමට අවස්ථාව ලබාදීම, මෙම විෂමතාව නිවැරදි කිරීමට උපකාරී වනු ඇත. එය රජය ජනතාවට සමීප කරනු ඇත. අද මෙය අන් කවරදාටත් වඩා වැදගත් ය. ශ්‍රී ලංකාව පුරා ජනතාව සැබෑ වෙනසක් ඉල්ලා සිටින අතර, සුළුතර ප්‍රජාවන්ට දේශපාලනයේ සැබෑ හඬක් අවශ්‍ය වේ. ශක්තිමත් පළාත් සභා ක්‍රමයක් ජනවාර්ගික කණ්ඩායම් අතර බෙදීම් වැළැක්වීමට සහ කළු ජූලිය වැනි ව්‍යසන නැවත සිදුවීම වළක්වාගැනීමට උපකාරී වනු ඇත.

ජෙහාන් පෙරේරා

leave a reply