Breaking News

IMF – ශ්‍රී ලංකා සාකච්ඡා පිළිතුරක් නොමැතිව අවසන් වේ! – CNBC වෙබ් අඩවිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පැවැත්වූ සාකච්ඡා අවසන් කොට ඇත්තේ දින 10කට පසුවද ණය පැකේජයක් පිළිබද අවසන් තීරණයකට එළැඹීමට නොහැකිවයි.

කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා IMF විසින් නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට අනුව ජුනි මස 20 වෙනිදා ආරම්භ වූ සාකච්ඡා මාලාව තවදුරටත් සිදු කරගෙන යාමට ඔවුන් පොරොන්දු වී ඇත. ඒ අනුව විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility – EFF) ලබා දීමට ඇති හැකියාව පිළිබද තවදුරටත් සාකච්ඡා කරන බව IMF ප්‍රකාශ කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව EFF පහසුකම නිර්මාණය කර ඇත්තේම බරපතල ගෙවුම් ශේෂ අසමතුලිතතාවයන් පවතින රටවල් වලට සහය වීම සදහායි. එමගින් දීර්ඝ කාල සීමාවක් තුළ පැවති ව්‍යුහාත්මක අසමතුලිතතාවයන් නිවරැදි කරගැනීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති වලට සහය වීම සිදු කරයි.
සතියකට පමණක් ප්‍රමාණවත් වන ඉන්ධන තොග පවතින සහ ඉන්ධන රැගත් නෞකා පැමිණීමට අවම වශයෙන් සති දෙකක කාලයක්වත් ගතවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව විසින් ඉන්ධන සැපයීම සීමා කර ඇති බවත් ඒ අනුව බස්, දුම්රිය සහ සෞඛ්‍ය සේවාවන්ට සීමිත සැපයුම් ලබා දීම සිදු කරන බවත් රොයිටර් පුවත් සේවයද වාර්ථා කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බවට වන තක්සේරුව පිළිබදවද සදහන් කරමින් IMF ප්‍රකාශ කර සිටින්නේ විධායක මණ්ඩලයේ අනුමැතිය සහිත පැකේජයක් සදහා ණය තිරසාරත්වය යළි පිහිටුවන බවට ශ්‍රී ලංකාවේ ණයහිමියන් විසින් ලබා දෙන ප්‍රමාණවත් මූල්‍ය සහතිකයක් අවශ්‍ය වන බවයි. මෙවැනි සන්දර්භයක් තුළ සාකච්ඡාවන් මගින් ඉලක්ක කරනුයේ සාර්ව ආර්ථික අසමතුලිතතාවයන් නිවරැදි කිරීම, ණය තිරසාරත්වය ඇති කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාව අවබෝධ කර ගැනීම සදහා වන සවිස්තරාත්මක ආර්ථික වැඩසහටහනක් නිර්මාණය කර ගැනීමටයි යනුවෙන් මාධ්‍ය ප්‍රකාශය තුළ වැඩිදුරටත් සදහන් විය.
‘බිඳවැටෙනසුළු රාජ්‍ය’

CNBC වෙත සිය අදහස් ඉදිරිපත් කළ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ශාන්ත දේවරාජන් ප්‍රකාශ කර සිටියේ IMF සමග එකඟතාවයකට පැමිණීමට ශ්‍රී ලංකාව ආසන්න බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අයවැය හිගය පහල දැමීමට සහ ණය තිරසාරත්වය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තීන් සහ වැඩසටහන් කීපයක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව ඉතා ආසන්න බව ” දේවරාජන් CNBC හි “Squawk Box Asia” වැඩසටහනට එක් වෙමින් පැවසීය.

වත්මන් අර්බුදයේ මූලය ලෙස ඔහු ඉදිරිත් කරන්නේ වසර තුනකට පෙර සිදු කළ බදු කපා හැරීමයි. ” අප දැන් මේ ඇති වී තිබෙන අවුලට හසු වී සිටින්නේ 2019 නොවැම්බර් වලදි රජය විසින් බදු විශාල ලෙස කපා හැරීම නිසයි. එකතු කළ අගය මත බදු (VAT) අනුපාතය 15% සිට 8% දක්වා පහත දැමු බව” දේවරාජන් CNBC වෙත ප්‍රකාශ කරන ලදි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට බිදවැටෙනසුළු රාජ්‍යක් බවට පත් වීමේ එළිපත්තේ සිටින බවයි.

” මේ වන විට බිදවැටෙනසුළු රාජ්‍යයක සියලුම ලක්ෂණ එය සතු වේ. මහ පාරේ ඇතිවන විරෝධතා පමණක් නොව ඉන්ධන සදහා පෝලීම්ද පවති. බොහෝ ස්ථාන වල පොලිසිය සහ හමුදාව සමගද ගැටුම් ඇති වෙමින් පවතින බව තවුරටත් ඔහු ප්‍රකාශ කරන ලදි.”
“මිනිසුන් මරණයට පත් වී ඇත; ඇතැම් තැන් වලින් වෙඩි තැබීම්ද වාර්ථා වේ. මෙය ඉතාමත් භයානක තත්ත්වයක්.”

උපුටා ගැනීම ප්‍රතිවාද වෙබ් අඩවියෙන් 

leave a reply