මිනිසා සිය හාත්පස පරිසරය ස්වාභාවික යනුවෙන් විශේෂකරණයට ලක් කරනුයේ තම බුද්ධිය කෘතීම එකක් ය යනුවෙන් හඳුනාගත් විට ය.
නොමැති නම් කෘතීම මිනිස් චින්තනය පරිසරය තමන්ගෙන් දුරස් කොට තබා ගන්නා ආකාරය ස්වාභාවික යන නාම විශේෂයෙන් රේඛාගත වේ.
එම බෙදීම හඳුනා නොගත් කවියකු අතින් බිහිවන්නේ හුදු සෞන්දර්ය වන්දනාලාප පමණි.
එහෙයින් කවියා තමන් වසන සමාජ පර්යාය ජයග්‍රහණය කිරීමේ අරමුණින් කවිය භාවිතා කරනවා මෙන්ම තමන්ගේම බුද්ධියෙන් බහිෂ්කරණය වූ ස්වභාවික පරිසරය ජයග්‍රහණය කිරීමටද කවිය භාවිත කරයි.
ඊට හේතුව සබුද්ධික කවියාට හාත්පස පරිසරය සිය සමාජ අවබෝධනය හා සමාජ විවේචනය සිහිපත් කරවමින් ඔහුගේ සිහිය සක්‍රීය කරවන නිසාය.
මෙම සක්‍රීයත්වයේ වෙහෙස කලාත්මක කවියක් බවට පත්වූ විට ඔහුගේ ආත්මය ලබනුයේ ප්‍රීති ප්‍රමෝදයෙන් හෙබි සැහැල්ලුවකි.
මෙම ප්‍රවේශය වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන “සුනිල මිණි” වෙනුවෙනි.
නිවුන්ට තමාගේ හාත්පස පරිසරය හැඟෙනුයේ ප්‍රාථමික මිනිසාට පරිසරය හැඟෙන නිකලැල් අර්ථයෙන් නොවේ. එය සමාජීය සත්තාව පිළිබඳ නිරීක්ෂණාත්මක විවේචනයන්ගෙන් දූෂණය වූවකි.
නිවුන්ගේ කවිය බිහි වන්නේ එම දූෂණය පරිසරයට ආරෝපණය කොට ප්‍රථමයෙන් පරිසරයත් දෙවනුව සමාජයත් ජයග්‍රහණය කිරීමේ උට්ඨාන වීර්යය නිසාය.
එහෙයින් නිවුන්ගේ කවිය ස්වභාවික පරිසරය කලාත්මකව දූෂණය කරන්නෙකි. එනිසාම ඔහුගේ කවියට ඇබ්බැහි වූවෙකුට පරිසරය නැවත සංජානනය වන්නේ ස්වාභාවික ලෙස නොව අදහස්මය ගොඩනැංවීමක් ලෙසිනි.
ඒ නිසාම ඔහුගේ කවිය ක්ෂණික වාගාලාපයක් වනවා වෙනුවට කිසියම් ආකාරයකට සහෘදයා නවතා අමතන සුලු ගුණයක් ලබයි
(මෙහිදී මා දූෂණය යන වචනය භාවිතා කරනුයේ සාධනීය අර්ථයෙනි).
ඔහුගේ ඇතැම් කවි ඔහු ඇඟිල්ල දිගු කොට අපට පෙන්වන සමාජය පිළිබඳ යථාවක් වනවා මෙන්ම අප වසාගෙන සිටින අපගේම ජාගර චෛතසිකයෙහි ආශා කලාප පිළිබඳ =සංඥාකාරකයකි=
පහත කවිය උපුටා නවතිමි
යාන්තම්
පොහොට්ටු මතුවුණු
මල් පැල
සල්පිල්වල
දිලිප් කුමාර ලියනගේ