Breaking News

රනිල්ගේ ආණ්ඩුව ගෙනා වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්න අලුත් ආණ්ඩුවක් මොකටද?

ආණ්ඩුව ලහි ලහියේ පසුගිය රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ගෙනා පනත් ඉදිරියට රැගෙන යාමට කටයුතු කරමින් සිටියි. විදුලි බල මණ්ඩල ( සංශෝධන) පනත් කෙටුම්පත යනු එවැනි එක් පනතකි. මේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ පාර්ලිමේන්තු විවාදය බ්‍රහස්පතින්දා ( 24) පැවැත්විමට නියමිතයි. මේවනවිට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මෙන්ම ප්‍රගතිශීලී බලවේග රැසක් මෙම විදුලි පනතට එරෙහි වෙමින් සිටියි. නමුත් ආණ්ඩුව නෑසු කන්ව මේ වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යනු පෙනේ. ප්‍රශ්නයක් ලෙස ඇත්තේ රනිල්ලා ගෙනා වැඩපිළිවෙලක් ඉදිරියට රැගෙන යාමට අලුත් ආණ්ඩුවක් අවශ්‍යද යන්නයි. රනිල්ලගේ ආණ්ඩුවටම මේවා කිරීමට තිබුණි.

විදුලි බල පනත සම්බන්ධයෙන් Youth for Change සංවිධායක ලේකම් ළහිරු වීරසේකර පැවසූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

එහිදී ලහිරු වීරසේකර වැඩි දුරටත් මෙසේ පැවසුවා.

“විදුලිබල පනත ගෙනාවේ රනිල්ගේ ආණ්ඩුව. විජේසේකරලා විදුලි බල පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විකුණන්න. කොටස් කරලා, සමාගම් වලට කඩලා, ඒ කොටස් කොටස් විකුණන්න පුළුවන්, පුද්ගලික අංශයට ඒවා මිලදී ගන්න පුළුවන් විදිහට ඒවා හදලා ලංකාවේ විදුලි බල මණ්ඩලයක් නැති කරන්න, විදුලි බල පද්ධතිය පුද්ගලීකරණය කරන්න තමයි විදුලි බල පනත ගෙනාවේ.“

ආණ්ඩුව බලයට එද්දී පනත අහෝසි කරන බව පැවසුවා. වතමන් කඩුවෙල නගරාධිපති එවකට විදුලි බල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සභාපති රන්ජන් ජයලාල් විසින් විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මෙම පනත ගිනි තැබුවා. නමුත් දෛවයේ සරදමක් ලෙස ඔහු විසින්ම විදුලි මිල වැඩි කිරීම සහ විදුලි බල පනත ගෙන ආ යුත්තක් බව පවසමින් ආණ්ඩුවේ අර්බුධකාරී ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමට සිදු ඇති බව ලහිරු වීරසේකර පවසයි.

කලින් තිබූ පුද්ගලීකරණය යන කොටස මෙම පනතෙන් ඉවත් කර ඇති බවට ආණ්ඩුව පැවසුවද මණ්ඩලය කොටස් වලට කැඩීමට සුදානම් වන්නේ සමාගම් ලෙසටය. ඒවා රාජ්‍ය සමාගම් වුවද මේවායේ කොටස් විකිනීමට හැකියාව පවතින අතර පුගලික අංශයට මේ සඳහා මැදිහත් විය හැකි ආකාරයට සම්පූර්ණයෙන්ම ඉඩ විවෘත කර මෙම පනත ගෙන ඒමට සුදානම් වන බව වීරසේකර පවසයි.

සේවක අයිතීන්, සේවකයන්ගේ අදහස් සහ ජනතාවගේ අදහස් සහ පය 24ම විවෘත කර තිබෙන රාජ්‍ය ආයතන වැනි කතන්දර කියමින් පැමිණි ආණ්ඩුව IMF කොන්දේසි ඉදිරිපිට ඉතාම නිර්ලජ්ජිත ලෙස දණගසා මුල්‍ය කළමනාකරණ පනත්, ණය කළමනාකරණ පනත්, ආර්ථික පරිවර්තන පනත් වැනි රනිල් ගෙනා අත්තනෝමතික පනත් වලට මේ ආණ්ඩුව විසින් සුජාතබාවය දෙන බව ලහිරු වීරසේකර පැවසුවා.

ඒ අනුව විදුලිබල පනත සම්මත කිරීම යනු අන්කිසිවක් නොව මේ ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවට පයින් ගැසීමක් පමණක් නොව ලංකා විදුලි බල මණ්ඩලය යනුවෙන් ආයතනයක් ලංකාවට අහිමි වීමයි. ආණ්ඩුව සතුව ඇති ආණ්ඩුවට හැසිරවිය හැකි ජනතාවගේ අයිතිය ඇති බලශක්ති ස්වාධිපත්‍ය ක්‍රම ක්‍රමයෙන් පුද්ගලික අංශයට, සමාගම් වලට සහ බහුජාතික සමාගම් වලට විකිණීමට ආණ්ඩුව මුලපුරා ඇත.

එසේම විදුලි බල මණ්ඩලයේ සේවකයින් මෙම පනතට සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතාවය දක්වන නමුත් ආණ්ඩුව එම විරෝධතා තඹ දොයිතුවකට මායිම් නොකරන බව පවසමින් ලහිරු වීරසේකර වැඩි දුරටත් සඳහන් කළේ ජනතාව මේ සඳහා මැදිහත්ව විදුලි බල මණ්ඩලය රැක ගැනීමටත් බලශක්ති ස්වාධිපත්‍ය ආරක්ෂා කර ගැනීමටත් පෙරට ආ යුතු බවයි.

leave a reply