Breaking News

ඉන්දියාව සමග අත්සන් කළ අවාසිදායක ගිවිසුම්වලින් ඉවත් වෙන්න තවමත් කාලය තියනවා.- දුමින්ද නාගමුව

” ලංකාව ඉල්ලක්ක කරගෙන ඉන්දියාව කරනු ලබන මැදිහත් වීම් ගැන අපි රටේ ජනතාව දැනුවත් කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. අපි අද සම්මන්ත්‍රණය සංවිධානය කලේ ” ගෙරිහංකඩ එලාගන්න ඉන්දියාවට ඉඩ දෙනවද ? ” කියන මාතෘකාවෙන්. එදා පෘතුගීසින් ගෙරිහංකඩ එලන්න අවසර අරගෙන අන්තිමට ගෙරි හම කෑලි කෑලිවලට කපලා තමයි තමන්ගේ භූමිය විශාල කරගත්තේ. එදා ඉතිහාසෙදි එවකට කෝට්ටේ රජු පෘතුගීසින්ගේ උපායට රැවටුණා. දැන් අදත් ඉන්දියාව ලංකාවට ඇවිත් ගෙරිහංකඩක් එලන්න සූදානම් වෙමින් ඉන්නවා. දෙවැනි පාරත් අපි මේ ගෙරිහංකඩ එලීමට රැවටෙනවද ? කියන ප්‍රශ්නය අපි ඔබෙන් අහනවා.

අද වෙද්දි ලෝකය ඉන්නේ වෙළඳ යුද්ධයක් අබිමුව. ට්‍රම්ප්ගේ නව බදු පැනවීම් එක්ක මුළු ලෝකයම විශාල කැළඹීමකට ගියා. ට්‍රම්ප් ගේ බදු ප්‍රතිපත්තිය යම් විදිහකට හකුළා ගත්තත් ඒ ඇතිවුණු දේශපාලන අර්බුදය තවමත් අවසන් නෑ. අපි දන්නවා ඇත්තටම ඇමරිකාව ලෝක ආර්ථිකයේ බලවත් අඩියකට ආවේ ආයුධ සහ ඩොලර් නිශ්පාදනය තුළින්. ඒකට අදාළ දේශපානය ඔවුන් හැසිරෙව්වේ එකසත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දැවැන්ත ජාලයක් මගින්. නමුත් අද වෙද්දි චීනයේ ආර්ථික නැගීමත් එක්ක ඇමරිකානු ආධිපත්‍යයේ තිබුණු ලෝක ආර්ථික බලය අද වෙද්දි ඔවුන් අතින් ගිලිහෙමින් යනවා. දැන් ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රවේශය කියන්නේ මුළුමනින්ම චීන ආර්ථික නැගිටීමට එරෙහි යුද්ධයක් බවට පත් වෙලා. ඒක නිසා තමයි දැන් ඇමරිකාව නැවත නිශ්පාදන ආර්ථිකයේ බලය තමන්ගේ අතට ලබා ගන්න උත්සහා කරමින් ඉන්නේ.

      ඇමරිකානු සහ චීන වෙළඳ යුද්ධයේ ප්‍රකාශනයක් තමයි අද වෙද්දි ආසියානු කලාපය දිහාවටත් හැරෙමින් තියෙන්නේ. මොකද අපි දන්නවා ලෝක දේශපාලන සහ ආර්ථික බලය හැසිරවීමේදී ආසියානු කලාපය සහ ආසියානු සාගරයේ බලය භූ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත්. තව අවුරුදු පහකින් ලෝක ආර්ථික බලවතා විදිහට මෙච්චර කල් තිබුණු ඇමරිකාවේ ඔටුන්න ගැලවීම ආසන්නයි. ඒ අහිමි වීමේ වියරුවත් එක්ක තමයි අද ආසියානු කලාපය දිහාවට ඇමරිකාව යොමු වෙලා තියෙන්නේ. එහෙම තත්වයක් ඇතුළේ තමයි අපි අද ඉන්දියාව විසින් ලංකාවට කරනු ලබන මැදිහත්වීම් ගැන බරපතළව සාකච්ඡා කළ යුතු වන්නේ.

අපි දන්නවා ඉන්දියාව පසුගිය කාලේ ඉන්දියාව එක්ක ගිවිසුම් 7ක් අත්සන් කළා. බලශක්ති හුවමාරු ගිවිසුම, ඩිජිටල් සහයෝගිතා ගිවිසුම, ත්‍රිකුණාමලේ බලශක්ති මධ්‍යස්ථානය, ආරක්ෂක සහයෝගිතා ගිවිසුම, සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම ඇතුළු ගිවිසුම් 7ක් ඊට ඇතුලත්. නමුත් අදටත් ආණ්ඩුව නිල වශයෙන් මේ ගිවිසුම් සහ ඒවායේ ඇතුළත් කරුණු මොනවද කියලා රටට හෙළිදරව් කරලා නෑ. අපි දන්නවා ඉන්දියාව අද වෙද්දි ඉන්නේ ලෝක ආර්ථිකයේ දෙවැනි බලවතා වීමේ උත්සහයක. ඒ සඳහා ඇමරිකානු බල කඳවුර වටා තමයි ඉන්දියාව පෙළගැහෙමින් ඉන්නේ. එතකොට ඒ ඉන්දියාව එක්ක අපි ගිවිසුම්ගත වෙනවා කියන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි තල්ලු වෙන්නෙත් ඒ ඉන්දියානු උපායමාර්ගය දිහාවට. දැනට අපිට තියෙන තොරතුරු අනුව මේ ගිවිසුම්වල ප්‍රශ්නයක් ඇති වුනොත් අපිට ජාත්‍යන්තර අධිකරණයක සහයෝගය ගන්න බෑ. අපිට ඕන විදිහට ගිවිසුම්වලින් ඉවත් වෙන්න බෑ. ගිවිසුම්වල තියෙන විදිහට ඕන ප්‍රශ්නයක් රටවල දෙක අතර කතාකරලා තමයි විසඳගන්න ඕන. බලවත් ඉන්දියාවයි අපේ රටයි ප්‍රශ්නයක් කතාකරන්න ඉඳගන්නවා කියන්නේ හාවගෙයි සිංහයගෙයි සාකච්ඡාවක් වගේ වැඩක්. එහෙම සාකච්ඡාවක් කෙළවර වෙන්නේ කොහොමද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නෑ.

 මේ ගිවිසුම් අතර තියෙන විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධ ගිවිසුම බැලුවම පේනවා සම්පූර්ණයෙන්ම ඒ ගිවිසුම හැදිලා තියෙන්නේ අදානිගේ වෙළඳ උවමනාවන් එක්ක. සමහරු කියනවා මේ ගිවිසුමෙන් අපිට ආර්ථික ලාභ ලැබෙනවලු. හැබැයි වෙන්නේ ඒක නෙමෙයි අපේ භූමිය අපේ සම්පත් පාවිච්චි කරල අදානි ඉන්දියාවට විදුලිය විකුණනවා. එතකොට ඒ වාසිය යන්නේ අදානිගේ සාක්කුව්ට. අනිත් එක තමයි මේ විදිහටම අදානි එක්ක ගිවිසුම් ගහලා විදුලිය ලබාගත්ත බංගලාදේශයට අන්තිමට මොකද වුනේ ? අද අදානි මේන් ස්වීච් එකට අත තියාගෙන බංගලිදේශයේ දේශපාලනයට ඇඟිලි ගහන්න පටන් අරගෙන. හෙට ලංකාවටත් මේ ටිකම කරගන්න ද ආණ්ඩුව මේ උත්සහා කරමින් ඉන්නේ ? බංගලිදේශයේ ගිවිසුම අනුව ඔව්න්ගේ රටේ අවශ්‍ය ප්‍රමාණයට ජල විදුලිය තිබුණත් ඔවුන් අදානිගෙන් විදුලිය මිලදී ගන්න ඕන. ඒ තත්වයට තමයි ගිවිසුමෙන් බංගලිදේශය හිර කරලා තියෙන්නේ. දැන් ලංකාවෙ අත්සන් කළ ගිවිසුමේ තියනවා ඉන්දියානු විදුලි හුවමාරුවේදි බදු අය කරන්නෑ කියලා වගන්තියක්. එතකොට කොහොමද අපිට ආර්ථික වාසියක් ලැබෙන්නේ ? දැන් කෙනෙක් කියන්න පුලුවන් ඔය ගිවිසුම් අද අත්සන් කලාට ඕවා ක්‍රියාත්මක වෙන්න කාලයක් යයි කියලා. හැබැයි මේ ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ක්‍රියාත්මක කළ යුතු දින වකවානු එක්ක.

අපි දන්නවා මේ මෑතක ඇති වුණු ඉන්දු පාකිස්තාන අර්බුදයේදී ඉන්දියාව හැසිරිච්ච විදිහ. පකිස්තානයේ ජල අවශ්‍යතාවෙන් විශාල ප්‍රමාණයක් සැපිරෙන සින්දු ගංගාවේ ජලය මුදාහැරීම නවත්වන තීරණයක් පවා ගන්න ඉන්දියාව පසුබට වුනේ නෑ. ඒ ඉන්දියව එක්ක ලංකාව ප්‍රශ්නයක් ඇති කරගත්තොත් ඔවුන් මොන විදිහේ ක්‍රියාමාර්ගවලට යාවි ද ? ඒක නිසා තමයි අපි කියන්නේ ඉන්දියාව එක්ක මේ අත්සන් කරන ගිවිසුම් නිසා ඉදිරියේදී අභියෝගයට ලක් වෙන්නේ ලංකාවෙ දේශපාලන ස්වරීත්වය.

අනිත් එක තමයි ත්‍රිකුණාමල බලශක්ති මධ්‍යස්ථාන ගිවිසුම අනුව එකඟ වෙලා තියෙන්නේ ඉන්දියාවේ සිට ලංකාවට තෙල් නලයක් එලන්න. ත්‍රිකුණාමල ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉඳි කරන්නත් මෙමගින් අවසර දීලා. දැන් මේ ව්‍යාපරවලට අදාළව ලංකාවට එන අයට මේ ගිවිසුම් අනුව ඕන සෙල්ලමක් දාන්න පුලුවන්. මේ ගිවිසුම්වල කාරණා ඉටු කිරීමේදි ලංකාවේ පුරවැසියෙක්ට යම් අගතියක් වුනොත් ඔහුට බෑ නීතිය ඉදිරියට යන්න. මේ ගිවිසුම් අත්සන් කිරීමේදි ගිවිසුම්වල අඩංගු කරුණු හෙළි නොකර ඉන්න අවශ්‍ය නීතිමය බැඳීමක් එක්ක තමයි අත්සන් කරලා තියෙන්නේ. එතකොට කවදාවත් රටේ ජනතාවට මේ ගිවිසුම්වල කරුණු දැනගැනීමේ අයිතිය ලැබෙන්නේ නෑ.

ඉන්දියාව එක්ක අත්සන් කළ ගිවිසුම්වලින් බරපතළම ගිවිසුම තමයි ආරක්ෂක ගිවිසුම. මේ ගිවිසුම අනුව අපි එකඟ වෙලා තියනවා ඉන්දියානු යුධ නැව් අලුත්වැඩියා කරන්න ලංකාවේ භූමිය පාවිච්චි කරන්න ඉන්දියාවට ඉඩ දෙනවා කියලා. යුද්ධයකදී ලංකාවේ රෝහල් සෞඛ්‍ය පහසුකම් ඉන්දියානු හමුදාවට ලබාදෙන්න අපි එකඟ වෙලා. අනිත් එක අපේ රටේ සාගර සිතියම්ගත කිරීමේ අයිතියත් ඉන්දියාවට ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් නෞකාවලට සිතියම් විකිණීමෙන් රටට ඩොලර් ආදායමක් උපයන්න පුලුවන්. ගණනයන කිරීම් අනුව අවුරුද්දකට ඩොලර් මිලියන 8ක් උපයන්න පුලුවන් ආදයම් මාර්ගයක් මේ. හැබැයි අනුර දිසානායක එකඟ වෙලා තියෙන්නේ ඒ ආදායමත් ඉන්දියාවට පවරන්න. මේ ගිවිසුම අනුව අපිට වෙන රටක් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්නත් බෑ. ඒ කියන්නේ ඉදිරියේදී ඇතිවන කවර යුද්ධයකදී වුනත් අපිට වෙනවා ඉන්දියාවේ පැත්ත ගන්න.

  මීට අමතරව සෞඛ්‍ය ගිවිසුම අනුව එකඟවෙලා තියනවා අපේ රටට තත්ව පරික්ෂාවකින් තොරව ඉන්දියානු ඖෂධ ගෙන්නන්න. අපි මෙච්චර කාලයක් අපේ රටට ඖෂධ ගෙනාවේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය අනුව. හැබැයි ඉන්දියානු ප්‍රමිතිය යටතේ ඖෂධ ගෙනන්න ආණ්ඩුව එකඟ වෙලා. නමුත් ලෝකයේ කිසිම රටක් අද වෙද්දි ඉන්දියානු ඖෂධ පිළිගන්නෙ නෑ. සුළු රටවල ප්‍රමාණයක් ඉන්දියන් ඖෂධ පාවිච්චි කරනවා. ඒ ඉන්දියානු බලහත්කාරය නිසා. දැන් අපිටත් වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්නන බාල බෙහෙත් බොන්න.

  අපි දන්නවා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ඡ්න්ද පදනම ලක්ෂ 23කින් පහත වැටුණා. එහෙම තත්වයක් ඇති වුනේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ආණ්ඩුව යන පාර ගැන ජනතාව තුළ ඇති වුණු ව්‍යාකූලත්වය. මේ ගිවිසුම් අඩුමතරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්වත් දන්නේ නෑ. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා බලය ගත්ත ආණ්ඩුවක් අද පාර්ලිමේන්තුවට සහ ජනතාවට හංගලා ගිවිසුම් අත්සන් කරන්න පටන් අරගෙන. මේ බිඳවැටෙන්නේ නව දේශපාලන සංස්කෘතියක් ගැන ජනතාව තිබ්බ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු බිඳවැටීම නිසා ඇති වුණු ව්‍යාකූලත්වය තමයි ආණ්ඩුවේ ඡන්ද පදනම පසුබෑමකට ලක් වුනේ. ඒ නිසා ආණ්ඩුවට කියන්න තියෙන්නේ දැන්වත් මේ ගිවිසුම් රටට හෙළි කරන්න. සහ මේ ගිවිසුම්වලින් ඉවත් වෙන්න තවමත් අපිට කාලය තියනවා. ලංකාවෙ දේශපාලන ස්වරීත්වය අහිමි කරන රට ආර්ථික උගුලක හිර කරන ඉන්දියානු ගිවිසුම්වලින් වහාම ආණ්ඩුව ඉවත් වෙන්න ඕන. සමහරු අහනවා නිකං තියෙන තෙල් ටැකි වරාය ඉන්දියාවට දුන්න මොකද ? කියලා. ඒ තර්කයට යනවා කියන්නෙම ඉස්සරහට මුළු රටම ඉන්දියාවට දෙන්න වෙනවා.

    එළඹෙන සැප්තැම්බර් මාසේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියානු අධිකරණ තීන්දුවක් ලබාදෙන්න නියමිතයි. දැන් ජවිපේ නායකයෝ කච්චතිව් දූපත ඉන්දියාවට පවරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි දන්නවා ඉන්දියානු සමාගම්වල දැවැන්ත බෝට්ටු අදටත් ලංකාවේ මුහුදු සීමාවට ඇවිල්ලා බලහත්කාරයෙන් අපේ රටේ මත්ස්‍ය සම්පත් සූරගෙන යනවා. එහෙම තත්වයක් ඇතුලේ අපි කච්චතිව් දූපතත් ඉන්දියාවට දුන්නම අපේ රටේ ධීවරයට වෙන්නේ මුහුදෙ ගිලිලා මැරෙන්න. දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා සමස්ත සමාජයම අනතුරක වැටිලා ඉන්නේ. ගොවියා ධීවරයා කම්කරුවා ගුරුවරයා මේ හැමෝගෙම ජීවිත රැකියාව තියෙන්නෙ අවදානම් තත්වයක. මේ ආණ්ඩුව ඉදිරියේදී මෙවැනි අත්තනෝමතික විනාශකාරී ප්‍රතිපත්ති නිසා දේශපාලන අර්බුදයකට යන්න නියමිතයි. ඒක නවත්ත්න්න නම් ජනතාවට වෙනවා මේ ආණ්ඩුවට මැදිහත් වීමක් කරන්න. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කළ හැකි මහජන බලයක් රටට අවශ්‍යයි. අන්න ඒ මහජන බලය ගොඩ නංවන්න එකටුවෙමු කියන ආරාධනාව අපි මේ වෙලාවෙ රටේ ජනතාවට කරනවා."

leave a reply