පෙරදිග කාව්‍ය චින්තනයට අනුව “රසය ආත්මය කරගත් වැකිය” කාව්‍යයයි. එම රසය වූ කලි තමන් විඳ අවබෝධ කරගත යුත්තකි. නෙතින් යමක් දැක තුටු සිත් ඇතිවන්නේ යම් සේද මනසින් යමක් දැක වටහා ගත හැකි වන්නේ නම් ඒ සිය දහස් ගුණයකින් වටිනවා නොවන්නේදැයි මට සිතෙයි. ධනංජය බණ්ඩාර සොයුරාගේ “බිංගෙය පසුකර බිංගෙය” කාව්‍ය සංග්‍රහය මා අත පත් වූයේ මීට මාස දෙකකට පමණ පෙරාතුව වුවත් විවිධාකාර හැල හැප්පීම් සමග නිදහස අවම වශයෙන් විඳිමින් ගෙවනා තවත් කර්කශ කාලයක් පසු කරමින් සිටින මා හට විවේකයක් ලැබෙනවා නම් ඒ කලාතුරකින්ය . එම නිසා නිදහසේ පොත කියවා අවබෝධ කරගන්නට මට ප්‍රමාද විය .” ඒ පිළිබඳව ධනංජය මට සමාවෙන්න”
” මනුෂ්‍ය අභ්‍යන්තරික භූමි දර්ශනය වෙත කවුළු විවර කරන කවියක්” වශයෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති ශූරීන් ධනංජයගේ කවි පොතේ පෙරවදන අරඹන්නේය. මෙතෙක් මා කියවා ඇති ධනංජයගේ කවි වලට අනුව හේ නව පරපුරේ ප්‍රතිභා සම්පන්න කවියෙකි. අව්‍යාජ මිනිසෙකි වඩා සූක්ෂම ලෙස විවිධාකාර සිදුවීම් නිසඳැස් කාව්‍යයන් වෙත ගොනු කරන්නට ඔහු සමත් වෙයි.
ධනංජයගේ කවි අතර මොහොතකට ගිලෙමි. ” “කවියකු කාව්‍ය සංකල්පනා ලෙස මවන ලෝකය මහා බ්‍රහ්මයා පරමාණුවලින් නිපදවන ලෝකයට වඩා බෙහෙවින් වෙනස් “යැයි මට්මටාචාරීන් විසින් කර ඇති විග්‍රහය සාධාරණ යැයි ධනංජයගේ කවි කියවද්දී මට සිතෙයි. භෞතිකව අප අත්විඳින විවිධ රසයන් කවියන් වෙනත් ආකාරයකින් ජනිත කරවයි. ධනංජයගේ කවි පොතේද එවැනි විවිධ රසයන්ට අයත් කවි දක්නට ලැබෙයි. එකී විවිධ රසයන්ගෙන් යුත් කවි අතරේ මා තදින් අල්ලා ගන්නට සමත් වූ කවිද
බොහෝමයකි.
ඒ අතර
“නව මගක් තිබේ නම් ” යන හිසින් ඔහු රචනා කළ කෙටි කවිය ධනංජයගේ කාව්‍ය කුසලතාවය සැණෙකින් වටහා ගත හැකි අන්දමට නිර්මිතය.
සර්පයකු දමා ගිය
සුන්දරම පණිවුඩය
නව මඟක් තිබේ නම් ” නුඹ”
හැර දමා යා යුතුය හැව
වර්තමාන ලෝකය හා සංසන්දනය කළ විට අපටද මෙකී යථාර්ථයට මුහුණ දීමට සිදුවනු ඇත. සර්පයා කියන පණිවුඩය එයයි. ඉතින් මං ඔබෙන් අසමි නව මඟක් තිබේනම් අප හැර දමා යා යුතු නොවන්නේද හැව.
ධනංජයගේ කවි කවියක අභ්‍යන්තරය කියවීමට අපහසු පාඨකයකුට කිහිප වරක් කියවන්නට සිදුවනු ඇත. ඔහුගේ මා දකින විශේෂත්වයද එයයි. ” බිංගෙය පසුකර බිංගෙය” කෘතියේ එන සියලුම නිසඳැස් නිර්මාණ පාහේ එවැනි ව්‍යංගාර්ථවත් භාෂාවකින් ඉපැද්ද වූ ඒවාය .
“වැට පනී මල් වැල”
නිර්මාණයද එවැන්නකි.
නෙක් විසිතුරු පාන වනසංරක්ෂිත භූමියේ සිට මනමාලකම් කර
වන මල් වැල
දොඩන්නේ නැතිවම
වැට පනියි දින දින
ඇසක් ඉඟි බිඟි කර
මල් මල් වෙලා හැඩ කරයි බිම
සරල බස් වහරකින් අපූරු ධ්වනියක් මතු කරන කවියකි එය. දෙමාපිය සෙවනේ බොහෝ රැකවල් මැද හැදෙන ළදැරියක් යුවතියක් වන ආකාරයත් තාරුණ්‍යයේ ඇතිවන හැඟීම් අස ඇය මංමුලා වන ආකාරයත් ඉනික්බිති පියා කවුරුන්දැයි නොදන්නා දරුවන් කොහේ හෝ කිසිවෙකුට හෝ පවරා ගොඩ වෙදෙකු නැත්නම් වෙදකමක පිහිට පතා මිය යන ආකාරයත් චිත්තරූප මවමින් රචනා කර ඇත.
අරමුණු පෙරදැරිව යන එන බඹරෙකුට විවර කරයි පෙරවරුත් පස්වරුත්
එක සේම ඉන්නට කියා බඹර තුඩ මුව සිඹියි.
බැරිම තැන එයින් මිදී ….
වැට පැන්න හාවෙකුට මුවෙකුට ගෝනෙකුට ඌරෙකුට පළතුරු පුදයි….
හැට පැන්න ගොවියෙකුගෙ වල් බෙහෙතකට මුනිනතට හැරී සුවසේ නිදියයි.
මල් කෙසේ වැට පැන ආවත් බඹරුන්ට අවැසි පැණි පමණමය. ඈ කොතෙක් ඇවිටිලි කළද බඹරිඳු රඳන්නේ නැත . අවසන වල් බෙහෙතකින් ජීවිතයම විනාශ කරගන්නා අයුරු ඉතාමත් සංයමයෙන් කවියා ගෙනහැර දක්වයි. මේ හරහා නූගත්කම , සමාජ විෂමතාවය , සංස්කෘතිය සදාචාරය තුළ ඇති අඬුලුහුඬු පවා අපට පෙනී යයි. ඒවා විමසීම ඉතා බැරෑරුම් කාර්යයකි. මේ ආකාරයට ධනංජය බණ්ඩාර සිය පෑන මෙහෙයවන්නේ තෝරාබේරා ගැනීමෙන් යුතුව අරපරෙස්සමට බව පැහැදිලි වෙයි… අනාගතයේ සම්මානිත කිවිඳෙකුගේ පෙරලකුණු දකිනා ධනංජය කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ස්පර්ශ කරනු ඇතැයි සිතමි. එසේම සහෝදර කිවිඳාට සුබ අනාගතයක් වේවායි ද පතමි….