Breaking News

කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් – ආණ්ඩුව ජනතාවට වරද පටවන සුපුරුදු ප්‍රතිපත්තියේ

අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මෙන්ම කාර්යාලවල රාජකාරී කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එසේ නොවුනහොත් ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමේ අවදානමක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර ඇත.

නමුත් අලුත් අවුරුදු සමය යනු ජනතාව විවිධ ප්‍රදේශවල සංචාරය කරන සහ සාමූහික වශයෙන් එකතුවීම් වැඩි උත්සව අවස්ථාවක් වුවත් රජයේ පාර්ශවයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. අලුත් අවුරුදු සමයෙන් පසු රෝගීන් වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ සති කිහිපයක සිට අනතුරු අඟවා තිබුණි.

දැන් ආණ්ඩුව සූදානම් වන්නේ වෙනද කරන ලෙසම ජනතාවට වරද පටවා තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලාගන්නා ලෙස දැනුම් දී පැත්තකට වීමයි.

කුරුණෑගල ගම්මානයකට සංචරණ සීමා

කොවිඩ් ආසාදිතයන් 29 දෙනකු හඳුනාගැනීමෙන් කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානය අද ( 18) සිට හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබීය.

තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා ඇති අතර පවුල් 540 කට වැඩි ප්‍රමාණයකට අයත් පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් දැකගත හැකි බව උපුල් රෝහණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

“ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් වාර්තා වෙනවා අපිට පේන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා.” ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අතර කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හෙයින් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර පවසයි.

එසේම විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි යැයි හෙතෙම කීය.

ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි පරිස්සම් විය යුතු යැයිද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙවර සින්හල හින්දු අලුත් අවුරුදු සමයේදී ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බවද සෞඛ්‍ය බලධාරීන් චෝදනා කර තිබේ.

leave a reply