Breaking News

යෝශිත රාජපක්ෂ වැනසූ පඳුරු මැඩියෝ

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ශ්‍රී ලංකාවේ උභයජීවී විශේෂ 120 ක් පමණ වාර්තා වේ. ඉන් විශේෂ 107 ක් මෙරටට ආවේණික වෙයි. එය 89% ක ඉතා ම ඉහළ ආවේණිකතා ප්‍රතිශතයකි.

උභයජීවීන් අතුරෙන් Pseudophilautus ගණයට අයත් පඳුරු මැඩියන් ගේ විශාල විවිධත්වයක් මෙරට දැකි ය හැකි ය. මෙම ගණයට අයත් පඳුරු මැඩියන් විශේෂ 77 ක් ලංකාවේ වාර්තා වේ. එම සියලු ම විශේෂ මෙරටට ආවේණික වේ. එම විශේෂ අතුරෙන් 17 ක් මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය සියවස තුළ මෙරටින් නැතහොත් මිහිමතින් වඳ වී ගොස් ඇති බව තහවුරු කර තිබේ. අනෙක් විශේෂ සියල්ල ම ඉතා ම සුළු ව්‍යාප්තියක් දරන දුර්ලභ විශේෂ වේ.

සිංහරාජ අඩවියේ මෝර්නිංසයිඩ් ප්‍රදේශයෙන් හමු වූ නිදර්ශකයක් භාවිතයෙන් 2005 වසරේ දී කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි හා රොහාන් පෙතියාගොඩ විසින් නාමකරණය කරන ලද රන්වන් ඇස් ඇති පඳුරු මැඩියා සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයේ පමණක් ජීවත් වන විශේෂයක් බව දැනට සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී තිබේ.

විද්‍යාත්මක ව Pseudophilautus ocularis ලෙසත් ඉංග්‍රිසියෙන් Golden – eyed Shrub Frog ලෙසත් හඳුන්වන මෙම විශේෂය රතු දත්ත ලේඛණයට අනුව දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයකි.

මෙම විශේෂය වාර්තා වන සුවිශේෂී වනාන්තර පද්ධතියක් වන ගොංගල කඳු මුදුන දක්වා අලුතින් සකස් කරන ලද මාර්ගයේ රිය අනතුරුවලට ලක් වීමෙන් මිය ගිය මෙම සතුන් දැක ගන්නට ලැබීම කණගාටුවට කරුණකි. මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ නැගෙනහිර ප්‍රදේශයේ පමණක් වාර්තා වන දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ උභයජීවී විශේෂයක් යෝශිත රාජපක්ෂ ගේ පෞද්ගලික අරමුණු සඳහා ඉදි කළ මාර්ගයක රිය අනතුරු හේතුවෙන් මිය යාම මෙරට ජෛව විවිධත්ව සංරක්ෂණයේ සැබෑ නිරුවත පෙන්නුම් කරන සාධකයකි.

යෝශිත රාජපක්ෂ ගේ හෝටලයට පිවිසීම සඳහා කාපට් අතුරා සකස් කළ මෙම මාර්ගය අද වන විට සිංහරාජ අඩවියට ආවේණික ජීවීන්ට මරු කපොල්ලක් බවට පත් වී ඇත. කිසිදු ගම්මානයකට හෝ ජනාවාසයකට පිවිසීම සඳහා භාවිත නොවන මෙම මාර්ගය ගොංගල කඳු මුදුනේ පිහිටි රූපවාහිනී, ගුවන්විදුලි හා ආරක්ෂක අංශවල සංඥා කුළුණුවලට පිවිසීම සඳහා පමණක් භාවිත වෙයි. ඒවායෙහි සේවයේ නියුතු අය හා සංචාරකයන් බහුල ව මෙම මාර්ගය අද වන විට භාවිත කරන අතර මෙය සුවිශේෂී ජෛව කලාපයක් ලෙස ඔවුන් අවබෝධ කර ගෙන නොමැත. මේ නිසා කාපට් අතුරා ඇති මාර්ගයේ අධික වේගයෙන් වාහන ගමන් කිරීම නිසා මෙම සතුන් අනතුරුවලට ලක් වේ.

මේ නිසා මාර්ගයේ කාපට් අතුරා ඇති ප්‍රදේශවල මාර්ග බාධක ඉදි කර හෝ මෙම සුවිශේෂී ජීවී විශේෂ ආරක්ෂා කර ගත යුතු ව ඇත.
මීට වසර දෙකකට ප්‍රථම ලංකාගම මාර්ගය විධායක බලය යොදා යුධ හමුදාවෙන් බලහත්කාරයෙන් ඉදි කරන අවදියේ දී මේ පිළිබඳ ව අප අනාවරණය කරමින් ගෝඨාභය – මහින්ද ආණ්ඩුවට එරෙහි ව දෙවන පරිසර අරගලය ආරම්භ කළේ මෙම හෝටල් හා සිංහරාජ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින් එහි ජෛව ප්‍රජාව ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට පූර්ව අවබෝධය තිබූ නිසා ය.

නමුත් විධායක බලය හා හැට නව ලක්ෂයක ඡන්ද බලය හා 2/3 ක බහුතර පාර්ලිමේන්තු බලය තිබූ අවයේ දී අප මේ පිළිබඳ ව ජනතාවට අවධාරණය කළ ද එම අවධියේ දී බොහෝ ජනතාවක් අපට එරෙහි ව අරගල කළේ අප ලංකාගම ජනතාවට මාර්ග පහසුකම් ලබා දීමට එරෙහි ව කටයුතු කරන බවට වැරදි මතවාදයක් සමාජ ගත කරමිනි. නමුත් අප ඒ අවධියේ දී සඳහන් කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර සියල්ල සිංහරාජ රක්ෂිතයට පැවරීමෙන් පසු ව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කර ඒ සඳහා නීත්‍යානුකූල අවසරය ලබා ගෙන මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ය.

අප එසේ පැවසුවේ අනාරක්ෂිත වනාන්තර පවතින අතරතුර මාර්ග පහසුකම් ලබා දීම තුළින් ඉඩම් වෙළෙදපොල ඉහළ යාම මත බොහෝ අනර්ථයන් මෙම වනාන්තරවල පැවැත්මට එල්ල විය හැකි බව පෙනී ගිය බැවිනි. එපමණක් නොව ඒ සඳහා වන සියලු සැලැසුම් නිපුන රණවක ගේ ප්‍රධානත්වයෙන් සකස් කර ඇති බව දැන සිටි නිසා ය. නමුත් ඒ කිසිවක් නොදන්නා බොහෝ දෙනෙකු සිතුවේ අප ලංකාගම ජනතාවට මාර්ග පහසුකම් ලබා දීමට විරුද්ධ ව කටයුතු කරන බව ය.

අද වන විට අප ගේ නිගමනය සපථ කරමින් ගොංගල කන්ඳේ අක්කර 30 ක වනාන්තර හා තෘණ බිම් ප්‍රදේශයක අලුතින් හෝටලයක් ඉදි කිරීම සඳහා ඉඩම් මැනීම් කර අවසන් ව තිබේ.

මෙම ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කළ හොත් සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයට ආවේණික බොහෝ ජීවී විශේෂ ඉතා ම කෙටි කාලයක් තුළ මිහිමතින් වඳ වී යනු ඇත.මේ නිසා #GoHomeGota2022 දේශපාලන අරගලය තම අයිතීන් වෙනුවෙන් සටන් කළ නොහැකි සියලු ජීවීන් ගේ රැකවරණය උදෙසා ද අරමුණු විය යුතු ය.

leave a reply