මැයි 6 වැනිදා පැවැති පළාත්පාලන මැතිවරණයේදී බහුතර සභික සංඛ්‍යාවක් හිමි වුවද 50%ක බහුතරයක් අහිමි පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මුදල් ගනුදෙනු සිදුවෙමින් පවතින බව දේශපාලන අංශවල සාකච්ඡාවට ලක්ව තිබේ.
මෙහිදී, ජාතික ජනබලවේගයේ හා විපක්ෂයේ සමගි ජනබලවේගය ඇතුළු පක්ෂවල ක්‍රියාකාරිත්වය තුළ පැරණී බලකාමී ස්ථාවරයන්ට වෙනස් නොවන බව අනාවරණය වේ. පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග ජාතික ජනබලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරණ ලද්දේ සභිකයන්ගේ වැඩි බහුතරයකින් බලය හිමි නොවූ පළාත්පාලන සභාවල බලය පිහිටුවීම වෙනුවෙන් වෙනත් දේශපාලන පක්ෂ සමග කිසිදු එකඟතාවක් ඇතිකර නොගන්නා බවයි. එහෙත් මේ වනවිට අනාවරණය වන්නේ ජා.ජා.බ. විසින් වෙනත් දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල සභිකයන් ලෙස තේරී පත්වූ පුද්ගයන් සමග එකඟතා ඇතිකරගැනීමේ උත්සාහයක් ඇති බවයි. පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ හා සර්වජන බලය යන පක්ෂවල සභිකයන් අමතමින් මේ ආකාරයට සභා පිහිටුවීමට සහයෝගය දෙන ලෙස ජාතික ජනබලවේගය විසින් ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සඳහා සහාය ලබාදෙන ලෙස ජාතික ජන බලවේගය දුරකථනය ඔස්සේ තමාගෙන් ඉල්ලීමක් කළ බවයි. මේ අතර සර්ව ජනබලය පක්ෂයෙන් තේරී පත්වී ඇති සභිකයන් සමග සාකච්ඡා කරන බව හා සභා පිහිටුවන අවස්ථාවේදී ඔවුන්ගේ සහාය දැක ගත හැකි වනු ඇති බවට වෙළඳ හා වානිජ කටයුතු ඇමති වසන්ත සමරසිංහ විසින් කළ ප්‍රකාශයක් අවධානයට ලක් ව තිබේ.
තවද එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය නායකයන් විසින් පොදුජන එක්සත් පෙරමුණේ නායකයන් සමග මෙසේ පළාත්පාලන ආයතනවල බලය පිහිටුවන්නට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. කෙසේවෙතත් ඒ සම්බන්ධ එකඟතා හෙළි කිරීමක් තවමත් සිදුව නැත.
මේ අතර කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් තේරී පත්වී සිටින ස්වාධීන කණ්ඩායම්වල සභිකයන් මෙන්ම ජාතික සාම සන්ධානයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභිකයන් සමග ආණ්ඩුවෙන් මෙන්ම සමගි ජනබලවේගයෙන් සාකච්ඡා පවත්වා තිබේ. මෙම සාකච්ඡාවලදී එකඟතා ඇතිවන්නේ කුමන දේශපාලන කරුණු මතද යන්න කිසිදු පාර්ශ්වයක් මේ දක්වා හෙළි කර නැත. එහෙත් මෙම සාච්ඡාවලදී මුදල් ගනුදෙනු හෝ තනතුරු සම්බන්ධ කොන්දේසි සාකච්ඡා කෙරෙන බවට දේශපාලන අංශවල විවේචන මතුව තිබේ.