Day: May 28, 2024

  • ආණ්ඩුවට එරෙහිව පැෆ්රල් ශ්‍රේෂ්ඨාධිකරණයට

    ආණ්ඩුවට එරෙහිව පැෆ්රල් ශ්‍රේෂ්ඨාධිකරණයට

    ආණ්ඩුවේ සංවර්ධන සහ සුබසාධන ව්‍යාපෘති හරහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට එරෙහිව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට

    පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මකව තිබිය දී මෙන්ම ජනාධිපතිවරණය ඉදිරි මාස 4 තුළ පවත්වන බව දැන දැනම ආණ්ඩුවේ විවිධ චක්‍රලේඛ හරහා රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති හා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට එරෙහිව, විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ 2024 අප්‍රේල් මස 29 වන දින PS/SB/Circular/5/2024 අංක දරන චක්‍රලේඛයට අනුව පළාත් පාලන බලප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීම මගින් ආණ්ඩුවේ ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතයින් ඊට සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහය වැළැක්වීම සඳහා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට (SCFR/ 139/24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන ලදි. මෙම පෙත්සම හරහා පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටින්නේ,

    1. මේ පුරවැසි කමිටු පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට අනුකූලව නිර්ණායක සකස් කිරීම

    2. එකී නිර්ණායක තුළ දේශපාලන පක්ෂ හා පක්ෂ නියෝජිතයින් ඇතුළත් නොවීමට කටයුතු කිරීම

    3. දැනට පළාත් පාලන ආයතන නියෝජනය නොකරන අපේක්ෂකයින් හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස පසුගිය වසර 5 ක කාලය තුළ කටයුතු කළ නියෝජිතයින්, අපේක්ෂකයින් හෝ හිටපු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂවල ශාඛා සමිති වල නිලධාරීන් හා නියෝජිතයින් පත් නොවන බවට තහවුරු කිරීම

    4. අදාල පත් කිරීමේ බලය ආණ්ඩුකාරවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ඉවත් කර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට බලය පැවරීම

    5. එම චක්‍රලේඛයේ උපදේශන කමිටු හරහා හඳුනාගනු ලබන අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 10 බැගින් වෙන්කර ඇති ප්‍රතිපාදන ආණ්ඩුකාරවරයා හරහා හා පළාත් සභා මගින් නිකුත් කිරීම. (ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයා වන බැවින්) ආණ්ඩුව එහි ඍජු ලෙසම දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවිය හැකි බැවින් එය වළක්වා ගැනීම සඳහා එම සංවර්ධන යෝජනා ද ප්‍රාදේශීය ලේකම් හරහා ක්‍රියාත්මක කිරීමට නියෝගයක් නිකුත් කිරීම

    6. මැතිවරණයක් ක්‍රියාත්මක මොහොතේ සංවර්ධන හා සුබසාධන කටයුතු සිදුකිරීම හරහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය වීම වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව හරහා ඊට අදාල නිර්දේශ සකස් කිරීමටත්, ඒ නිර්දේශ බලාත්මක වීමට අවශ්‍ය නියෝගයක් ලබාගැනීම සඳහා එකී නිර්නායක මේ මොහොතේ ක්‍රියාත්මක මැතිවරණයෙන් ඔබබ්ට ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකට අදාලව එකී නිර්දේශ බලාත්මක වන ආකාරයේ නිර්දේශයක් නිකුත් කිරීම

    7. මැතිවරණ කාලය තුළ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ඒ මොහොතේ බලයේ සිටින දේශපාලන පක්ෂවල පක්ෂ හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීම හෝ නීති විරෝධී චක්‍රලේඛ නිකුත් කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියෝගයක් ලබාදීම

    රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව හෝ එමෙන්ම ජනතාව ආර්ථික පීඩාවෙන් සිටින මොහොතක සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානයට කිසිදු විරෝධයක් නොමැති අතර මෙහිදී අප අවධාරණය කරනු ලබන්නේ එම ව්‍යාපෘති මගින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ අපේක්ෂකයෙක් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමෙන් වළකින ලෙසත් ය.

    ස්තුතියි.
    මෙයට,
    විශ්වාසී,

    රෝහණ හෙට්ටිආරච්චි,
    විධායක අධ්‍යක්ෂ.

  • “බිංගෙය පසුකර බිංගෙය” – සුරංගි ලියනපතිරණ

    “බිංගෙය පසුකර බිංගෙය” – සුරංගි ලියනපතිරණ

    පෙරදිග කාව්‍ය චින්තනයට අනුව “රසය ආත්මය කරගත් වැකිය” කාව්‍යයයි. එම රසය වූ කලි තමන් විඳ අවබෝධ කරගත යුත්තකි. නෙතින් යමක් දැක තුටු සිත් ඇතිවන්නේ යම් සේද මනසින් යමක් දැක වටහා ගත හැකි වන්නේ නම් ඒ සිය දහස් ගුණයකින් වටිනවා නොවන්නේදැයි මට සිතෙයි. ධනංජය බණ්ඩාර සොයුරාගේ “බිංගෙය පසුකර බිංගෙය” කාව්‍ය සංග්‍රහය මා අත පත් වූයේ මීට මාස දෙකකට පමණ පෙරාතුව වුවත් විවිධාකාර හැල හැප්පීම් සමග නිදහස අවම වශයෙන් විඳිමින් ගෙවනා තවත් කර්කශ කාලයක් පසු කරමින් සිටින මා හට විවේකයක් ලැබෙනවා නම් ඒ කලාතුරකින්ය . එම නිසා නිදහසේ පොත කියවා අවබෝධ කරගන්නට මට ප්‍රමාද විය .” ඒ පිළිබඳව ධනංජය මට සමාවෙන්න”

    ” මනුෂ්‍ය අභ්‍යන්තරික භූමි දර්ශනය වෙත කවුළු විවර කරන කවියක්” වශයෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති ශූරීන් ධනංජයගේ කවි පොතේ පෙරවදන අරඹන්නේය. මෙතෙක් මා කියවා ඇති ධනංජයගේ කවි වලට අනුව හේ නව පරපුරේ ප්‍රතිභා සම්පන්න කවියෙකි. අව්‍යාජ මිනිසෙකි වඩා සූක්ෂම ලෙස විවිධාකාර සිදුවීම් නිසඳැස් කාව්‍යයන් වෙත ගොනු කරන්නට ඔහු සමත් වෙයි.

    ධනංජයගේ කවි අතර මොහොතකට ගිලෙමි. ” “කවියකු කාව්‍ය සංකල්පනා ලෙස මවන ලෝකය මහා බ්‍රහ්මයා පරමාණුවලින් නිපදවන ලෝකයට වඩා බෙහෙවින් වෙනස් “යැයි මට්මටාචාරීන් විසින් කර ඇති විග්‍රහය සාධාරණ යැයි ධනංජයගේ කවි කියවද්දී මට සිතෙයි. භෞතිකව අප අත්විඳින විවිධ රසයන් කවියන් වෙනත් ආකාරයකින් ජනිත කරවයි. ධනංජයගේ කවි පොතේද එවැනි විවිධ රසයන්ට අයත් කවි දක්නට ලැබෙයි. එකී විවිධ රසයන්ගෙන් යුත් කවි අතරේ මා තදින් අල්ලා ගන්නට සමත් වූ කවිද
    බොහෝමයකි.

    ඒ අතර
    “නව මගක් තිබේ නම් ” යන හිසින් ඔහු රචනා කළ කෙටි කවිය ධනංජයගේ කාව්‍ය කුසලතාවය සැණෙකින් වටහා ගත හැකි අන්දමට නිර්මිතය.

    සර්පයකු දමා ගිය
    සුන්දරම පණිවුඩය
    නව මඟක් තිබේ නම් ” නුඹ”
    හැර දමා යා යුතුය හැව

    වර්තමාන ලෝකය හා සංසන්දනය කළ විට අපටද මෙකී යථාර්ථයට මුහුණ දීමට සිදුවනු ඇත. සර්පයා කියන පණිවුඩය එයයි. ඉතින් මං ඔබෙන් අසමි නව මඟක් තිබේනම් අප හැර දමා යා යුතු නොවන්නේද හැව.

    ධනංජයගේ කවි කවියක අභ්‍යන්තරය කියවීමට අපහසු පාඨකයකුට කිහිප වරක් කියවන්නට සිදුවනු ඇත. ඔහුගේ මා දකින විශේෂත්වයද එයයි. ” බිංගෙය පසුකර බිංගෙය” කෘතියේ එන සියලුම නිසඳැස් නිර්මාණ පාහේ එවැනි ව්‍යංගාර්ථවත් භාෂාවකින් ඉපැද්ද වූ ඒවාය .
    “වැට පනී මල් වැල”
    නිර්මාණයද එවැන්නකි.

    නෙක් විසිතුරු පාන වනසංරක්ෂිත භූමියේ සිට මනමාලකම් කර
    වන මල් වැල

    දොඩන්නේ නැතිවම
    වැට පනියි දින දින
    ඇසක් ඉඟි බිඟි කර
    මල් මල් වෙලා හැඩ කරයි බිම

    සරල බස් වහරකින් අපූරු ධ්වනියක් මතු කරන කවියකි එය. දෙමාපිය සෙවනේ බොහෝ රැකවල් මැද හැදෙන ළදැරියක් යුවතියක් වන ආකාරයත් තාරුණ්‍යයේ ඇතිවන හැඟීම් අස ඇය මංමුලා වන ආකාරයත් ඉනික්බිති පියා කවුරුන්දැයි නොදන්නා දරුවන් කොහේ හෝ කිසිවෙකුට හෝ පවරා ගොඩ වෙදෙකු නැත්නම් වෙදකමක පිහිට පතා මිය යන ආකාරයත් චිත්තරූප මවමින් රචනා කර ඇත.

    අරමුණු පෙරදැරිව යන එන බඹරෙකුට විවර කරයි පෙරවරුත් පස්වරුත්
    එක සේම ඉන්නට කියා බඹර තුඩ මුව සිඹියි.

    බැරිම තැන එයින් මිදී ….

    වැට පැන්න හාවෙකුට මුවෙකුට ගෝනෙකුට ඌරෙකුට පළතුරු පුදයි….

    හැට පැන්න ගොවියෙකුගෙ වල් බෙහෙතකට මුනිනතට හැරී සුවසේ නිදියයි.

    මල් කෙසේ වැට පැන ආවත් බඹරුන්ට අවැසි පැණි පමණමය. ඈ කොතෙක් ඇවිටිලි කළද බඹරිඳු රඳන්නේ නැත . අවසන වල් බෙහෙතකින් ජීවිතයම විනාශ කරගන්නා අයුරු ඉතාමත් සංයමයෙන් කවියා ගෙනහැර දක්වයි. මේ හරහා නූගත්කම , සමාජ විෂමතාවය , සංස්කෘතිය සදාචාරය තුළ ඇති අඬුලුහුඬු පවා අපට පෙනී යයි. ඒවා විමසීම ඉතා බැරෑරුම් කාර්යයකි. මේ ආකාරයට ධනංජය බණ්ඩාර සිය පෑන මෙහෙයවන්නේ තෝරාබේරා ගැනීමෙන් යුතුව අරපරෙස්සමට බව පැහැදිලි වෙයි… අනාගතයේ සම්මානිත කිවිඳෙකුගේ පෙරලකුණු දකිනා ධනංජය කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ස්පර්ශ කරනු ඇතැයි සිතමි. එසේම සහෝදර කිවිඳාට සුබ අනාගතයක් වේවායි ද පතමි….

     

  • අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට………

    අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට………

    කන්ථක අස්පයාගේ නෝනා වන වෙළඹගේ
    අහිංසක වැලපුම නොහොත්
    යසෝදරා සමඟ තවත් ගෑනු සතෙක්………
    සිදුහත් කුමාරයා ගිහි ගෙයින් මහබිනික්මන් කළ පසුව කන්ථක අස්පයා යළිත් රජ වාසල ඉස්තාලයට නොපැමිණේ.
    ඉන් වඩාත් කම්පාවට පත් වන්නේ ඉස්තාලයේ දොරකඩට වී ස්වකීය ස්වාමියා එන තුරූ මඟ බලා සිටිනා ගැබ්බර වෙළඹ යි.
    යසෝදරා ගේ ඇකයෙහි තුරුලු වී කිරි උරා බොන රාහුල කුමරු විටෙක හඬන හඬ ද, යසෝදරා හීන් හඬින් ඉකිබිඳින හඬ ද වරින් වර ඇසෙන විට වෙළඹ කම්පා වෙයි.
    ඕ ඉස්තාලයේ දොරකඩට වී හිස ඔසවා මඟ බලන්නේ ඉමහත් විස්සෝපයෙනි.

    මේ ඇගේ කවිය යි

    අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට………

    කන්ථක අස්පයාගේ නෝනා වන වෙළඹගේ
    අහිංසක වැලපුම නොහොත්
    යසෝදරා සමඟ තවත් ගෑනු සතෙක්………

    සාරා සංඛ්‍ය කප් ලක්සය පෙරුම් පුරා
    සූවිසි සංඛ්‍ය හැඟුමන් හදවතින් පෙරා
    ආවා රිදෙන කුර හතර ම ගෙවෙන තුරා
    තාමත් ආවෙ නෑ සුන්දර සුපෙම්බරා

    හිමයේ ගොසින් සිව් පා කුර ගෙවුණාද
    තිබහට වතුර ගෙන ඇල දොළ ගැලුවාද
    සිදුහත් කුමරුගෙන් ලැබ ආදර හාද
    හිටියත් නුඹට මං අමතක නෑ නේද

    නේරංජනා ඉස්නානේ මනලොල්ලේ
    බෝසත් හැඟුම් උතුරා ගඟ වැලපිල්ලේ
    නේරංජනා ගඟ බඩ නිල් තණ ගොල්ලේ
    හීනෙන් දකිමි කුර සටහන් සුදු වැල්ලේ

    රන් යහනේ සැතපෙන කල බිසොවුන්ට
    රන් මාලා වැහි වැහැලා යහන පිට
    ඉස්තාලේ මං තනියම ලගින කොට
    වස්සානේ වැටුණෙ ම උණු කඳුළු කැට

    ඇතෙක් බරට ලැබුණත් නෙක අඩුවැඩිය
    පුතෙක් වැදූ මවකගෙ කිරි බර වැඩිය
    යසෝදරා දන්නව මවකගෙ දිරිය
    සතෙක් වුණත් මගෙ මව්කිරි රන් කිරිය

    රිදී යහන රන්වන් රන් වියන යට
    මැණික් කරඬු පිරුණත් මව් කිරි බරට
    ඇසේ රහල් බිළිඳුගෙ කටහඬ ද මට
    නිමා නොමැති දුක උරුමය ගෑනුන්ට

    නොහිම් පෙමින් බැඳෙමින් බව කතර පුරා
    යොදුන් ගණන් ආවෙමු දිවි මඬල සරා
    හදින් දරාගෙන ඉමු අපි කඳුළු පෙරා
    ඉතින් අපිත් ගෑනු ම නේ යසෝදරා

    ආව ගමන සංසාරේ පෙරුම් පුරා
    තාම දැනෙන උණුහුම හදවතින් දරා
    වානු බැරි ම තැන හැඬුවෙමු කඳුළු පෙරා
    ගෑනු අපට දුක උරුම යි යසෝදරා

    වෙළඹක දුක අහනා මෙත් සිතින් සැමා
    අවසර දුන මැන මහතුනි වෙමින් කමා
    පිරිමින් යන කල නිවනට නොවී පමා
    අබිනික්මන වින්දෙම ගෑනුන් ම තමා

    ඇඟ ලේ මස කිරිකර දුන් ගෑනුන්ට
    සිදුවෙනු ඇත බිළිඳුන් හට කිරි දෙන්ට
    පිරිමින් යන කල සතුටින් බුදුවෙන්ට
    අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට

     

  • අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන ආණ්ඩුව අලි හොරුන් පිනවීමට සැරසෙනවාද?

    අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන ආණ්ඩුව අලි හොරුන් පිනවීමට සැරසෙනවාද?

    අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා (20) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් පිළිබඳව මධ්‍ය වාර්තා පලවිය. නමුත් එකී සාකච්ඡාව සැබෑ ලෙසම ගැටුමට පිළියම් සෙවීම සඳහා පවත්වන ලද්දක් ද නොඑසේ නම් පීඩාවට පත්ව ඇති අලි-මිනිස් ජීවිත දඩමීමා කරගෙන අලි හොරුන් පිනවීමට සලසුම්කල උප්පරවැට්ටියක්ද යන ගැටළුව අප හමුවේ පැනනැගී තිබේ.

    වන අලින්ගෙන් ගම් සහ ගොවිබිම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට සහ ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට ලෙස නියමු ව්‍යාපෘති දෙකක් දියත් කිරීමට රජය සූදානම් වන බව එහිදී ප්‍රකාශ විය. දැනට පවතින විදුලි වැටවල්වලට අමතරව ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක අස්වනු නෙළන කාලය තුළ ගොවිබිම් වටා තාවකාලික කෘෂිකාර්මික විදුලි වැටවල් ඉදිකිරීම මගින් එම භූමි ආරක්ෂා කිරීම සඳහා එක් නියමු ව්‍යාපෘයක් යෝජනා කර ඇත. එසේම මෙම ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නිතර වන අලි – මිනිස් ගැටුම් ඇති වන ගම්මාන වටා විදුලි වැට ඉදිකිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාව ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට බඳුන්වී ඇති බව දැනගන්නට ලැබේ.

    නමුත් මෙරට අලි-මිනිස් ගැටුම් අවමකිරීම පිළිබඳව උනන්දුවන කිසිවෙකුට මෙම ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට සහ ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට අලුත් දෙයක් නොවේ. එසේම නියමු ව්‍යාපෘති මගින් තවදුරටත් අත්හදාබැලීම් සිදුකිරීමටද දෙයක් එහි නොවේ. 2020 ජූලි 22 දින පත්කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මගින්ද මෙකී විදුලි වැට පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබේ. “දැනට ග්‍රාමීය විදුලි වැට 50ක් පමණ සහ කුඹුරු විදුලි වැට 25ක් පමණ කුරුණෑගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඉන් සමහරක ක්‍රියාකාරීත්වය වසර 12ක පමණ අතීතයට දිව යයි.” යනුවෙන් එම සැලැස්මේ සඳහන් වේ. එමෙන්ම ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් 2022. 07. 22 දාතමින් නිකුත් කෙරුණු චක්‍රලේඛ අංක 07/2022 දරන ‘කුඹුරු ඉඩම්වල වගා කරන වී සහ කෙටිකාලීන බෝග ආරක්ෂා කිරීම සඳහා සෘතුමය වගා ආරක්ෂක වැට ඉදිකිරීම (Seasonal Crop Protection Fence)’ හිසැති චක්‍රලේඛය මගින් එම දෙපාර්තමේන්තුව හරහා ඉහතකී ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සවිස්තර උපදෙස්ද ලබාදී ඇත.

    එබැවින් සාගල රත්නායක රත්නායකට මෙරට අලි මිනිස් ගැටුම අවම කිරීමට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් ඔහු කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයාට උපදේශ ලබාදී උක්ත ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා එම සැලැස්ම මගින්ම යෝජනා කර ඇති ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමය.

    අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසකගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස්කළ එම සැලැස්ම ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා වන තුන්කල් දක්නා, සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. එය රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) මගින්ද අනුමත කර තිබේ. නමුත් ඉතා සුළු දෑ සඳහා පවා ජනාධිපති කාර්යසාධක බලකා පිහිටුවන රටේ, දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහ නමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක පමණ ව්‍යාප්තවී ඇති මෙම සංකීර්ණ සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුව කලමනාකරණය සඳහා එවැන්නක් තවමත් පත් නොකිරීම විමතිය දනවන කරුණකි.

    ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 2022 වසරේදී ආචාර්ය සුමිත් පිළපිටිය මහතාගේ සභාපතීත්වයෙන් ‘අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ජනාධිපති කමිටුව’ පත්කරනු ලැබීය. එම කමිටුව හරහා කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල ජාතික ක්‍රියාකාරී සැලැස්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව එහිදී සඳහන් විය. නමුත් දැනට එම කමිටුවද සුදු අලියෙකු බවට පත්ව ඇත්තේ අපේක්ෂිත බලතල සහ අරමුදල් ලබා නොදීම හේතුවෙනි. සාගල රත්නායකට අකාලයේ රටට අහිමිවන මෙරට අලි මිනිස් ජීවිත පිළිබඳව සැබෑ කැක්කුමක් ඇත්නම් ඔහු කළයුතුව තිබුණේ තවත් ඊනියා ‘නියමු ව්‍යාපෘතියක්’ පිළිබඳව වටමේස සාකච්ඡා පැවැත්වීම නොව ඉහතකී නියමු ව්‍යාපෘතියට සැබෑ ලෙසම කුමක් සිදුවිණි දැයි සොයා බැලීමය.

    ඒ කිසිවක් නොකර මෙතෙක් කල් සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති විදුලි වැට ක්‍රම දෙකක් යළි නියමු ව්‍යාපෘති ලෙස අත්හදාබැලීමට ඔහු සූදානම් වන්නේ කුමන හේතුවක් නිසාද යන්න උභතෝකෝටිකයකි. නමුත් එදින න්‍යාය පත්‍රයේ අන්තර්ගතව තිබූ අනෙක් කරුණ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම ගැටලුවට පිළිතුරු ලැබෙන බව ලියුම්කරුගේ අදහසයි. එනම් සංස්කෘතික උත්සව සහ පෙරහැර සඳහා පුහුණු අලි ඇතුන් පිරිසක් සංරක්ෂණය කිරීම හා පුද්ගලික අලි හිමිකාරිත්වය පිළිබඳව සාකච්ඡාවයි.

    පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ගේ හිඟයක් පවතින්නේ නම් ඒ සඳහා ඉතා හොඳ පිළියමක් බ්‍රිගේඩියර් එච්. ඒ. එන්. ටී. පෙරේරා මහතා සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා ව සිටි අවධියේ දී ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්තේය. එනම් පින්නවල, අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් අතුරෙන් තෝරාගත් කණ්ඩායමක් පෙරහර ඇතුළුව සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට පුරුදු පුහුණු කර ඒ සඳහා ලබාදීමය. නමුත් හීලෑ අලි ඇත් හිමිකරුවන් ගේ දැඩි බලපෑම් නිසා විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම ක්‍රියාවලිය පුහුණුවීම් සිදුවෙමින් පැවති අතර තුරම වහාම නතර කර දමන ලදී. ඊට හේතු වූයේ හීලෑ අලි ඇත් හිමිකරුවන්ට පෙරහර සඳහා අලි ඇතුන් ලබා දීමෙන් ලැබෙන ආදායම අහිමිවේය යන සැකය විය යුතුය. සාගල රත්නායක මේ සූදානම් වන්නේ එම පිළියම නැවත කරළියට ගෙන ඒමට නම් සංරක්ෂණවේදීන්ගෙන් ඊට විරෝධයක් එල්ල නොවනු ඇත.

    නමුත් ඒ වෙනුවට මෙම වෑයම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලි ඇතුන් පුද්ගලික පාර්ශව වලට සහ විහාරස්තානවලට ලබාදීමට නොවේද? උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටින, මෙරට වනාන්තර වලින් නීතී විරෝධී ලෙස අල්ලාගෙන විත් ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලින් සම්බන්ධයෙන් මෙහිදී ගනු ලබන තීරණය කුමක්ද? මේ මොහොතේ ලියුම්කරුගේ මනසේ ඇතිවන ගැටළු ඒවාය.

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඇත්ගොව්වන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භකර NVQ 4 මට්ටමේ සහතිකයක් ලබාදීම සඳහා ඉකුත් වසරේ අගෝස්තු මස අයදුම්පත් කැඳවූ ආකාරය මෙහිදී සිහියට නැගේ. අලි ඇතුන් රැකබලා ගැනීම, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සහ අලියාගේ හා අලියා හසුරුවන්නාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම කාලෝචිතය. මීට කලකට පෙර මුතුරාජා (සක් සූරීන්) සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය වැනි කරුණු ඊට ඉතා සාධාරණ හේතු ලෙස දැක්වීමටද හැකිය. නමුත් මෙසේ පුහුණුව ලැබූ ඇත්ගොව්වන් හෙට දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉදිරියේ තමන්ට රැකියාව කිරීම සඳහා අලින් නොමැති බව පවසමින් උද්ගෝෂණය කළහොත් ඒ පිළිබඳව විමතියට පත්වියයුතු නැත. ඒ හීලෑ අලි ව්‍යාපාරයේ සැඟවුණු න්‍යායපත්‍ර එතරම්ම සංකීර්ණ වීමට ඇති ඉඩ බොහෝ වැඩි බැවිණි.

    ඊට කදිම උදාහරණය ඉකුත් මාර්තු මස මුල හබරණ ප්‍රදේශයේදී ආරම්භ කෙරුණු අලි ඇතුන් අභිජනන මධ්‍යස්ථානය හා හස්ති රෝහලයි. මෙරට අලි ජාවාරම සම්බන්ධයෙන් මුළින්ම නම කියැවෙන පුද්ගලයෙක්, අලි ජාවාරම සුලභව සිදුවූ බව සඳහන් ප්‍රදේශයක මෙවැනි අලි ඇතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා හස්ති රෝහලක් ආරම්භ කිරීම පිළිබඳව වෙනමම සාකච්ඡා කළයුතුය. ඒ සඳහා නිමිත්ත වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් ග්‍රාමාරක්ෂකයෙකු විසින් මහියංගනය ප්‍රදේශයේදී වන අලියෙකු යැයි රැවටී හීලෑ අලියෙකුට වෙඩි තැබීම බව කියති. එම සිදුවීම් එකිනෙක අපූරුවට සහසම්බන්දතා සහිතව පෙළගැසෙන අපුරුව දකින විට ලියුම්කරුට ඉහත සිතුවිල්ල පහළවීම විමතියට කරුණක්ද?
    තවද මෙම සිදුවීම් පෙළගැසෙන්නේ මෙරට වන අලි ජාවාරම වැළැක්වීම සඳහා සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත්ව ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ සමාජ තත්ත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා දැඩි දඬුවම් ලැබෙතැයි සංරක්ෂණවේදීන් දවල් හීන දකින පසුබිමකය. තවද ගෘහාශ්‍රිතකරණය කළ අලිඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් තවමත් මෙරට තුළ යථාර්ථයක් නොවන පසුබිමකය.

    මෙකී සියලු තත්ත්වයන් සමීපව නිරීක්ෂණයට භාජනය කිරීමේදී සැක පහළ වන්නේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව මෙරට වන අලි ජාවාරම දිවයින තුළ තවමත් ඉතා පුළුල් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ඊනියා අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ නියමු ව්‍යාපෘති සාකච්ඡාවේ යටිපෙළ අරුතද මෙම ජාවාරම්කරුවන්ට සහන සැලසීමට මංපෙත් විවර කිරීම වියහැකි බවය. එබැවින් යන යකාට කොරහත් බිඳගෙන යාමට ඉඩ නොදීමට වගබලාගැනීම සංරක්ෂණයට හිතැති සැමගේ යුතුකම සහ වගකීමය.

    අලි-මිනිස් ගැටුම හා වන අලි සංරක්ෂණය සම්බන්දයෙන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ උනන්දුවන පරිසර සංරක්ෂණවේදියෙකු සහ පර්යේෂකයෙකු වන ලියුම්කරු ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ අලි-මිනිස් සහජීවනය පිළිබඳ උපකමිටුවේ සභාපතිවරයා ද වන නමුත් මෙම ලිපියේ අන්තර්ගතය එම සංගමයේ ස්ථාවරය නොවීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

     

  • “පොත් හරිම අගෙයි”

    “පොත් හරිම අගෙයි”

    සබුද්ධි සාහිත්‍ය වැඩමුළුව -පස් වැනි පියවර

    ”පොත් හරිම අගෙයි” පස්වැනි පියවර අප්‍රේල් 28 වැනිදා කලුතර, කටුකුරුන්ද සිරි දම්කිත් දහම් පාසලේ දී සාර්ථක ලෙස පැවැත්වුණා.

    මෙම වැඩසටහන සඳහා සබුද්ධි සාහිත්‍ය කවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අනුශාසක පරාක්‍රම ඒකනායක, සභාපති තමීර මංජු, මහ ලේකම් ඉරෝෂිණි ගල්හේන, භාණ්ඩාගාරික දිලිනි චතුරිකා ගරුසිංහ, ජාතික සංවිධායක සුප්‍රි සමරසිංහ, විධායක අධ්‍යක්ෂ කමල් සේනාරත්න, කළුතර දිස්ත්‍රික් අධ්‍යක්ෂ නලිනි ද සිල්වා සහ සාමාජිකා රූපවාහිනී ළමා නිවේදිකා මිනුල්‍යා සේනාරත්න සමඟ ජානක හීන්කෙන්ද යන මහත්ම මහත්මීන් සහභාගි වුණා.

    දහම් පාසල් සිසු සිසුවියන්ට පොත් කියවීමේ පුරුද්ද හුරු කිරීම, ඔවුන් පොත පත කෙරෙහි නැඹුරු කරවීම යනාදි අරමුණු ඇතිව මෙම සමාජ සත්කාරක වැඩසටහන නලිනි ද සිල්වා මහත්මියගේ සංවිධාන ශක්තියෙන් ඉදිරිපත් කළේ සබුද්ධි සාහිත්‍ය කවයයි.

    දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු මණ්ඩලය හා සිසු සිසුවියන් මෙම වැඩ සටහන සඳහා ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දුන්නා.