යුද්ධය බලය ව්‍යාප්ත කිරීමටත්, පාලනය සඳහා යටත් කර ගැනීමටත්, උද්දච්ච මෝඩයන්ට අණසක පතුරුවන්නට උවමනා මෙවලමකි. සාමය උදෙසා කිසිවෙකුත් යුද්ධ නොකරති.
සාමයට ලොල්වන්නෙක් වේ නම් ඔහු යුද්ධය පිටුදැක හොඳම වචන හසුරුවා සාමය සඳහා උනන්දුවේ ප්‍රමාණය පෙන්නුම් කරන දක්ෂයෙක් විය යුතුය.
” මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි හැමදෙනාම හැමදාමත් ඔවුන් අනුස්මරණය කළ යුතුයි. ඔවුන් සිහි තබා ගත යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැතියි. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් හැඟීමක් ඔවුන් සහ අප අතර තියෙනවා. අපි කවර දිසාවකටද යා යුතුව තිබෙන්නේ,
යුද්ධය කියන වචනයට තියෙන්නේ යුද්ධයේම පමණයි කියලා මා හිතනවා.
යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මා දන්නවා මටත් වඩා වැඩියෙන් මේ යුද්ධයේ සක්‍රීයව සටන් කරපු ඔබ දන්නවා යුද්ධය කොයිතරම් ඛේදවාචකයක්ද මොනතරම් විනාශයක්ද කියල.
හැබැයි මේ සටන් කරන ලද කිසිවෙක් යුද්ධ කළේ යුද්ධය අපේක්ෂාවෙන් නෙමෙයි. ඒ හැම දෙනාම යුද්ධ කළේ සාමය අපේක්ෂාවෙන්.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 16 වන යුධ සැමරුම් උත්සවයේදී හමුදා සාමාජිකයන් සහ උතුරු නැගෙනහිර යුද්ධය පැවති කාලය තුළ ජීවිතක්ෂයට පත් වූ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් දෙමව්පියන් ඉදිරියේ කළ කතාවෙන් උපුටා ගත්තකි.”
වර්ෂාවට පසු – මේ අපූරු කාව්‍ය Ganni Rodari රචනා කරන්නේ 1964 දී. දෙවන ලෝක යුද්ධය සහ මුසලෝනිගේ පැසිස්ට් පාලනය තුළ යුද්ධයේ දරුණු අත්දැකීම් ලැබීමෙන් පසුවයි. ඔහු මේ කවියෙන් දරුවන්ට කියා දෙන්නට සහ ඒත්තු ගන්වන්නට උත්සාහ දරන්නේ යුද්ධයකින් පසුව අත්වන සාමයකට වඩා විනාශකාරී යුද්ධයකට මුහුණ නොදී සාමකාමීව ජීවත් වීම මොනතරම් ආශ්චර්ය ජනක ද කියන එකයි.
යුද්ධයක් ආරම්භ වන්නේ පළමු වෙඩිල්ලෙන් සාමය ඝාතනය කිරීමෙන් අනතුරුවයි. ඒහෙයින් යුද්ධයකින් පසුව ඇතිවන සාමය යුද්ධයක් නැතිව පවත්වාගෙන යන සාමයට වඩා අසම්පූර්ණයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අමාරුවෙන් කළ විනාඩි විස්සේ කතාව ඇතුලේ ආරම්භයේදීම ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයා යුද්ධ කළේ සාමය උදෙසා කියා පැවසීම දෙමළ ජනතාව වෙනුවෙන් අනුර ලබාදී තිබෙන පොරොන්දු නිගාවට ලක් කිරීමකි. ඔවුන්ගේ තුවාලය යළි පාරා දැමීමකි.
කුළුඳුල්ව රට පාලනය කිරීම ආරම්භ කළ වර්තමාන ආණ්ඩුවට ස්වර්ණමය අවස්ථා රාශියක් තිබුණි. එහෙත් එම අවස්ථාවන් එකිනෙක ගිලිහීම එතකොට කරුණකි. හෘද සාක්ෂිය මොනවා කීවද බලය උදෙසා තමන් වටා ඒකරාශී කරගත් කණ්ඩායම් තවදුරටත් සතුටු කරමින් බලය රැක ගැනීමට දරන උත්සාහයේ ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න අනුරගේ කතාවෙන් නොව ශාරීරයක හැඟීම් ප්‍රකාශනය තුළින් මනාව පෙන්නුම් කරනු ලැබුවා.
අනුරගේ අර්ථයෙන් පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය යුද වදින්නේ, යුක්රේනයට එරෙහිව රුසියාව යුද වදින්නේ එමෙන්ම ලෝකය තුළ යුධ ගැටුම් ඇතිවී තිබෙන්නේ කිනම් සාමයක් උදෙසා ද?
වර්ෂාවට පසු
වැස්සට පසු පැහැදිලි අහසේ
දීප්තිමත්ව පායාවි දේදුන්න.
එය ආරුක්කුවක කොඩි ගැසූ සේ ය
උත්සවශ්‍රීයෙන් පායා ඒවි හිරු .
හිස ඔසවා බලන්න, ලස්සන යි
රතු සහ නිල් කොඩි ගැසූ සෙ යි .
නමුත් සැඩ කුණාටුවකින් පසු
ඉතිරි වන්නේ වේදනාව යි .
කුණාටුවක් ඇති නො වුණා නම්
වඩාත් සුදුසු නො වේ ද ?
කුණාටුවක් නැතිව දේදුන්නක් ?
ඇත්තට ම ප්‍රීතියක් වනු ඇත.
මුළු ලෝකය ම ප්‍රීතිමත් වන්නේ
යුද්ධයක් නොමැතිව සාමය උදා වන විට යි .
යුද්ධය වූ කලී බලය උදෙසා වියරු වැටුණු උන්මන්තකයන්ගේ අවියයි.
හිල්මි සුපුන්