පළමු කොටස
මෙම ලිපියේ ප්‍රවාදය:
“රට යන හැටි හොඳ නැත.
රුදුරු අඳුර හිතවත.
සොඳුරු නැතැත් අපි හෙට.
එකතු වීම මිස නැත”
රටක් සහ ජාතියක් කියන අර්ථයෙන් අපි හැමෝටම කල්පනා කරන්න කාලය ඇවිත්. ඒ රට ගැන ජාතිය ගැන ඇත්තටම හිතනවා නම්. රටට, ජාතියට හොඳක් සිදු වෙනවා දකින්න කැමැති නම්, ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න උවමනා නම්. එහෙම නම් අපි අපෙන් අහන්න වෙන ප්‍රශ්නය වෙන්නේ රට කියන්නේ කුමක් ද? ජාතිය කියන්නේ කුමක්ද කියන එක. මේ දෙකටම පිළිගත් සම්මුතීන් තිබෙනවා. අදහස් න්‍යායන් දර්ශනයන් තියෙනවා. ඒ මොනව තිබුණත් අපිට ලැබී ඇති දෘෂ්ටිවාද විසින් ඇති කරන සංජානන ඔස්සේ රට ජාතිය කියන අදහස හෝ හැඟීම මෙහෙයවනවා. රට කියන්නේ “ශ්‍රී ලංකාව” කියලා කොටසක් කියද්දී, තව කොටසක් “ඊළම” කියලා කියන්නත් පුළුවන්. ලංකාව කියන කොට මනසේ ඇඳන සිතියම මේ කොටස් දෙක අතර දෙවිදියකට ඇඳෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රට කියනකොට ඉන්දියාවත්, චීනයත් මනසේ ඇඳෙන්න පුළුවන්. දැන් නො වුණත් අනාගතයේ එහෙම වෙන්න බැරි නෑ. මේ විදිහටම ජාතිය කියනකොට සිංහල කියළත් දෙමළ කියලත්, මුස්ලිම් කියල තේරුම් ගන්න යථාර්ථයක් අපේ සමාජයේ තවමත් තියෙනවා. සත්‍ය නො වන සත්‍යයෙන් එලියට එන්නට නො හැකි වී තිබෙනවා. මේ සිතීම සහ ක්‍රියාකිරීමයි අතීතය පුරා අපි අත් දැක ඇත්තේ. මේ නිසයි අපි ඉතිහාසය පුරා බොහෝ වින්නැහිවලට ලක් වුණේ. මේ දෙක මුල් කරගෙන දේශපාලනය සහ බලය කියන දෙක එකිනෙකට අන්තර සම්බන්ධව පවතින්නේ එය ජීවත් කරවන ඉන්ධන බවට පත් කරගත් මිථ්‍යා දෘෂ්ටීයක් කිරීමෙනි.
දැන් මේ ඔක්කොම පැත්තකින් තියලා වෙනස් විදිහකට හිතන්න වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒත් ඊට සූදානම් කවුද කියන ගැටලුව නිසා දවසින් දවස රටක් විදිහට දරුණු ගණයේ විනාශයකට ගමන් කරමින් සිටින බව පමණක් කියන්න පුළුවන්. මේ යන විදිහට, ලංකාවේ අනාගතය ලං වී සිටින්නේ මොන විදිහේ දෙයකට ද යන්න තීරණය කරන්නේ මේ රටේ බලය හොබවන අයගේ පාලන දර්ශනයන් සහ භාවිතාවන්. එම දර්ශනයන්ගේ දිග පළල අනුව පෙන්නුම් කරන අනාගතයේ චිත්‍රය අඳුරු වී ඇති නිසයි දැන් අපිට අපෙන්ම ප්‍රශ්න දෙකක් අහන්නට සිදු වී ඇත්තේ. පළමු වැන්න කළ යුත්තේ කුමක් ද, සහ දෙවැන්න කළ යුත්තේ කෙසේ ද කියන ප්‍රශ්න දෙක. මේ ප්‍රශ්න දෙකට දේශපාලනිකව උත්තර තිබේ ද? උත්තර ඇත්තේ දේශපාලනයෙනි. මොකද දේශපාලනය පාලනයට සම්බන්ධ නිසා ය. නමුත් මේ පවතින දේශපාලනයෙන් අපිට තිබෙන උත්තර මොනවාද.මොන වගේ උත්තර අපිට තියෙනව ද.
එකක් වෙන්න බෑ.. දෙකක් වෙන්නත් බෑ.. තුනක් හතරක්… පහක්.. ඔව් ඊටත් වඩා.. සමහරවිට මිලියන ගණනක් වෙන්නත් පුළුවන්. ඒ මිනිසුන් තම තමන් හිතන සහ දන්නා ආකාරයට අනුව. ඒත් රටක් ජාතියක් කියද්දී, පොදුවේ ඇති කර ගත් සම්මුතීන්ට අනුව පිළිගත් ආකෘති තියෙනවා. විශේෂයෙන් නූතන අර්ථයෙන් රට ජාතිය ගොඩ නගාගෙන ඇති ආකාර තිබෙනවා. මේ ආකාරයන්ට අනුව ලෝකයේ බොහෝ රටවල් සහ එහි ජාතීන් ගොඩ නගාගෙන තිබෙනවා. ඒවා ගොඩ නැගී ඇත්තේ කිසියම් සම්මුතියකට අනුව යි. එසේ පිළිගත් සහ සම්මුතිගත ක්‍රමයක් පෙන්නුම් කරන සහ ඊට අනුව ක්‍රියා කරන්න පොරොන්දු දෙන කණ්ඩායම් නියෝජනය කරන අයගෙන් තෝරා ගන්නා ගිවිසුමකට ජනතාව විසින් තමන් ජීවත් වෙන භූමිය බාර දෙනවා රටක් සහ ජාතියක් ගොඩ නැගීමට. මේ පිළිගත් සම්මුතීන්ට අනුව ක්‍රියාකරන්නට. එහෙම සම්මුතීන්ට බාර දුන්න රටවල් සහ ජාතීන් අපිට ලෝකයේ දැක ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයන් යටතේ ගොඩ නගාගත් රටවල් ජාතීන් ස්වකීය අනන්‍යතා සහිතව වෙනස් ලෙස “හොඳ” යැයි පිළිගැනීම ඇතිව ගොඩ නගාගෙන තිබෙන බව බොරුවක් නො වෙයි. සමහර රටවල්වල ඇති ක්‍රමවේද සහ ආකෘති වෙනත් අය ආදර්ශයට ද ගනිති. ඒවා අත්හදා බලති. එම රටවල්වලට ආසා කරති.මිනිසුන් එහි ජීවත් වීමට කැමැත්තෙන් පසුවෙති. එහි ජීවත් වෙති. එක භාෂාවක් පමණක් නොව භාෂා ගණනාවක් කතා කරන ජන කණ්ඩායම් ඉන්න, වෙනස් සංස්කෘතික ලක්ෂණ සහිත, විවිධ වෙනස්කම් සහිත භූ ගෝලීය තත්ත්වයන් සහිත, සම්පත් බහුල මෙන්ම හිඟ තත්ත්වයන් යටතේ පසුවන භූමි රටවල් පවට පත්කර ගෙන එම රටවල්වල ජාතිය ගොඩ නැගීමට සමත් වෙලා තියෙනවා.
ඉතිං එහෙම රටක් ද ලංකාව?
ඔව් ද නැද්ද ?
දෙකම හරි.
ඒත් ඔව් කියන ගොඩට වඩා නෑ කියන ගොඩ ලොකු ද පොඩි ද?
මේ ගැන විවිධ අදහස් ඇති නිසා අපිට හරියට කිර මැන බලන්න බැරි උනත්, රටක් ජාතියක් විදිහට ලංකාව තවමත් ගොඩ නැගී තීබේ ද, නැති නම් ගොඩ නගා තිබේ ද? එසේත් නැතිනම් ගොඩ නගමින්, ගොඩ නැගෙමින් තිබේ ද යන ප්‍රශ්නයට තවමත් අපිට උත්තර හමු වී නැත.
උත්තර සොයා ගැනීමට කලින් ගැටලුව හඳුනා ගත යුතු වුවත්, එය හරි හැටි හඳුනාගෙන තිබේ ද යන ප්‍රශ්නය කාලාන්තරයක් තිස්සේ වර නගන කාරණයකි. හඳුනාගෙන ඇති බව කියමින් වසර ගණනින් කිව්වොක් වසර අසූවකට ආසන්න කාලයක සිට රට ජාතිය ගොඩ නැගීමේ වැඩ පිළිවෙළ “ජනතාව” කියන මිනිසුන් විසින් දේශපාලනයට බාර දී ඇත. ඒ ඒ දේශපාලනයන් විසින් ඇති කරගත් සම්මුතීන් විසින් නො යෙක් අත්හදා බැලීම් කරමින්, එකක් අසාර්ථක වන කල අනෙකට මාරු වෙමින් එය ද අත්හදා බලමින් නැවත පෙර පැවැති එකට බාර දෙමින් කටයුතු කළ මෑත ඉතිහාසයට අපි කියනවා පශ්චාත් යටත් විජිත ඉතිහාසය කියලා. නූතන රාජ්‍ය ගොඩ නැගීමේ කාලය අයත් වෙන්නේ අපි යටත් විජිතයක් වී සිටි කාලය නිසා, යටත් විජිතවාදයෙන් පසුව රට සහ ජාතිය ගොඩ නැගීම කියන ප්‍රශ්නය ලංකාව හමුවට ආවේ අලුත් තත්ත්වයක් ලෙස වුණත්, එම නව්‍යභාවයට අර්ථයක් සපයා ගැනීමට නො හැකි වුණා. හේතු වශයෙන් බොහෝ දේ පෙන්වා දුන්නත්, ගැටලුවට නිසා පිළියමක් නැතිකම නිසා අදටත් එම ප්‍රශ්නයම අර්බුදයක් කර ඇත. නමුත් එවැනි ගැටලුවක් තිබේ ද යන්න පවා සාමාන්‍යකරණය වී ඇති සමාජයක් ලෙස “ඔහේ යන” නන්නත්තාර සමාජයක් බවට පත්ව ඇත.
එතෙක් මෙතෙක් පැවැති පශ්චාත් යටත් විජිත ඉතිහාසයට රට ජාතිය ගොඩ නැගීමට නො හැකි වුණා. ඒ බව වරින් වර මතුව ආවත්, මෑත කාලීනව සනිටුහන් වුණේ රට ආර්ථික වශයෙන් කඩා වැටීම මිනිසුන්ට අත්විඳීමට සලස්වමින්. දේශපාලනය හේතුවෙන් ආර්ථිකය ද, ආර්ථිකය හේතුවෙන් දේශපාලනය ද, මේ දෙක හේතුවෙන් සමාජ සංස්කෘතිය ද කඩා වැටී එතෙක් පැවැතියා යැයි සිතූ රට රාජ්‍යය අර්බුදයට ගමන් කරන්නට වුණේ, විකල්පයක් ඉල්ලා සිටීමෙනි. එකකින් අනෙකට වෙනුවට, මේ දෙකෙන් තවත් එකකට මාරු වීමට ඉල්ලා සිටි මහා අරගලයක් ඇති වුණා. අරගලය සිදු වුණත් තුන්වැන්න සඳහා මාර්ගයක් සහ නායකත්වයක් නැති වුණා. ඒ වෙනුවට නැවත කලින් පැවැති තත්ත්වය පැමිණ ගත කළ සංක්‍රාන්ති කාලය තුළ දී එම අරගලයේම අභිලාෂයන් අත්පත් කර ගනිමින් ජනාතාව වෙත නව බලාපොරොත්තුවක් සහිත “සම්මුතියක්” වැනි දෙයක් ජනතාවට පෙන්වනු ලැබීමෙන් නව දේශපාලනයකට දොර විවර වන්නට වුණා. රට සහ ජාතිය ගොඩ ගන්න හැකි බවට පොරොන්දු දුන්නා. මේ හේතුවෙන් පෙර නොවූ විරූ ආකාරයට “තුන් වැන්න” නිර්මාණය කර ගැනීමට රටේ මිනිස්සුන්ගේ සිත් වෙනස් කරමින් පෙළඹුන හැටි පසුගිය කාලය තුළ දකින්නට හැකි වුණා. කලින් ඇති කරගත් සම්මුතීන්ට වඩා වෙනස් සම්මුතියක් පිළිබඳ ඇති කර ගත් විශ්වාසය නිසා සමස්ථ ජනයාගෙන් වැඩි පිරිසක් “රට සහ ජාතිය” ගොඩ නගා සිටුවාවි යන අනාගත බලාපොරොත්තුව ඇතුව දේශපාලන බලය එම ජනතාව විසින් ජනතා ලබා දුන්නේ විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය මුල් කරගත් කණ්ඩායමට ය. ඔය ඔවුන් හිතුවාටත් වඩා බලයකි. එම බලය තුළ ඇති අප්‍රකාශිත සම්මුතිය වී ඇත්තේ රට ගොඩ නගාවී යන විශ්වාසය යි. ජාතික ජන බල වේගයේ රට හදන ප්‍රකාශිත සම්මුතියට වඩා ඔවුන් විසින් පෙන්වූ සහ පොරොන්දු වූ දෙය කෙරෙහි ජනතා විශ්වාසය විශාල විය.
ඉතිං දැන් වැඩේ හරි ද? ඊ ළඟ ප්‍රශ්නය.
වැඩේ හරිද කියන ප්‍රශ්නය පරණ අර්ථයෙන් පරණ සම්මුතියෙන් අසන පරණ දේශපාලනයන් විසින් දැන් ජප කරන බව වැඩි වැඩියෙන් අහන්නට දකින්නට සහ කියවන්නට ලැබෙන අතරේ, ඔවුන් නැවත බලය අල්ලා ගැනීමට වෙහෙසෙනවා. අලුත් තත්ත්වය නැවත පරණ අර්ථයට ගමන් කරමින් සිටින බවකුත් පෙන්නුම් කරනවා. ඊට හේතුව මෙම අලුත් තත්ත්වයට රට ගොඩ නැගීම යන ප්‍රශ්නයට මුහුණ දීමට නිසි හැකියාවක් නොමැතිකම පෙන්වීම නිසා යි. ජනතා කැමැත්ත සහ බලය තිබුණත් ප්‍රශ්නය තේරුම් ගැනීමට නො හැකි සංකීර්ණ බවක් ඇති නිසා පමණක් නොවෙයි, ඊට සූදානමක් සහ නො හැකියාවක් ඇති නිසා පමණක්ම නො වෙයි, රට සහ ජාතිය යන්න කුමක්ද කියන අර්ථයට රටට ගැලපෙන දර්ශනයක් නැති නිස යි.
මේ ප්‍රශ්නයට පරණ අර්ථයෙන් හෝ පවතින අර්ථයෙන් තොරව එහා ගිය අලුතින් අසන පිරිසක් සිටී ද යන ප්‍රශ්නය වගේම ඊට උත්තර තිබේ ද යන ගැටලුව ඊ ලඟට ඇති අභියෝගය වී ඇත.
නැති වෙන්නට බැහැ. නමුත් ඇති බවක් පෙන්නුම් කරන්නෙත් නෑ. එය අනාගතයට ඉතිරිකර ඇති දෙයක්. පවතින ක්‍රමය නතර කරන තැනින් ආයෙත් කවුරු හෝ පටන් ගැනීම සිදු විය හැකි ය. එය කවදා කෙසේ වුවත් එය චක්‍රීය ය.
නමුත් අලුතින් නැවත හිතන්නට හෝ ක්‍රියා කරන්නට සිදු වෙන්නේ, ඇති කරගෙන ඇති දේ, එනම් ජාතික ජනබලවේගය විසින් ඇති කරගත් සම්මුතිය ඇත්තටම කුමක් ද යන්න දැන ගැනීමෙනු යි. එය නැවත නැවත සිතා බැලිය යුතු ය. එම සම්මුතිය ගැන ඊට එකඟ වූ ජනතාවට මතයක් හෝ මතකයක් තිබේද යන්න කෙසේ වෙතත්, එම සම්මුතිය වෙනුවෙන් ප්‍රතිඥා දුන් ජාතික ජන බල වේගයට ඒ පිළිබඳ මතයක් හෝ මතකයක් තිබේද යන්න ද අද මූලිකම ගැටලුව වී තිබේ.
එහෙම නම් මේ අය (ජාතික ජන බලවේගය) ඇති කර ගත් සම්මුතිය සැබැවින්ම කුමක් ද?
එම සම්මුතිය කුමක්ද යන්න ඔවුන් විසින් “ජනතා පොදු විඥ්ඥාණය” ලෙස ගෙන ගිය දෘෂ්ටිවාදය විසින් කියා පෑව දෙයින් ජනතාව තැබූ විශ්වාසය වූයේ අඩු වැඩි වශයෙන් “රටට යමක් කරාවි” යන්න ය. මේ නිසා “ඔවුන්ටත් දීලා බලමු” යන බලාපොරොත්තුවෙනි. ඒ තුළ රට සහ ජාතිය ගොඩ නැගීම යන්න අන්තර්ගත ය. එහෙත් පශ්චාත් යටත් විජිත ඉතිහාසය පුරාම උත්සාහ කළ නමුත් නො හැකි වූ රට ජාතිය ගොඩ නැගීමේ අසාර්ථක දේශපාලන බල හුවමාරුව පරාජය කරමින් බලය ගත් නව දේශපාලනයට රට ජාතිය යන්න ගැන අලුත් හෝ වෙනස් දර්ශනයක් තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ වචන තුළ නොව ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග තුළ ය. ඊට කාලය අවශ්‍ය යැයි එක අදහසකි. එය පිළි ගැනීම ද සාධාරණය. නමුත් එය එසේ වන්නේ මේ තාක් ඔවුන් විසින් දමා ඇති පදනමට අනුව ය. ජාතික ජන බලවේග සම්මුතිය විසින් රට ජාතිය ගොඩ නැගීමේ පදනම දමා තිබේ ද යන්නට පිළිතුර ද ඔව් සහ නෑ යනුවෙන් පක්ෂ විපක්ෂව දැකිය හැකි වුවත්, අදහස්වලින් ඔබ්බට ක්‍රියාවෙන් සිදුවන දේ දෙස පක්ෂාග්‍රාහීව බැලුවොත් ලැබෙන පිළිතුර කුමක් ද?
ඔව් ඊට පිළිතුරු සොයා ගත හැකි ය. නමුත් ඊට කලින් රට ජාතිය ගොඩ නැගීම යන සමාජ ගිවිසුම් පිළිබඳ ඇති ඓතිහාසික අදහස් සහ ක්‍රම වෙත අපි අවධානය යොමු කළොත් මේ සඳහා සාධාරණ අදහසක් ලබා ගත හැකි වනු ඇත.
ලිපිය දිග වැඩි බැවින් දෙවැනි කොටසින් ඒ ගැන කියන්න අවසර
උදය ආර්. තෙන්නකෝන් – 21.05.2025