Breaking News

වැඩකාර මැස්සෙකුගෙ සංකාව

කුමාර හෙට්ටිආරච්චි

හැමදාම අතගාන මකරන්ද මොනවට ද
ආදරය දැනෙනකොට වැඩකාර මැස්සෙකුට
මී වදෙන් ඉගිල්ලී පලායන්නට හිතෙයි
දුර ඈත මීදුමේ ගිරි ශිඛර නානකොට

ලැයිම් කාමර පේලියකි පිලා කෝෂ ටික
නොමේරූ පිලව් හංකිති දිගේ පැණි ගලන
මුරකාර මැස්සන් ද පරාගන වමනයක
වනේ වන මල් සමඟ චෛතසික රමණයක

මිදී කැටි ගැහෙන මී ඉටි පුරා කැකෑරෙන
අතීතය දියාරුව ගලායන කළුවරක
මතක මීවිත ගලයි නිශාචර පාළුවක
වැඩකාර මැස්සෙකුගෙ ශෘංගාර හාදුවක

තුමුල ලිස්සන ගහක මීරි මී වද බඳින
ජීවිතය සිහිනයකි පරාගන මෙහෙවරක
මී බඳින ජනපදය බන්ධනාගාරයකි
තිත්ත මීපැණි විඳින වැඩකාර මැස්සෙකුට

පුරුක් අඬුපඬු දිගේ සන්ධිපාදික වෙහෙස
භෘංග කෘමි හීනයක භංගුරව යන මොහොත
තුංග හූමිටි තියන වැඩකාර මැස්සෙකුට
කුමකට ද ජනපදේ රැජිනකගෙ සිනා වත

 

leave a reply